IMG-LOGO
Home පුවත් විෂ පොල්තෙල්.

විෂ පොල්තෙල්.

Date : 2021-Mar-29
IMG
මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළා. එහි අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ 83,000ක්. මෙම විස පොල්තෙල් මේ වනවිටත් වෙළදපොලට නිකුත් වී ඇති බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් පවසනවා.

විෂ රසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණවල වාර්තා නිකුත් කෙරේ.
ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය සහිත පොල්තෙල් බහාලුම් 13ක් මෙරටට ආනයනය කර ඇති බවට පසුගිය දා සිදුකළ මුලික විමර්ශනයේ දි අනාවරණය වු අතර එම පොල්තෙල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එහි සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබා දී තිබුණි.
සමාගම් තුනක් විසින් ආනයනය කර තිබු අදාළ පොල්තෙල් තොගය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා  නිකුත් කිරිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
ඒ අනුව වාර්තාවල ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය එම පොල්තෙල්වල අඩංගු වී තිබේ නම් එම පොල්තෙල් තොග අද දිනයේ ම ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය නියෝග අදාළ සමාගම් වෙත ලබාදීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අදාළ පොල්තෙල් වෙළෙඳ පොළට නිකුත් වී ඇති දැයි පරීක්ෂා කිරීම සඳහා එක් දිස්ත්‍රික්කයකින් සාම්පල පහ බැගින් ලබාගෙන  පරීක්ෂණ පවත්වන බව ද ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු දැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට  බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදෙනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් කීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ එම පොල්තෙල් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන පැවැත්වූ අහඹූ ලෙසය.සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය.
මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ එවන් නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම තුළින් ශරීරයට අහිතකර බොහෝ ආහාර ද්‍රව්‍ය ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇති බවය.
ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් ආනයනය කිරීමෙන් පසු ඒවායේ තත්ත්ව වාර්තා ලැබීම ප්‍රමාදවීම හා එතෙක් සමාගම්වල ගබඩා වෙත බහාලුම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් රජය යළි සලකා බැලීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණකි.
ඒ අනුව රසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

"ජනතා සෞඛ්‍යයට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා."

Tags: