IMG-LOGO
Home පුවත් ලෝක ජල දිනය අද.

ලෝක ජල දිනය අද.

Date : 2021-Mar-22
IMG
1992 වර්ෂයේදී රියෝද ජැනයිරෝ නගරයේ පැවැති ”පරිසරය හා සංවර්ධනය” පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සම්මලෙනයට ඉදිරිපත් වූ යෝජනාවක් අනුව, එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් 1993 වසරේ මාර්තු මස 22 දින ලෝක ජල දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, 1997 වසරේ සිට එක්සත් ජාතීන් විසින් නම් කරන තේමාවක් යටතේ, සිය සාමාජික රටවල් ලෝක ජල දිනය සැමරීම සඳහා ජල සංරක්ෂණය පාදක කරගත් වැඩසටහන් මහජන සහභාගීත්වය ඇතිව, සංවිධානය කරයි. ලෝකයේ ජල සම්පත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ හා නිශ්චිත ක‍්‍රියාකාරකම් ඉටු කිරීමත්, ජල සම්පත් සම්බන්ධයෙන් යුගයේ තීරණාත්මක ජල ගැටලූ පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීමත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමත් හා විසඳුම් ක‍්‍රියාමාර්ග සඳහා වන ප‍්‍රවේශවලට කඩිනමින් කාර්යක්ෂමව යොමු වීමේ ප‍්‍රමුඛ වැදගත්කම පිළිබඳව දැඩිව අවධානය කිරීමත්, ජාත්‍යන්තර ජල දිනය සැමරීමේ ප‍්‍රධාන අරමුණයි.
 
 2015 වසරෙන් පසුව එක්සත් ජාතීන් විසින් පරිසරය හා සංවර්ධනයට අදාළ විෂය ක්ෂේත‍්‍ර සඳහා වන ජාත්‍යන්තර දින සංවිධානය කරන්නේ, 2030 වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව ලෝක ජාතීන් විසින් සම්පූර්ණ කළ යුතු තිරසර සංවර්ධන ඉලක්ක සාධනය සඳහා වන ක‍්‍රියාකාරීත්වය බලගන්වන ආකාරයටය. 2015 සැප්තැම්බර් 23 දින ලෝක ප‍්‍රජාව ගත් ඓතිහාසික තීරණයක් අනුව, එදින පැවැති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී මානව යහපැවැත්ම උදෙසා ”තිරසර සංවර්ධන ඉලක්ක” ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. අනතුරුව 2015 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ මහ සමුළුවේදී රටවල් 198 ක් එක්ව, දේශගුණික විපර්යාස පිළිබඳ ”පැරිස් ගිවිසුම” අත්සන් කරනු ලැබීය. 2030 වර්ෂයේදී ”තිරසර යුගය” උදාවන බව සහතික කිරීම සඳහා ලෝක ජාතීන් එක්ව මේ ආකාරයේ කාලීන සම්මුතීන්ට එළැඹෙමින් තිරසර සංවර්ධන ඉලක්ක සාධනය සඳහා වූ ඉදිරිගාමී වැඩපිළිවෙළකට එක්වී ඇත.
 
 ජලයේ බහුමානීය වටිනාකම හා සනීපාරක්ෂාව.
 
 මෙවර ලෝක ජල දිනය සමරන්නේ, තිරසර සංවර්ධන ඉලක්ක අතර, 6වන ඉලක්කය වන ”පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව” (Clean Water and Sanitation) පදනම් කරගනිමින් ඒ හා අදාළව ලෝක ජනතාව බලගන්වන ප‍්‍රතිපත්ති හඳුන්වා දීම හා අදාළ ප‍්‍රායෝගික වැඩසටහන් දියත් කිරීම ඔස්සේය. ජල දින සැමරුම් තේමාව වන්නේ, ''valuing water˜  ජලය අගය කිරීම යන්නයි. පෘථිවියේ ජලයෙන් 97%ක් සාගර ජලය වන අතර, පෘථිවි පෘෂ්ඨය මත ඇති මිරිදිය ජලය ප‍්‍රමාණය 3%ක් වේ. එම මිරිදිය ජලයෙන් මතුපිට ජල මූලාශ‍්‍රවල අපට භාවිතා කළ හැකි ලෙස පවතින ජල ප‍්‍රමාණය 0.5%ක් වූ ඉතා සිමීත ප‍්‍රමාණයක් වේ. බැලූ බැල්මට ජලය ඕනෑ තරම් තිබෙන්නේ යැයි, අපට හැඟී ගියත්, මනුෂ්‍ය පරිහරණයට ගත හැකි ජලය ඉතා සීමිත බව මින් පැහැදිලි වේ. ජීවයේ උල්පත වන්නේද ජලයයි. මානව ශිෂ්ටාචාරයේ පදනම වන්නේ ද ජලයයි. ජලයෙන් තොර කිසිවක පැවැත්මක් නැත. ජලය මනුෂ්‍යයා කායිකවත් මානසිකවත් පරිපූර්ණත්වයට පත්කරයි. මිහිමත පාරිසරික, සමාජ, ආර්ථික හා සංස්කෘතික පැවැත්මේ ප‍්‍රධාන ශක්ති ධාරාව ජල සම්පතයි. මේ ආකාරයේ බහුමානීය වටිනාකමක් (multi-dimensional value)  ලබාදෙන ජල සම්පතේ තථ්‍ය වටිනාකම නිසි තක්සේරුවකින් තේරුම් ගෙන ජලය සංරක්ෂණය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණය සඳහා ගෝලීය ජන සමාජයේ සක‍්‍රීය මැදිහත්වීමක ප‍්‍රබල අවශ්‍යතාව මෙවර තේමාව මඟින් දැඩිව අවධාරණය කරයි. යම් සමාජයක්; ජල සම්පතේ බහුමානීය වටිනාකම තේරුම් නොගෙන එය නොසලකා ක‍්‍රියාකරන්නේ නම්, ජල ගැටලූව විසඳීම සඳහා සාර්ථක පිළියම් යෙදීමට අසමත් වන බව ද එමඟින් හඟවා සිටී.
 
 ජල පෝෂක ප‍්‍රදේශ විනාශවීම නිසා වැසි ජලය ගබඩා කරගෙන වසර පුරා ක‍්‍රමානුකූලව නිදහස් කිරීමේ ස්වභාවික හැකියාව වර්තමානයේ පිරිහී ඇත. එම නිසා නියං තත්ත්වය දරුණු වනවා පමණක් නොව වැසි සමයේ
 
 ගංවතුර හා නායයෑම් තත්ත්වය ද උග‍්‍රවේ. එය පාරිසරික හා සමාජයීය ව්‍යසනයකි. ජල සම්පත විනාශ වන තවත් ප‍්‍රබල සාධක දෙකක් නම්, කෘෂි කර්මාන්තයේදී භාවිත කරන රසායනික යෙදවුම් හා වැරදි පස සකස් කරන ක‍්‍රමත්, කර්මාන්ත වලින් පිටකරන අප ජලයත්ය. නියාමන රෙගුලාසි වලට පිටින් නීති විරෝධීව අපදියර, අපද්‍රව්‍ය, ගංගා ඇතුළු පරිසර පද්ධති වලට බැහැර කරන, පරිසර පද්ධතිවල අනවසර භාවිතයන් සිදුකරන අසංවේදී සාහසික ක‍්‍රියා වත්මන් සමාජයේ නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි තත්ත්වයන් ජල සංරක්ෂණයට මෙන්ම සජීවි පරිසර පද්ධති සංරක්ෂණයට බාධාවක් වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් වැසි වැටෙන රටා වෙනස් වී විශාල ව්‍යාකූලත්වයක් ඇතිවී තිබේ. අහසින් වැටෙන වතුරෙහි පිරිසිදු බව රැකගැනීමට මහපොළොවේ මෙන්ම  වායුගෝලයේ පිරිසිදු බව රැුකගැනීම ද අත්‍යවශ්‍ය වේ. නීරෝගී දිවියක පදනම වන්නේ, පිරිසිදු පානීය ජලය, වස විස නැති ආහාර, නිසි පෝෂණය, ශාරීරික ව්‍යායාම හා යහපත් දිවි පැවැත්මයි. මෑතක් වනතුරු නීරෝගී ජාතියක් උරුම වී සිටි ශ‍්‍රී ලංකාව තුළ මේවන විට බෝ නොවන රෝග ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබේ. වකුගඩු රෝග, පිළිකා රෝග, හෘද රෝග, අක්මා රෝග ආදිය ඉන් ප‍්‍රමුඛ වේ. මීට ප‍්‍රධානතම හේතුවක් වන්නේ වස විස සහිත ආහාර හා ජලය භාවිතයයි. එබැවින් මනුෂ්‍යයාගේ සනීපාරක්ෂාව, නීරෝගීකම සඳහා සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය හා ආහාර ලබාගැනීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍යය. එපමණක් නොව ප‍්‍රමාණවත් ජල හා පවිත‍්‍රතා පහසුකම් නොමැතිකමින් කාන්තාවන්ට හා දරුවන්ට වන අපහසුතා මගහැරවීමත්, සනීපාරක්ෂාවට අහිතකර විවෘත පරිසරයේ සිදුවන ¥ෂණය, අපවිත‍්‍රවීම වැළැක්වීමත්, ”ජලය හා සනීපාරක්ෂාව” මූලික මිනිස් අයිතියක් වශයෙන්, සැමට එම අයිතිය බාධාවකින් තොරව භුක්ති විඳීමේ පහසුකම් ඇති කිරීමත්, තිරසර  යුගයක දී සම්පූර්ණ විය යුතු මානව අවශ්‍යතාවන් වේ.
 
 ගෝලීය ජල පරිභෝජනය
 
 පසුගිය වසර 55 තුළ, එනම්, 1960 සිට 2014 දක්වා කාලය තුළ ගෝලීය ජල පරිභෝජනය 600%කින් වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරයි. ලොව කර්මාන්ත අංශයට මිරිදිය ජලයෙන් 19%ක් භාවිතයට ගනු ලබන අතර, කෘෂිකාර්මික අංශයට මිරිදිය ජලයෙන් 70%ක් යොදා ගනී. ගෘහීය ජල ඉල්ලූම ද වසරින් වසර වැඩිවේ. දියුණු රටවල, නගරවල දැඩි ජන ඝණත්වය හා වියදම් අධික වීම හේතුවෙන් දියුණු වන නගර කරා ජනතාව ජීවත්වීමේ ප‍්‍රවණතාවක් පවතින අතර, දියුණු වෙමින් පවතින රටවල නගර ජීවිතය සඳහා ජනතාවගේ යොමු වීමක් ද පවතී. මෙකී සාධක ද හේතුකොටගෙන ගෘහීය ජල ඉල්ලූම වැඩි වේ. 2050 වන විට කාර්මික ක්ෂේත‍්‍රය සඳහා වන ජල ඉල්ලූම වැඩිවීමේ පුරෝකතනයක් ද සිදුකර ඇත.
 
 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්තාවලට අනුව, ලංකාවේ සෘජූ පානීය ජලය ලබාදීමේ නළ ජල ආවරණය 43%කි. ග‍්‍රාමීය ජල සම්පාදන හා භූගත ජලසම්පාදනය ඔස්සේ සිදුකරන ආවරණයන් සමඟ සමස්තයක් වශයෙන් ජල සැපයුම් ආවරණය 53%කි. ”සැමට ජලය” ලබාදීමේ වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය යටතේ, 2024 වන විට එය 80% දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරයි. ඒ ආකාරයට ලෝකය පුරා ජනගහනය වැඩිවීම, කාර්මික හා කෘෂිකර්මාන්තයේ දිරිගැන්වීම්, ග‍්‍රාම සංවර්ධනය,
 
 නාගරීකරණය ඇතුළුව සාධක ගණනාවක් ඔස්සේ, ජලය භාවිතයට ඇති ඉල්ලූම දිනෙන් දින වැඩිවේ. ඒ ආකාරයට 2050 වන විට, ගෝලීය ජල පරිභෝජනය කියුබික් මීටර් ටි‍්‍රලියන 06කට ආසන්න වනු ඇති බවට ද ඇස්තමේන්තු කර ඇත.
 
 ගෝලීය ජල අර්බුදය
 
 2100 වන විට ලෝක ජනගහනය බිලියන 11.2 ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. වත්මන් ලෝක ජනගහනය බිලියන 7.6කි. ලෝකය පුරා ජල හිඟය 40%කට වඩා වැඩි ජනගහනයකට බලපා ඇත. දේශගුණ විපර්යාස හේතුවෙන් එම ප‍්‍රමාණය ඊටත් වඩා වැඩි විය හැකි බව ද වාර්තා වේ. ලෝකය වර්තමානයේ මේ යන ගමන් මෙඟ්ම යන්නේ නම්, 2050 වන විට අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනකුගෙන් එක් අයෙකු ජල පීඩනයට ලක්විය හැකිය. 2050 වන විට ගෝලීය ජනගහනයෙන් 2/3 ක් පමණ මිරිදිය ජල සම්පත ලබාගැනීමට පහසුකම් අවම ප‍්‍රදේශවල ජීවත් වෙතැයි ද පුරෝකථනයක් පවතී. ඉදිරි දශක කිහිපය තුළ කාලගුණ විපර්යාස හා නියඟ නිතර නිතර සිදුවීමට නියමිත එක්සත් ජනපදය ඇතුළු බටහිර කාර්මික රටවල් දැඩි ලෙස ජල හිඟයට මුහුණපානු ඇත. ලෝකයේ සෙසු කලාප වලට ද කාලගුණ විපර්යාස තර්ජනය තිබේ. 2018/2019 වර්ෂයේ ලංකාව ද ඇතුළත්ව බොහෝ රටවල් කාලගුණික විපර්යාසවලට ගොදුරු වූ අතර, 2019 වර්ෂය තුළ ලොව කාලගුණික විපර්යාස වැඩිම සංඛ්‍යාවක් සිදු වූ රටවල් අතර, ලංකාව 6 වැනි ස්ථානයට පත්විය. එම ව්‍යසනයන් නිසා අපේ ජල මූලාශ‍්‍ර වලට දැඩි අහිතකර බලපෑම් ඇතිවිය. එම අවදානම ඉදිරියේදීත් පවතී. ලොව බිලියන 2.2 ක ජනතාවකට සෞඛ්‍ය ආරක්ෂිත ජල පහසුකම් නැති බවත්, 2017 වර්ෂයේදී ලෝකයේ රටවල් 45ක ගැටුම් ඇතිවීම සඳහා ”ජල අනාරක්ෂිතතාව” හේතු වූ බවත්, දත්ත වාර්තාවල සඳහන් වේ. ඒ ආකාරයේ ජල අර්බුදයක් ගෝලීය සමාජය ඉදිරියේ පවතී. ඉදිරියේදී ගොඩනැගෙන ”තිරසර යුගයක අපේක්ෂාව” වන්නේ; මෙකී අභියෝග, දුෂ්කරතා මඟහරවා සුරක්ෂිත පරිසරයක සැමට ජිවත්වීමේ පහසුකම් සැපයෙන තිරසර සමාජ ආර්ථික පදනමක්  ගොඩනැඟීමයි.
 
 ජල අර්බුදයෙන් මිදීමට විකල්ප විසඳුම්
 
 ජල සැපයුම වැඩි කිරීමට කටයුතු කිරීම ප‍්‍රධාන විකල්පයකි. ජලය ලබාගැනීමට ප‍්‍රවේශ හා පහසුකම් ඇති කිරීම, ජලය වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන ක‍්‍රම හඳුන්වාදීම, ජලය ප‍්‍රතිචක‍්‍රීකරණය, වැසි ජල සංරක්ෂණය දිරිමත් කිරීම, ජල සංරක්ෂණය සඳහා මහජනතාවට අධ්‍යාපනය ලබාදීම මෙහිදී ඉතා වැදගත් වන අතර, එය රජය, පෞද්ගලික සමාගම්, හා මහජන සංවිධාන එක්ව සිදුකළ යුතු සහභාගීත්ව ක‍්‍රියාවලියක් වේ. ජල ධාරා සංරක්ෂණය, ජල මූලාශ‍්‍ර සංරක්ෂණය, තෙත්බිම් සංරක්ෂණය, ගංගා හා තෙත්බිම් පරිසර පද්ධති වලට විෂ රසායන, අපදියර, පොලිතීන්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආදී ඝන අපද්‍රව්‍ය බැහැලීම වළක්වා ලීම, ගංගා හා පරිසර පද්ධති ආශ‍්‍රිත අනවසර ක‍්‍රියාකාරකම් වැළැක්වීම, ඛනිජ කැණීම් ආදිය වැළැක්වීම හා නියාමනය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා අනුගත ක‍්‍රියාවලීන් ගොඩනැගීම, ජනතාවට පරිසර සංරක්ෂණ අධ්‍යාපනය ලබාදීම ආදිය ජල අභියෝගයට මුහුණදීම සඳහා වැදගත් ක‍්‍රියාමාර්ග වේ.
 
 මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව විධිමත් සැලැස්මක් යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතන ඇතුළත් ශක්තිමත් යාන්ත‍්‍රණයක් ඔස්සේ ක‍්‍රියාත්මක කිරීම සඳහා, මාර්තු 22 දින එනම් අද දින, කතරගම මැණික් නදිය කේන්ද්‍රකොටගෙන ජනාධිපතිතුමා අතින් ලෝක ජල දිනයට සමගාමීව ආරම්භ කෙරෙන ”සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන, සුරක්ෂිත පරිසරයක් තුළ සැමට ජල පහසුකම් සපයමින් ජල අභියෝගයට මුහුණදීම සඳහා දියත් වන තිරසර සංවර්ධන ප‍්‍රයත්නයක් වේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ක‍්‍රියාකාරී සහාය ලබාදීම අප සැම වගකීමක් වේ.
 
 ජල අභියෝගයට මුහුණදීම සඳහා තවත් විකල්පයක් වන්නේ ජලය සඳහා ඇති ඉල්ලූම අඩු කිරීමයි. කාර්යක්ෂම ජල භාවිතය සඳහා නව තාක්ෂණය, ක‍්‍රමවේද හා උපකරණ හඳුන්වා දීම, ජනතාව දැනුවත් කිරීම මෙහිදී ඉතා වැදගත්ය. එසේ නමුත්, ජනගහනය වැඩිවීම, කාර්මීකරණය, නාගරීකරණය, නවීකරණය මෙන්ම පාරිභෝගීකරණය ඔස්සේ ඉදිරියට යන ලිබරල් ලෝක වෙළෙඳ සමාජයේ ජලය සඳහා වන ඉල්ලූම අඩු කිරීම දුෂ්කර කටයුත්තක් වේ.
 
 ජල සංරක්ෂණය සඳහා ගෘහස්ථ ජල භාවිතය අවම කිරීම.
 
 ගෘහස්ථ ජල භාවිතය අවම කිරීම සඳහා නව්‍ය විසඳුම්, නව්‍යකරණ උපාංග හා ක‍්‍රියාමාර්ග හඳුන්වා දීම ඉතා වැදගත් වේ. ලෝක ප‍්‍රකට P&G  සමාගම ජල භාවිතය අවම කිරීමේ ගෘහස්ථ උපකරණ නිෂ්පාදනය කරයි. උදාහරණයක් ලෙස පිඟන් සේදීමේ යන්ත‍්‍ර (Dish Washing Tablets) ගත් විට; සාමාන්‍යයෙන් ගෘහීය වශයෙන් මුළුතැන්ගෙයි උපකරණ සේදීමට ගෘහීය නළ ජලය විවෘතව භාවිත කිරීමේදී විශාල ජල ප‍්‍රමාණයක් වැය වේ. ජලය අපතේ යෑම ද සිදුවේ. එසේ නමුත් මෙම පිඟන් සේදීමේ යන්ත‍්‍රය භාවිතයෙන් ඉතා අඩු ජල ප‍්‍රමාණයකින් සේදීම කළ හැකිය. කාලයද ඉතිරිවේ. උද්‍යාන වලට ජලය දැමීම සඳහා උපකරණ, ස්නානය සඳහා අඩු ජල භාවිත ෂවර් හෙඞ්, ද්විත්ව ෆ්ලෂ් වැසිකිළි උපාංග, භාවිතයන් නොමැති අවස්ථාවල ස්වයංක‍්‍රියව වසා තබන නොසල්ස් ආදී තවත් උපාංග ගණනාවක් මෙම සමාගම හඳුන්වා දීමෙන් බලශක්තිය හා ජලය කාර්යක්ෂමතාව සහතික කිරීමටත්, එම සම්පත් සංරක්ෂණයටත් දායකත්වයක් ලැබී තිබේ. 2022 වසරේ සිට යුරෝපා සංගමයේ රටවල් මෙකී උපකරණ සඳහා නව බලශක්ති හා ජල ප‍්‍රමිතීන් හඳුන්වා දී එම උපකරණ භාවිතය දිරිමත් කිරීමට ද අපේක්ෂිතය. එමඟින් යුරෝපීයයන්ගේ වාර්ෂික ජල අවශ්‍යතා Cubic Meters Million  16ක් ඉතිරි කරගැනීමට ඇස්තමේන්තු කර ඇත. එම ඉතිරිය යුරෝපයේ වාර්ෂික ජල අවශ්‍යතා 300,000කට වඩා සැපිරීමට ප‍්‍රමාණවත් වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෘහීය පරිභෝජන ජලයෙන් දළ වශයෙන් 30%ක් මිදුලේ තණකොළ හා මල් වගාවන් සඳහා යොදයි. ශුෂ්ක නිරිතදිග ඇමෙරිකාවේ මෙම ප‍්‍රතිශතය 60%කටත් වැඩිවේ. ජල සංරක්ෂණයට දැඩි අවධානයක් යොමු කර ඇති ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව, ගෘහීය ජල කාර්යක්ෂමතාවය දිරිගැන්වීම සඳහා වසරින් වසර නියාමන කාර්යන් ශක්තිමත් කරනු ලබයි.
 
 ජල පිරිමැසුම් උපකරණ හඳුන්වාදීම සේම, පාසල් දරුවන් හා පොදු ජනතාවගේ ජල සංරක්ෂණය සඳහා වූ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම ද ඉතා වැදගත් වේ. අසල්වැසි ඉන්දියාවේ සාර්ථක ජල සංරක්ෂණ අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳව උදාහරණයක් දැක්විය හැකිය. දැඩි ජල අර්බුදයෙන් පීඩා විඳින ඉන්දියාවේ, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හඳුන්වා දුන් ”ජලය ඉතිරි කරමු” නම් වූ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ, පාසල් දරුවන් හා ගුරුවරුන් දෛනිකව භාවිතා කරන පානීය ජල බෝතලයේ ඉතිරිවන ජලය භාවිත කරමින් සාර්ථකව පාසල් උද්‍යාන සරු කර ඇත. බොහෝවිට අප කරන්නේ ඉතිරි වතුර නිකරුණේ ඉවත දැමීමය. මෙම සංකල්පය ඔස්සේ ඉතාම සරල ක‍්‍රියාවකින් ඵලදායී කාර්යයක සාර්ථක ප‍්‍රතිඵල පෙන්විය හැකි බවට අවබෝධයක් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් වන ගුරුවරුන්ට ද ලබාදී ඇත. මෙමඟින් ජල සංරක්ෂණය පිළිබඳව ආකල්පමය වශයෙනුත්, චර්යාමය වශයෙනුත් කදිම පාඩමක් සැමදෙනාටම උගන්වා ඇත. ඉන්දියාවේ පාසල්වල මෙන්ම ගෘහීය මට්ටමින් වැසි ජල සංරක්ෂණය ද සාර්ථකව ක‍්‍රියාත්මක වේ.
 
 ජල සංරක්ෂණය පිණිස, ජලය නාස්තියෙන් තොරව,  ගෘහස්ථ නළ ජලය සකසුරුවම් භාවිතය සඳහා, පොදු ජනතාවට විශාල කාර්යක් කළ හැකිය. සිදුකළ යුත්තේ, පළමුව ”ගෙදර ජල කරාමයෙන් එන ජලය දෙස ඉන් ඔබ්බට සිතීමයි.” ජල බිල්පතට යම් මුදලක් ගෙව්වද නිවසේ ජල කරාමයට ජලය ගලා එන්නේ, පුළුල් සංකීර්ණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස බවත්, තවත් ඔබ්බට සිතන විට ජල මූලාශ‍්‍ර හා ගංගා පද්ධති ජල සම්පාදන ක‍්‍රියාවලියේ පදනම බවත්, එසේ හෙයින් ඒවා සුරැුකීමේ වැදගත්කමත් අපට වැටහේවී. ගෝලීය දත්ත වාර්තාවක සඳහන් වන්නේ, හරක් මස් රාත්තලක් නිෂ්පාදනයට ජලය ලීටර් 7000කට වඩා අවශ්‍ය බවත්, එම ප‍්‍රමාණය අර්තාපල් රාත්තලක් නිෂ්පාදනයට අවශ්‍ය ජල ප‍්‍රමාණය මෙන් 50 ගුණයකටත් වඩා වැඩි බවය. කපු ටී ෂර්ට් එකක් නිෂ්පාදනයට ජලය ලීටර් 2700 ක් අවශ්‍යය. නිවාස, පාසල්, කාර්යාල බලගැන්වීම සඳහා ශක්තිය නිපදවන්නේ තාප බලාගාර මඟිනි. තාප බලාගාර සිසිලනය කිරීම සඳහා මිරිදිය ජලය අවශ්‍යය. මේ ආකාරයේ වූ ජලයේ බහුමානීය සේවාව අවබෝධ කරගනිමින්, සීමිත සම්පතක් වන ජල සංරක්ෂණයට අප සැවොම එක්ව කටයුතු කළ යුතු වේ. අපගේ ආහාර රටා සරල කරගැනීම, අනවශ්‍ය ලෙස ඇඳුම් පැළඳුම්, විවිධ භාණ්ඩ අත්පත් කරගැනීමෙන් වැළැකීම මුදල් ඉතිරි කිරීමක් ද වන අතර, වක‍්‍ර ආකාරයෙන් ජල සංරක්ෂණයට දායක වීමක් මෙන්ම ශක්තිය සංරක්ෂණයට දායකවීමක් වේ. ඒක පුද්ගල ජල පරිභෝජන සලකුණ (Water Foot Print) අඩු කරගැනීමක් ද වේ. එක පුද්ගලයෙකුගේ ජල පරිභෝජන අනුපාතය අඩු කරගැනීම සැලකුවහොත්, ඒ ආකාරයටම පවුලක්, සමූහයක්, ගමක්, ප‍්‍රදේශයක්, පළාතක්, රටක් හා ගෝලීය සමාජයක් ලෙස පුළුල්ව ගත් විට සැමදෙනාගේ එකතුවෙන් ගෝලීය ජල පරිභෝජනය විශාල වශයෙන් අඩුකරගත හැකිවේ. එය ගෝලීය ජල සංරක්ෂණයට මෙන්ම ගෝලීය ජල අර්බුදය විසඳීම සඳහා මහජන දායකත්වය ලබාදීමක් ද වේ.
Tags: