IMG-LOGO
Home පුවත් අපිට ලොකු සැකයක් තියෙනවා - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව.

අපිට ලොකු සැකයක් තියෙනවා - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව.

Date : 2021-Feb-22
IMG
පාස්කු ප්‍රහාර වාර්තාව ගැන සැකය දුරුවීමට එම වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ සභාපති වින්සන්ට් ජේ. ප්‍රනාන්දු රදගුරුතුමන් පවසයි.

බදුල්ල රොක්හිල් හි පිහිටි රදගුරු මැදුරේදී අද පැවැති මාධ්‍ය හමුවකදී වින්සන්ට් ජේ. ප්‍රනාන්දු රදගුරුතුමන් මේ බව පෙන්වා දුනි.

රදගුරුතුමන් සඳහන් කළේ, "දැන් පීලි පැනපු තත්වයක් අපි දකින්නේ. කමිටු 2ක් පත්කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙල ගැන අපිට ලොකු සැකයක් තියෙනවා," යනුවෙනි.

"2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙක් මරණයට පත්වුණා. කොච්චිකඩේ දේවස්ථානයේ 56 දෙනෙකුත් කටුවාපිටිය දේවස්ථානයේ 115 දෙනෙකුත් ජීවිතක්ෂයට පත්වුණා. හෝටල්වල සිටි අයත් මරණයට පත්වුණා. තුවාල ලැබූ හා ආබාධිත වූ 500 දෙනෙක් සිටිනවා."  

"අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණයකින් පසුව සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. මෙතෙක් ගත් පියවර අප අගය කරනවා. මලල්ගොඩ විනිසුරුතුමාගේ කොමිසම ඉන්පසු පාර්ලිමේන්තු කාරක සභාව, ඉන්පසු ජනාධිපති කොමිසමක් පත්කරලා හොඳ වැඩපිළිවෙලක් ගෙනගියා. 
දවස් 214 ක් තුළ සැකකරුවන් හා සාක්ෂිකරුවන් කැඳවලා මහ විශාල වාර්තාවක් සකස් කරගත්තා. ඒ පිටුවලින් වෙළුම් 6ක් සකස් කරගත්තා. ඊට අමතරව ඇමණුම් 215 ක් තියෙනවා."

"ඉතින් අපි, ඒ කළ පරීක්ෂණ සම්බන්ධයෙන් සතුටු වෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. ඉන්පසු කළ යුත්තේ කුමක්ද? බෙහෙවින්ම පීඩාවට පත්වු කතෝලික ජනතාවට ඒ වාර්තාව දැක බලාගැනීමට එය පිළිගන්වන්න ඕන. පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ මෙය නීතිපතිට, ඉන්පසු අවසාන පියවර වන්නේ එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා අප සිතනවා."

"අපේ ජනතාව පත්කරගත් ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. විශේෂයෙන්ම අපේ සැකය දුරුකිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහාත් විශේෂයෙන්ම කාදිනල්තුමා අතට මේ වාර්තාව පත්කරන්න ඕන. මේ වාර්තාව ඔස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්න කියලා." 

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට පත්කළ කැබිනට් අනු කමිටුව අද  පළමුවරට රැස්වීමට නියමිත අතර එය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබ  තිබුණා.

කමිටු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් සිටිනවා.

අද දින වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.











Tags: