IMG-LOGO
Home පුවත් හෙටට යෙදෙන ලෝක සමාජ සාධාරණත්ව දිනය වෙනුවෙනි...

හෙටට යෙදෙන ලෝක සමාජ සාධාරණත්ව දිනය වෙනුවෙනි...

Date : 2021-Feb-19
IMG
2007 වර්ෂයේ නොවැම්බර් මස 27 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 63 වන සැසි වාරය අරඹමින් පෙබරවාරි මස 20 වන දිනය සමාජ සාධාරණත්වයේ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. 

සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටින, කතා කරන පිරිස් එමටය. විශේෂයෙන් මැතිවරණ සමයේ කළ එළියට එන මාතෘකාවක් බවට පත් වී ඇත. ලෝකයම සමාජ සාධාරණත්වය වැදගත් සංකල්පයක් ලෙස සලකා ඇති අවස්ථාවක සැබෑවටම සමාජ සාධාරණත්වය යනු කුමක්ද? මේ සංකල්පය ලෝකයට අවතීර්ණ වූයේ කෙසේද? යන්න පිළිබඳ සලකා බැලීම වටී.

පුද්ගලයින් එකිනෙකා අතර සහ එක් එක් ජාතීන් අතර සාමකාමී බව සහ සෞභාග්‍යය රඳා පවත්වා ගැනීමේ මූලික අඩිතාලම වන්නේ සමාජ සාධාරණත්වයයි. මිනිසුන් අතර ආගම, ජාතිය, ස්ත්‍රී පුරුෂ බව, වයස, සංස්කෘතිය, ශාරීරික දුබලතා ආදිය මත සිදුවන වෙනසක් පවතී නම් එය එසේ නොකිරීමට වග බලා ගැනීම සමාජ සාධාරණත්වය ඇති කිරීම නම් වෙයි. උදාහරණයක් ලෙස රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට යන සියලු දෙනාගෙන් අදාළ සුදුසුකම් සපුරා ඇති අයකු ඔහු දරන දේශපාලන මතය හෝ ඔහු අදහන ආගම මත අනෙකුත් සුදුසුකම් ලාභීන්ට නොදක්වන වෙනස්කමකට භාජනය වෙයි නම් ඔහු හෝ ඇය ජීවත්වන සමාජය සමාජ සාධාරණත්වය රජ කරන තැනක් නොවේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සංකමණිකයන් හා ආදිවාසී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම මගින් සමාජ සාධාරණත්වය නගා සිටුවීමට බොහොමයක් පියවර ගත හැකි ය.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලෝකයේ පළමුව හඬනැගුවේ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සංවිධානයි. ඉන් පෙර ද ඉතිහාසයේ අසාධාරණයට ලක් වූ ජන කොටස් අනන්තවත් සිට ඇත. කුඩා දරුවෝ, ආබාධිත පුද්ගලයෝ, විවිධ කුලවලට හා ජාතීන්ට අයත් පුද්ගලයෝ ඒ අතර වෙති.

පාලක පක්ෂයට බලපෑම් කළ හැකි සංවිධානාත්මක පිරිසක් ලෙස කම්කරුවන් පෙරට ආවේ යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයෙන් පසු විශාල වශයෙන් කම්කරු ශ්‍රමය සූරා කෑම නිසාය. රදළ පැලැන්තිය විසින් ආර්ථික වාසි අත්පත් කර ගැනීම උදෙසා මෙය සිදු කළ අතර මේ තත්ත්වයට එරෙහිව කම්කරු ප්‍රජාවගේ නැඟීසිටීම 1919 වර්ෂයේ දී ලෝක කම්කරු සංවිධානය පිහිටුවීම දක්වා ක්‍රියාත්මක වූ අතර එය මේ වන විටත්, ඉදිරියටත් ක්‍රියාත්මක වේ. 

2008 වර්ෂයේ දී අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් “ සාධාරණ ගෝලීයකරණයක් සඳහා සමාජ සාධාරණත්වය” (Declaration on Social Justice for a Fair Globalization ) පිළිබඳ ප්‍රකාශනය ඒකමතිකව සම්මත කර ගන්නා ලදී. මෙය මෙම සංවිධානය විසින් පිහිටුවන ලද තුන්වන ප්‍රධානතම ප්‍රකාශනයයි. 1944 වර්ෂයේ පිලඩෙල්පියා ප්‍රකාශනයත් 1998 දී වැඩ කිරීමේ දී පවත්නා මූලික මූලධර්ම හා අයිතීන් පිළිබඳ ප්‍රකාශනයත් අනෙකුත් ප්‍රධාන ප්‍රකාශන දෙක වේ. සාධාරණ ගෝලීයකරණයක් සඳහා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රකාශනය ත්‍රෛපාර්ශ්වික ක්‍රියාදාමයකි. මෙහි දී රජයන්, සේවා යෝජකයන් සහ රටවල් 182 ක කම්කරු සංවිධාන එක්ව ගෝලීයකරණය තුළින් සමාජ සාධාරණත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරති. 

ගෝලීයකරණය හා එකිනෙකා මත යැපීම තුළින් නව වෙළෙඳ අවස්ථා ඇති කර ගැනීම, ආයෝජන අවස්ථාවන්, ප්‍රාග්ධනය ගලා යාම, උසස් තාක්ෂණික ක්‍රම සඳහා දොරටු විවෘත කිරීම සහ ඒ මගින් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් සාමාජික රටවලට උරුම කිරීම මෙහි අරමුණ වේ.

ආර්ථික අර්බුදයෙන් ඔබ්බට ගිය සමාජ අසාධාරණත්වය පිළිබිඹු වන අවස්ථා ලාංකික සමාජය තුළ වැඩි වශයෙන් පවතී. දේශපාලන අස්ථාවරත්වය හා අයුක්තිසහගත දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් සිදුවන අසාධාරණකම්, සම්පත් හා සේවාවන් අසමතුලිත ලෙස බෙ දී යාම හේතුවෙන් සමාජ සුබසාධනය සමාන ලෙස බෙ දී නොයාම වැනි ගැටලු ප්‍රායෝගික තලයේ දී දක්නට ඇත. අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට විශාල මූල්‍යමය අක්‍රමිකතා, අනාරක්ෂිත බව ජන කොටස් අතර පවතින සංස්කෘතික අසමතුලිතතාවන් සංවිධානයේ අභියෝගය ජය ගැනීමට පවතින ප්‍රබල බාධක වේ.

ආබාධිත තැනැත්තන් සඳහා පවතින අවස්ථා අඩු වීම, ස්ත්‍රීන් හා දරුවන් සම්බන්ධයෙන් ප්‍රායෝගිකව සමානාත්මතාව ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ට එරෙහිව සිදුවන ප්‍රචණඩත්වය හා හිංසනය පාලනය දුෂ්කර වීම ආදිය සමාජ සාධාරණත්වය තහවුරු කිරීමෙහි ලා විශාල බාධාවන් ලෙස හඳුනා ගත හැකිය.

සමාජ සාධාරණත්වය යනු සරලව ගත් කල සැමට සමාන තත්ත්වයන් හිමි වීමය. න්‍යායාත්මකව එසේ දැක්වුව ද විවිධ පුද්ගලයන්ට සැලකිය යුත්තේ විවිධ ආකාරයටය. උදාහරණයක් ලෙස ආබාධිත පුද්ගලයන්ට පොදු ස්ථානවල, සේවා ස්ථානවල ගැළපෙන වෙනස්කම් සහිතව විශේෂ පහසුකම් සලසා තිබිය යුතුය. මෙහි දී සෑම ආබාධිත පුද්ගලයකුටම ජාති, ආගම්, කුල නොසලකා එක හා සමාන තත්ත්වයන් හිමිවිය යුතුය. කාන්තාවන් ගත් කල බොහොමයක් විදේශ රටවල පවත්නා ආකාරයට නියමිත පසූත නිවාඩු සංඛ්‍යාව, දරුවන් හදා වඩා ගැනීමට පහසුවන ආකාරයේ නම්‍යශීලී සේවා යෝජක ප්‍රතිපත්ති සැපයිය යුතුය. එම තත්ත්වය ජාති, ආගම්, කුල භේද නොසලකා සෑම කාන්තාවකටම හිමි විය යුතුය. ඒ අනුව ගත් කළ විවිධත්වයට ද ගරු කිරීම හා විශේෂත්වයට ගැලපෙන ස්ථානය හිමි කර දීම ද සමාජ සාධාරණත්වයේ එක්තරා පැතිකඩකි.

ලංකාවේ වැඩි වශයෙන් දැකිය හැක්කේ සමාන, එකම වර්ගයේ පුද්ගල කණ්ඩායම්වලට සමාන ලෙස අවස්ථා සම්පත් බෙ දී නොයාමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන අවුරුදු පහක දරුවකුට රජය මගින් ලබා දෙන අධ්‍යාපන පහසුකම් හා කොළඹ ප්‍රදේශයේ එම වයසේම දරුවකුට ලබා දෙන අධ්‍යාපන පහසුකම් අතර විශාල පරතරයක් පවතී. එමෙන්ම එවැනි ප්‍රදේශයක ජීවත් වන ගැබිනි මවකට පවතින සෞඛ්‍ය පහසුකම් සහ නගරබද ප්‍රදේශයක ජීවත් වන ගැබිනි මවකට රජය මගින් සපයා ඇති සෞඛ්‍ය පහසුකම් අතර වෙනසක් පවතී. මෙම පරතරය හෙවත් වෙනස අවම මට්ටමකට ගෙන ඒම සමාජ සාධාරණත්වය ඇති කිරීමට උත්සාහ කිරීම නම් වෙයි. 

සමාජ සාධාරණත්වය ඇති කිරීම රාජ්‍ය පාර්ශ්වයට පමණක් කළ හැක්කක් නොවේ. 2008 දී අන්තර්ජාතික කම්කරු සංවිධානය සේවා යෝජකයන් හා කම්කරුවන් රජය සමඟ එක ක්‍රියාත්මක කරන ත්‍රෛපාර්ශ්වික සුසංයෝගයක් මගින් සමාජ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කර ඇත්තේ එම නිසාය. සෑම තනි පුද්ගලයකුගේ ම දායකත්වය මේ සඳහා අවශ්‍ය වේ.

වරින් වර දේශපාලන වේදිකාවලින් ඇසෙන සටන් පාඨවලට පමණක් සීමා වන සමාජ සාධාරණත්වය යන සංකල්පයේ නියම අරුත ප්‍රකාශ කරන තරම් පහසුවෙන් ළගා කර ගත හැක්කක් නොවේ. එහෙත් එහි යම් ප්‍රගතියක් හෝ දැකීමට අප සියලු දෙනාට දායක විය හැකි කොටසක් ඇති බව සිහි තබා ගත යුතුය.
Tags: