IMG-LOGO
Home පුවත් ජෛව ආරක්ෂණ බුබුල තුළ සංචාරක ව්‍යාපාරය විවෘත වෙයි.

ජෛව ආරක්ෂණ බුබුල තුළ සංචාරක ව්‍යාපාරය විවෘත වෙයි.

Date : 2021-Jan-25
IMG



පසුගිය ජනවාරි 21 වැනිදා රට නිල වශයෙන් විදෙස් සංචාරකයන්ට විවෘත කරමින් අපේ ගුවන්තොටුපළ යළි විවෘත කිරීමට රජය කටයුතු කළේය. මෙසේ ශ‍්‍රී ලංකාව විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමත් සමඟම ගිය සිකුරාදා පාන්දර මුලින්ම ජර්මන් ජාතික සංචාරක ව්‍යාපාර නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. ඒ ආයුර්වේද සුවතා නිවාඩුවක් ගත කිරීමටය. මෙසේ විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර රජය විසින් සංචාරක නියමු ව්‍යාපෘතියක් ද දියත් කළේය. ඊට මූලික වූ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගැන මෙන්ම එම නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් පිළිබඳවත් බොහෝ කතා බහ ඇති විය. සංචාරක මණ්ඩලය පවා එයට එතරම් දායක වූ බවක් නොපෙනිණි. එහෙත් අප නම් සිතන්නේ එම නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු තිබුණත් කොවිඞ් 19 වසංගතයෙන් අකර්මන්‍ය වූ අපේ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට එමගින් වැදගත් දායකත්වයක් ලැබුණු බවය. ඇතැම් විවේචන එල්ල වුවත් එම නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත් එම විදේශිකයන්ගෙන් මෙරට ජනයාට වෛරසය පැතිර යාමක් ද සිදු නොවූ බවත් කිව යුතුය. 

ඇත්ත වශයෙන්ම කොවිඞ් වසංගතයෙන් පසු මෙරටට මුලින්ම සංචාරකයන් පැමිණියේ මේ සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ බව ද අප අමතක නොකළ යුතුය. ජනවාරි 21 වැනිදා රට නිල වශයෙන් විදෙස් සංචාරකයන්ට විවෘත වන්නේ එම නියමු ව්‍යාපෘතියෙන් උගත් පාඩම් ද සමගය. මේ පසුබිම තුළ විදෙස් සංචාරකයන්ට රට විවෘත කරමින් නැවත සංචාරක ව්‍යාපාරය පණ ගැන්වීමට රජය දරණ උත්සාහය ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.

කොවිඞ් -19 වසංගතය නිසා මීට මාස දහයකට පමණ පෙර අපේ ගුවන්තොටුපළ වසා දමා විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීම ද නවතා දැමීමට රජය කටයුතු කළේය. එදින සිට මෙරටට විදෙස් සංචාරකයන් නොපැමිණි නිසා සංචාරක කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසක් බලවත් අසරණභාවයට පත් වූ බව අපි කව්රුත් දනිමු. එසේ වුවත් මේ ලෝක වසංගත තත්ත්වය හමුවේ අපේ රට සහ ජනයා අනාරක්ෂිත කරගත නොහැකිය. එසේම කොවිඞ් වසංගතය නිමාවන තුරු අපේ ආර්ථික කටයුතු නවතා ගෙන සිටීමට ද පුළුවන් කමක් නැත. මෙය කලක් පවතින වසංගත තත්ත්වයක් නිසා වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට ක‍්‍රියාමාර්ග ගන්නා අතරම රටේ ආර්ථික කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට සිදු වේ. මේ නිසාම අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය ගත් තීරණය ඉතාම නිවැරදි එකකි. ඒ ගැන සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත සියලූ දෙනාම සතුටට පත්ව සිටින බවට සැකයක් නැත. 

එහෙත් මෙහි ද ගැටලූ සහ අඩුපාඩු ඇති විය හැකිය. නොයෙකුත් විවේචන එල්ල විය හැකිය. මුලදී සංචාරක බුබුලක් වශයෙන් මෙය ක‍්‍රියාත්මක වන නිසා සංචාරක කර්මාන්තයේ සියලූ දෙනාට මේ ලැබෙන ආදායම් බෙදී යන්නේ නැති බව ද ඇත්තය. මේ වසංගත තත්ත්වය හමුවේ විදෙස් සංචාරකයන්ට නිදහසේ රටේ සැරිසරන්නට ඉඩ දිය නොහැකි නිසා ඔවුන්ට ගමන් කිරීමට ලැබෙන්නේ අවසරලත් ස්ථානවලට පමණය. ඒ නිසා මේ තත්ත්වයන් කාලයත් සමග ක‍්‍රමයෙන් සමනය වනු ඇත. එසේම මහජනයාගේ පැත්තෙන් ද මේ සඳහා නොයෙකුත් විවේචන එල්ල විය හැකි නිසා අප නම් සිතන්නේ සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීමක් ද අවශ්‍ය වනු ඇති බවයි. ඒ සඳහා අපේ ජනයාගේ මනස ද සූදානම් කළ යුතුය. එය අපේ සංචාරක මණ්ඩලයේ සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම පොදුවේ රජයේ වගකීමකි. මෙහිදී දිගුකලක් වසා තැබුණු ගුවන්තොටුපළ යළි විවෘත වීමේදී අපේ ගුවන්තොටුපළ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක‍්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම ඉතා වැදගත්ය.

ජාත්‍යන්තර සංචාරකයන් හට මෙරට සංචාරය සඳහා දොරටු විවර වන්නේ සංචාරකයන්ගේ මෙන්ම ශ‍්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවම මූලික කරගත් ආරක්ෂණ වැඩපිළවෙළ සහ ක‍්‍රියාමාර්ග ගණනාවක් ස්ථාපනය කිරීමෙන් පසුව බව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය පවසයි. ඒ බව ඇය පසුගිය ජනවාරි 21 වැනිදා විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පැවසුවාය. මේ ආරක්ෂණ වැඩපිළිවෙළ සභාපතිනිය පවසන පරිදිම එලෙසම ක‍්‍රියාත්මක වන්නේ නම් එමගින් අපේ රටවැසියාට මේ සංචාරක පැමිණීම් නිසා අවදානමක් ඇති නොවේ. එසේම ආර්ථිකමය වශයෙන් අමාරු අවස්ථාවක සිටින අපට ඩොලර් ආදායම් ද උපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ ක‍්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් සුවිශේෂතම කරුණක් වන්නේ සංචාරකයන්ට ශ‍්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබඳව නියමයක් නොමැති වීම සහ ඔවුන්ට නිරෝධායනය වීමකින් තොරව තමන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක, සම්බාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු සියලූ පහසුකම් විඳීමට අවස්ථාව හිමි වීමයි. මේ අතරම සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අනෙකුත් ක්ෂේත‍්‍රයේ පාර්ශ්වකරුවන් මේ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සමීපව කටයුතු කරමින් සිටී. 

මේ නව සාමාන්‍ය තත්ත්වය යටතේ සංචාරකයන්ට හොඳම සේවාවක් සහ අත්දැකීමක් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා සංචරණය විසින් අන්තර්ජාල වැඩමුළු, පුහුණු වැඩසටහන් සහ සාකච්ඡා මාලාවන් රැසක් ද මේ වනවිට පවත්වා තිබේ. මෙකී සියලූ ආරක්ෂණ ක‍්‍රියාමාර්ග හා විධිවිධානයන් ස්ථාපනය කර, තහවුරු කර ඇති නිසා ශ‍්‍රී ලංකාව දැන් සංචාරක අමුත්තන් නැවත පිළිගැනීමට ඉතා යෝග්‍ය තත්ත්වයක පසු වෙන බව ශ‍්‍රී ලංකා සංචරණයේ අදහසයි. එහෙත් සංචාරක කර්මාන්තයේ තීන්දු තීරණ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයන් අතර මෙන්ම ශ‍්‍රී ලංකා සංචරණය සහ කර්මාන්තයේ පාර්ශ්වයන් අතර ද විවිධ මතභේද තිබෙන බව පෙනේ. සංචාරක කර්මාන්තයේ ඇතැම් පාර්ශ්වයන් පවසන්නේ සංචාරක සභාපතිනිය ඇතැම් අවස්ථාවලදී කර්මාන්තයේ අදහස්වලට සවන් නොදී තනි මතයට ඒක පාර්ශවීයව කටයුතු කරන බවයි. මේ නිසා සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමේ දී ශ‍්‍රී ලංකා සංචරණය සහ සංචාරක කර්මාන්තයේ පාර්ශ්වයන් රජය සමග එක්ව කටයුතු කරන්නේ නම් මේ කොවිඞ් -19 සමග මෙරට සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ උත්සාහයන් වඩාත් සාර්ථක වනු ඇති බව අපගේ අදහසයි.

විදෙස් ගුවන්තොටුපළ විවෘතවීමට පෙර දින එනම් ජනවාරි 20 දිනයේ මේ ලියුම්කරු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට ද කටුනායක ගුවන්තොටුපළට යාමට අවස්ථාව ලැබුණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ කටයුතු සිදු වන අයුරු දැක්වෙන පෙරහුරු චාරිකාවකට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සහභාගි වීමට එදින පැමිණි අතර මේ සඳහා සහභාගි වීමට අපට ද හැකි විය. ඒ අනුව එදින උදේ 11.00 ට පමණ අප කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර එහි යනවිට අපට දැකගත හැකි වූයේ ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සිටින ගුවන්තොටුපළ නිලධාරීන්ය. ඒ වන විටත් අපට දැකගත හැකි වූයේ ඊට පසු දින ගුවන්තොටුපළ විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු යුහුසුළුව සිදු වෙමින් පවතින අයුරුයි. අපව කටුනායක ගුවන්තොටුපළ ඇතුළට ගනු ලැබුවේ අපගේ නම් දුරකථන අංක ඇතුළු විස්තර සටහන් කරගැනීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්වලට අනුවය. පුද්ගල දුරස්ථතාව ආරක්ෂා කර ගැනීමට ද උපදෙස් ලැබිණි. අපව ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තය වෙත රැුගෙන යන ලදී. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී රටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගත හැකි, ගත යුතු සියලූ පියවර ගෙන තිබෙන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කියයි. 

ඒ සඳහා මෙරටට එන සංචාරකයන් ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුල නොබිඳී ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අතවශ්‍ය වේ. ඒ සඳහා අනුගමනය කෙරෙන පිළිවෙත් අප වෙත පැහැදිලි කර දීම සිදු කළේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා  සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර යන මහත්වරුන්ය. ඔවුන් එම කරුණු මාධ්‍යවේදීන්ට පැහැදිලි කිරීම අවසන් වී ටික වෙලාවකින් සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ද කටුනායක ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තය වෙත පැමිණියේය. ඔහු ද මාධ්‍යවේදීන් ඇමතීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ කටයුතු සිදු වන අයුරු නිරීක්ෂණය කෙරෙන පෙරහුරු චාරිකාවකට මාධ්‍යවේදීන් සමග සහභාගි විය.

අපට සිදුකළ පැහැදිලි කිරීම් අනුව සංචාරකයන් එන්නේ මෙරටට පැමිණීමට පැය 72 කට පෙර  පී. සී. ආර්. පරීක්ෂාවකට ලක්වීමෙන් පසු නෙගටිව් බව දැක්වෙන සහතිකය ද රැගෙනය. මේ නිසා මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඞ් ආසාදිත නොවන බව තහවුරු වූ සංචාරකයන්ට පමණකි. ඔවුන් ගුවන් යානයකින් මෙරට ගුවන්තොටුපළට පැමිණ ගුවන් පාලම හරහා අපේ ගුවන් තොටුපළට ප‍්‍රවේශ වීමට පෙර අනිවාර්ය විෂබීජහරණයකට ලක් කෙරේ. විදෙස් සංචාරකයන් මෙන්ම ශ‍්‍රී ලාංකිකයන් සහ මෙරට නේවාසිකව සිටින විදේශිකයන් වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ගුවන් මගීන් අපගේ ගුවන්තොටුපළ වෙත පැමිණේ. විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර වීසා සඳහා අයැදුම් කිරීමේ දී ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් ලියාපදිංචි විය වේ. එහිදී කොවිඞ් සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ඩොලර් දොළහක් සහ පී. සී. ආර්. පරීක්ෂණයක් වෙනුවෙන් ඩොලර් 40 ක මුදලක් ඔවුන්ට දැරීමට සිදු වේ. මෙරට දින හතට වැඩි ප‍්‍රමාණයක් රැුඳී සිටින්නේ නම් ඔවුන්ට පී. සී. ආර්. පරීක්ෂණ දෙකක් පමණ සිදු කළ යුතු වෙයි. මේ විදෙස් සංචාරකයන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය 72කට පෙර ලබාගත් පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාව අපේ ගුවන්තොටුපළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම ඇතුළු ගුවන් තොටුපළට පැමිණි මොහොතේ සිට සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද රැුසක් ඔවුන් අනුගමනය කළ යුතුය. මුහුණු ආවරණ පැළඳ සිටීම සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම මෙහි මූලිකම කරුණුය. මුලින් සඳහන් කළ පරිදි අනිවාර්ය විෂබීජහරණයට ලක් වීමෙන් පසු සංචාරකයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද සිදු කෙරේ.

සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කටයුතු කිරීමට සෞඛ්‍ය කවුළු දහයක් කටුනායක ගුවන්තොටුපළේ විවෘත කර තිබෙන අතර මත්තල ගුවන්තොටුපළේ මෙවැනි සෞඛ්‍ය කවුළු දෙකක් ස්ථාපිත කර තිබේ. මෙරටට පැමිණෙන සියලූම සංචාරකයින්ට මෙරට දී සිදුකෙරෙන පී. සී. ආර්. පරීක්ෂණය සිදු කරන්නේ ඔවුන් හෝටල්ගත වීමේ දීය. එහි ප‍්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාළ හෝටල්වලම රැුඳී සිටිය යුතු අතර නෙගටිව් බවට වාර්තාව ලද පසු ඔවුන්ට හඳුනාගත් සංචාරක කලාපවල සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ලැබේ. සංචාරකයන් පැමිණෙන හෝටල්වල කාර්යමණ්ඩල ද මේ සංචාරක බුබුලට අයත්ය. මේ නිසා විදෙස් සංචාරකයන් මෙන්ම ඔවුන් සමග කටයුතු කරන සේවකයන් ද සාමාන්‍ය සමාජයට නිරාවරණය වීමක් සිදු නොවේ. මෙරටට එන ගුවන් මගීන් වන ශ‍්‍රී ලාංකිකයන්ට සහ විදෙස් සංචාරකයන්ට ගුවන් තොටුපළෙන් පිටවීමට මෙන්ම ආගමන විගමන කටයුතු වෙනුවෙන් ද වෙනම කවුළු විවෘතව කර තිබේ. මේ නිසා මෙරටට එන සංචාරක කණ්ඩායම් ඇතුළත් වන ජෛව ආරක්ෂණ බුබුල නොබිඳී ආරක්ෂා වන්නේ නම් මේ සංචාරක පැමිණීම් හේතුවෙන් අපේ ජනයාට අවදානමක් ඇති නොවේ. ගුවන් මගීන් රැුගෙන එන ගමන් මලූ සියල්ල ද විෂබීජහරණය කිරීමට පියවර ගනු ලබයි. විදෙස් සංචාරකයන්ට තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ද ජනවාරි 21 දින සිට ආරම්භ වූ අතර එහි සියලූ කාර්යමණ්ඩල සාමාජිකයන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සිටීම ද අනිවාර්ය කර ඇත. මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපළෙන් වෙනම පිටව යාමට ද අවස්ථාව සලසා තිබෙන අතර ඔවුන් නම් කරන ලද පළමුපෙළ සංචාරක හෝටලයක නවාතැන් ගත හැකිය. එම හෝටලයට ඇතුළත් වීමේ දී සිදු කෙරෙන පී. සී. ආර්. පරීක්ෂණය නෙගටිව් වීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කිරීමට මේ විදෙස් සංචාරකයන්ට ද සිදුවනු ඇත.

 මේ සම්බන්ධයෙන් මෙරටට එන විදෙස් සංචාරකයන් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් 53ක් පළමුපෙළ හෝටල් ලෙස නම් කර මේ වනවිට සූදානම් කර තිබේ. පී. සී. ආර්. පරීක්ෂණයෙන් නෙගටිව් වන සංචාරකයන්ට එම හෝටල්වල පහසුකම් උපරිමයෙන් භුක්ති විඳිය හැකිය. පී. සී. ආර්. පරීක්ෂණයෙන් පොසිටිව් වන සංචාරකයන් පමණක් හුදෙකලා කර ප‍්‍රතිකාර සඳහා යොමු කෙරේ. එහෙත් ඔවුන් ද සිටින්නේ මුලින් කී සංචාරක බුබුල තුළමය.

ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
සභාපති කිමාලි ප‍්‍රනාන්දු

සංචාරකයන්ගේ සහ සංචාරක ක්ෂේත‍්‍රයට අයත්වන සියලූ පාර්ශ්වකරුවන්ගේ ආරක්ෂාව සඳහා පනවා ඇති වැදගත්ම විධිවිධානය වන්නේ සංචාරකයන් ”ආරක්ෂිත සහ සුරක්ෂිත’’ ලෙස සහතික කර ඇති පළමු පෙළ හෝටලයක හෝ හෝටල්වල පළමු දින 14 ගත කිරීමයි. මේ ක‍්‍රමවේදය හරහා සංචාරකයින් පමණක් ඇතුළත් වන ජෛව ආරක්ෂණ බුබුලක් නමින් හැඳින්වෙන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වන නිසා බාහිර සමාජයට, ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට හෝ අනෙකුත් සංචාරකයන්ට රෝග සම්පේ‍්‍රෂණයක් සිදු නොවේ. මේ ක‍්‍රියාදාමයට සම්බන්ධ වන හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන්නන්, සංචාරක නියෝජිත ආයතන හා සංචාර මෙහෙයවන්නන් හට අදාළ සංචාරකයන් ජෛව ආරක්ෂණ බුබුල උල්ලංඝනය නොකරන බවට තහවුරු කිරීමේ වගකීම පැවරී තිබෙනවා.
Tags: