IMG-LOGO
Home පුවත් ලියාපදිංචිය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට නොව විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන්ටයි.

ලියාපදිංචිය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට නොව විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන්ටයි.

Date : 2020-Dec-21
IMG
සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයට අදාළව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටිනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආක්‍රමණකාරි ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇඳි යන බවත් එබැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බවයි.

ෆේස්බුක් ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ මහනුවරදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා පැවසුවේ, සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මෙම නියාමනය අනෙකුත් මාධ්‍ය සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක වන්නේ ද යන්නයි.

ප්‍රශ්නය : සමාජ මාධ්‍ය විතරද? අනෙකුත් මාධ්‍ය නැද්ද?

පිළිතුර : නෑ..දැනට දාලා තියෙන්නේ එපමණයි.

ඊට අදාළ සාකච්ඡා දැන් අවසන් වී ඇති බවත් කාලය එළඹ ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

”ස්වයං නියාමනයක් අපි උත්සාහ කරා. මම 2010 ඇමතිවරයා ඉදිද්දි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් ලබන සඳුදත් තියෙනවා, ඒ සම්බන්ධව තවත් සාකච්ඡාවක්. මම හිතනවා දැන් සාකච්ඡා අවසන් වෙලා ක්‍රියාත්මක කිරිමට කාලය එළැඹිලා තියෙනවා. අවශ්‍ය විදියට ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”.

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්  පසුගිය දිනෙක පැවසීය.

සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පවසා ඇත. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් මහතා මෙහිදි පැවසූ බව සඳහන්.

පුරවැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

සමාජ මාධ්‍යන්ට අදාළව සංඛ්‍යාලේඛන සම්පාදනය කරන DataReportal අනුව, පසුගිය ජනවාරි මාසය වන විට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 6.4 ක් පමණ විය.

මේ අතර පසුගිය මාසයේ ඇතැම් ඩිජිටල් අන්තර්ගතයන් වාරණය කිරීම සඳහා දේශීය නියාමකයින් වෙත බලය පැවරීමට ක්‍රියාකළ පකිස්ථානයට Facebook, Google, සහ Twitter ආයතන අනතුරු අඟවා සිටියේ, එරටින් ඉවත් වන බවටයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමාජ  මාධ්‍ය ඔස්සේ සිදුවන රජයට හානිවන, බිය ගන්වන සහ අතෘප්තිකර බව ඉස්මතු වන අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ වාරණය කිරීමට එරට විදුලි සංදේශ අධිකාරියට බලය පැවරීය.

එම අවස්ථාවේ අදාළ ආයතන ප්‍රකාශ කර සිටියේ, තමන් ඉලක්ක කර සිදුව ඇති නව නීතිය හේතුවෙන් සිය සමාගම් තැති ගැනීමකට ලක්ව සිටින බවයි.
Tags: