IMG-LOGO
Home පුවත් කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනටද?
OTI

කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනටද?

Date : 2020-Aug-25
IMG

  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගත හැකියැයි සිතීම මුළාවක් ද ?
  • කොරෝනා වසංගතය රටේ ආර්ථිකමය සමාජයීය දේශපාලනමය නව ව්‍යුහයක් සංවිධානය කරගැනීම සදහා අපට දුන් අවස්ථාවකි.
  • නිෂ්පාදන ආර්ථිකය සකස් විය යුත්තේ දේශීය අවශ්‍යතාවට විනා ගෝලීය අවශ්‍යතාවට නොවේ.

අර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත.

මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ පක්ෂ විසින් දායක වී සකස් කරගත් One Test Initiative ආයතනය විසින් මෙම සංවාදය මෙහෙයවන ලදී.

එම සංවාදය සඳහා මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය වගීෂා ගුණසේකර, ආචාර්ය අනුර ඒකනායක, එක්ව සිටි අතර One Test Initiative ආයතනයේ හරේන්ද්‍ර දිසානායක සංවාදය මෙහෙයවූයේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් මතු වන විට ඊට විශේෂයෙන් අප රාජ්‍ය හැටියට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව, එය පහසුවෙන්ම ආර්ථික අර්බුදයක් ලෙසත් දේශපාලන අභියෝගයක් ලෙසත් පරිවර්ථනය විය හැකිය යන්නත් පිළිබඳ අප සතු දැනුම මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ආර්ථික අර්බුද ඉතා ලෙහෙසියෙන් දේශපාලන අර්බුද බවට පරිවර්තනය වීම සිදු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ගොඩ නැඟීම ආරම්භක අවස්ථාවේ පටන්ම, එනම් ප්‍රංශ විප්ලවයේ සිටම, ආර්ථික අර්බුද ඇති වී ඒවා දේශපාලන සමාජ අර්බුද බවට හැරෙන ආකාරය අප අත්දැක තිබෙන බව කිව යුතුය. ලෝකයේ මීට පෙරත් මෙවැනි විශාල වසංගත තත්ත්වයන් හඳුනාගෙන ඇත. එම වසංගත හරහාත් උගත යුතු පාඩම වන්නේ සෞඛ්‍ය අර්බුදය ආර්ථික සහ පසුව දේශපාලන අර්බුදයක් කරා පරිවර්තනය වෙමින් ඉදිරියට ගමන් කරන බවයි.

එබැවින් එය එක් දෘෂ්ඨී කෝණයකින් පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නැති බවයි. එමෙන්ම එක් ‘කෙටි කාල පරාසයක්’ පමණක් සලකා බලා කතා කිරීමත් එතරම් ප්‍රායෝගික නොවන බව අප නිශ්චිතවම කල්පනා කරන දෙයකි.

වර්තමාන තත්ත්වය කෙටියෙන් සලකා බලන්නේ නම්, ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉතාමත් නරක තත්ත්වයක දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනා’යි කිවහොත් එය නිවැරදිය. එත් පැත්තකින් එහි වර්ධන වේගය කාලයක් තිස්සේ ඉතා පහළ මට්ටමක තිබෙනවායැ’යි ද කිව යුතුයි. පසුගිය අවුරුදු පහක් තිස්සේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට පහක් දක්වා හෝ යා නොහැකි වුණු අතර දළ වශයෙන් ගතහොත් එය පැවතුනේ සියයට තුනක් - හතරක් අතර වර්ධන වේගයක් තුළය. ලංකාවේ එක පැත්තකින් එවැනි අර්බුධයක් ද දීර්ඝ කාලයක් තිස්සේ පවතිමින් ඇති බව මෙහිදී සිහි තබාගත යුතුයි. ආර්ථිකයේ ඇති සීමා කිරීම් නිසා විශාල වශයෙන් රාජ්‍ය ආදායම අඩු වීමක් අපට පැහැදිලිවම දක්නට ඇත. ඒ නිසාම එක තැත්තකින් ආනයන සීමා කිරීමට විශේෂ ක්‍රියාමාර්ග ගත යුතු වන අතර, එහි ප්‍රථීඵල ද අද අප අත්දකිමින් සිටී. එසේම රාජ්‍ය ණය කළමනාකරණයේ දී අප පසුගියදාත් දුටු දෙයක් වන්නේ ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඩොලර් මිලියන 1.1 ක ණය මුදලක් ඉල්ලා තිබීමයි. එය හදිසි ණය මුදලක් වශයෙන් ලබා ගැනීමට ආණුඩුව කටයුතු කරමින් සිටී. අපේ රටේ ආර්ථික තත්ත්වය, එසේ නැත්නම් රාජ්‍ය මූල්‍ය තත්ත්වය එතරම් යහපත් තැනක නැති බව අප හොඳින් දන්නා කරැණක් බව මූලිකවම සැලකිල්ලට ගත යුතුය.

එසේම ලෝක මට්ටමින් ඇති වන ගෝලීය විශේෂ තත්ත්වයන් ගැන අවධානය යොමු කළහොත්, මෙම වසරේ (2020) ලෝක ආර්ථිකය සියයට තුනකින් (3%) සංකෝචනය වෙතැයි ආර්ථික විශේෂඥයින් බලාපොරොත්තු වෙන බව පවසා තිබේ. එහි ප්‍රථීඵලය කුමක් වේදැයි නිශ්චිතව ම කිව නොහැකිය. නමුත් සන්සන්දනාත්මකව ඒ පිළිබඳ යමක් කියන්නට උත්සාහ කරන්නේ නම්, 2008 වසරේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ එනම් සියයට එකක (1%) පසුබෑමක් ඇති වුණු අවස්ථාවේ ගෝලීය ආර්ථිකය තුළ විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණි. මෙවන් පසුබිමක ලෝක ආර්ථිකය කුමන ආකාරයෙන් හැසිරේවි ද? තාක්ෂණය භාවිත කිරීම, තාක්ෂණය භාවිතය නව දිශානතියකට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව ඇති වීම යන මේවා මඟින් නව තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති විය හැකිය. මේ ආකාරයෙන් පුළුල් පරාසයක් සලකා බලමින් සංවාදය සිදුකෙරිණි.

එහි දී ආචාර්ය අනුර ඒකනායක මෙසේ අදහස් දැක්වූයේය.

''කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු ආර්තිකය ඉග්‍රීසි U අකුරේ හැඩයට වර්ධනය වනු ඇතැයි යන්න ලෝකයේ ආර්ථික විශේෂඥයන්ගේ විශ්වාසයයි. එනම් ආර්ථිකය පතුලට වැටී ‍බොහෝ කාලයක් පතුලේ ගත කර ඉන් පසු ඉහළට යාම සිදුවිය හැකි බවයි. ආර්ථිකය මේ තත්ත්වයට පත්වීමට හේතුවී ඇත්තේ ගෝලීය ආර්තිකයේ බරපතල ප්‍රතිරෝධීතා මේ කාලය තුළම ගොඩනැගී තිබීමයි. මේ ගැන අප අවධානය යොමු කිරීම වැදගත් වේ. කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම රටවල වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි. ඉන් පුද්ගල වැටුප් ඉක්මණින් ම අහිමිවිය. වැඩ නොකිරීම නිසා ආර්ථික නිෂ්පාදන ඇණ හිටියේය. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නොහැකි විය. ඉදිරියේ දී වසංගත තත්ත්වය අවසන් වීමෙන් පසු මේ තත්ත්වය අවසන් වේද ? ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල තත්ත්වය ශ්‍රී ලංකාවේ තත්ත්වය තරම් දරුණු විය නොහැකියි. මේ දක්වාම ශ්‍රී ලංකාවේ තිබුණේ එදිනෙදා කටයුතු සඳහා පවා ආදායමට වඩා වැඩියෙන් වියදම් දරන ස්වභාවයකි. අනෙක් කරුණ වන්නේ ණය බර ඉතා අධික බැවින් අලුතෙන් ණය ලබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමයි. එබැවින් ආර්ථිකයට ගොඩ ඒමට හැකි යැයි අප සිතීම මුලාවකි. "

"ගැටලුව ඇත්තේ දැඩි කම්පනකින් පසුව වුව ද නිවැරදි මාවතකට අවතීර්ණවන තැනක අප නොමැති වීමයි. එබැවින් තීන්දු තීරණ ගනිමින් නිවැරදි දිශාවකට යාමටනම් සුළු පරිමාන නිෂ්පාදන සම්බන්ධයෙන් සහ ඒවාට දායකවන පිරිස් බලගැන්වෙන වැඩපිළිවෙලක් අවශ්‍යය. මේ වනවිට ශ්‍රී ලකාවේ ඇති වී තිබෙන ප්‍රශ්නය කොවිඩ් - 19 වසංගතය පිළිබඳ ප්‍රශ්නයකට වඩා එහා ගිය එකකි. ගෝලීය ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතර තිබූ විශාල ප්‍රතිවිරෝධතා මත ඇතිවූ ආසන්නම අර්බුදය ලෙස කොවිඩ් - 19 වසංගතය හඳුනාගැනීම සහ එය තහවුරුවීම වුව ද මේ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව හෝ ගෝලීය තත්ත්වය හෝ නිරායාසයෙන් සමතුලිතතාවයට පත්විය හැකියැයි යන්න පිළිබඳ ඇත්තේ සැකයකි."

ආචාර්ය වගීෂා ගුණසේකර මෙසේ කීවේය.

''කො‍රෝනා වසංගතය ගොලීය සෞඛ්‍ය අර්බුදයක් වුවත් එය රටේ ආර්ථිකමය සමාජයීය දේශපාලනමය නව ව්‍යුහයක් සංවිධානය කරගැනීම සදහා අපට දුන් අවස්ථාවකි. ජාත්‍යන්තර ශ්‍රම විභේදනය මත පදනම් වුණු සැපයුම් දාම ජාලාවක් මත ලංකාවේ ජාතික ආර්ථිකය රැඳී පවතී. එමෙන්ම වෙනත් බොහෝ රටවල ද තත්ත්වය එසේමය. නමුත් එම තත්ත්වය ගිලිහී යන බවක් අපට මේ වන විට තාවකාලික වශයෙන් හෝ දැනෙමින් තිබෙනවායි කිව හැකිය. එහිදී ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ සංචරණවලට සීමා පැනවීම. සාප්පු සංකීර්ණ වැසී පැවතීම. ඇණවුම් අවලංගුවීම යන හේතූන් නිසා අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනයෙන් තාවකාලිකව වශයෙන් හෝ ඉවත් වී ඇත. ගෝලීය තලයේ වෙළඳපල ක්‍රියාකාරකම් සීමා වී ඇති නිසා ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් අද රැකියා අහිමි වීමෙන් පීඩාවට පත්ව සිටී. ශ්‍රී ලංකාවේ ඇත්තේ ආනයනික භාණ්ඩ මත යැපෙන සහ ණය මත දිවෙන අධි පාරිභෝගීකරණයකට ලක්වුණු ආර්ථික ව්‍යූහයකි. වසංගතයෙන් මෙයට සෘජු බලපෑමක් සිදුව ඇත.

ශ්‍රී ලාංකිකයන් සහ ලෝකවාසීන් ලෙස අප ඉතා වැදගත් සංධිස්ථානයකට එළැඹ ඇත. ක්‍රියාකාරී, දිඟු කාලීන සහ පරිවර්තනීය ඇරඹුක් (Pro-active) දෙසට ලංකාවේ අප වහා යා යුතුව ඇත. මේ සඳහා ජාතික සැළසුම්කරණ ප්‍රතිපත්තියකට අප යා යුතුය. භාණ්ඩ ආනයනය සහ ණය මත යැපෙන අධි පාරිභෝගිකත්වයට ඇබ්බැහි වුණු සමාජ ආර්ථික රටාවෙන් මිදීමත් එහිදී අප මූලික වශයෙන් අරමුණු කරගත යුතුයි."

මහාචාර්ය සුමනසිරි ලියනගේ දැක්වූයේ මෙවැනි අදහසකි.

" ශක්තිමත් රජයක් පිහිටුවා රටට සිදුකරන ආනයන සීමා කිරීම සඳහා ආදේශන කර්මාන්ත වෙත ආපසු යා යුතුව ඇත. කොරෝනා වසංගතය සාමාන්‍ය තත්ත්වයක් නොවන නමුත් එය විශේෂ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයක් බව තේරුම්ගත යුතුය. අපගේ ආර්ථිකය නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමු කළ යුතුයැයි තර්කයක් තිබේ. නමුත් මෙහි දි අප මූලික වශයෙන් මතක තබාගත යුතු වන්නේ දේශීය අවශ්‍යතා විනා ජාත්‍යන්තර අවශ්‍යතා නොවේ. වත්මන් ආර්ථික අර්බුධය වූකලී කෝවිඩ් - 19 වසංගතය හෙයින් ම හටගත් එකක් නොවේ. වාමාංශික පෙරමුණෙන් ඉදිරිපත් වන අදහස වන්නේ, මෙම ආර්ථික අර්බුධය වනාහී කාලයක් තිස්සේ ධනේෂ්වර ක්‍රමය හේතුවේන ආරම්භ වූවකි."

Tags: