IMG-LOGO
Home පුවත් ලෙඩ වෙන රාජ්‍ය ව්‍යවසායට අත්‍යාවශ්‍ය සැත්කමක්.... රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයක් යනු කුමක්ද?

ලෙඩ වෙන රාජ්‍ය ව්‍යවසායට අත්‍යාවශ්‍ය සැත්කමක්.... රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයක් යනු කුමක්ද?

Date : 2023-Mar-08
IMG
රාජ්‍ය ව්‍යවසායන් සෑම රටකම පාහේ බෝහෝ කාලයක් මුළුල්ලේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් කාර්‍ය භාරයක් ඉටු කරනු ලැබේ. උදාහරණ ලෙස සිංගප්පූරුව, චීනය,ජපානය, කොරියාව වැනි රටවල් රාජ්‍ය ව්‍යවසායන් එරට ආර්ථික අභිවෘද්ධිය උදෙසා වැඩි දායකත්වයක් ලබාදුන් රටවල් ලෙස හැඳින්විය හැකියි.රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් යම් නිශ්චිත නිර්වචනයක් සැපයීමට නොහැකි වූවද ඒ තුළ දැකිය හැකි ලක්ෂණ කිහිපයක් පවතී.

1. ආයතනය තුළ තමන්ටම අනන්‍ය වූ නීති රාමුවක් පැවතීම.
2. ආයතනය අවම වශයෙන් අර්ධව හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් විසින් පාලනය කරනු ලැබීම.
3.ආයතනය ප්‍රධාන වශයෙන් වානිජ හෝ ආර්ථික ක්‍රියාකාරකම්වල නියැලීම.

මෙම ලක්ෂණයන් මූලික වශයෙන් රාජ්‍ය ව්‍යවසායන් තුළ අන්තර්ගත වන අතර යම් ව්‍යසායක් සම්බන්ධව රාජ්‍ය අංශයේ සුළු හෝ සම්බන්ධයක් පවතීනම් ඒ සඳහා රජය සඳහා සැලකිය යුතු අන්දමේ බලපෑමක් සිදු කළ හැකිව පවතින බව බොහෝ අවස්ථාවන්හි දී පෙනී යන කරුණක්.

සාමාන්‍යයෙන් රාජ්‍ය ව්‍යවසායක් බිහිවීම සඳහා මූලික වශයෙන් බලපාන කරුණු ලෙස පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කටයුතු සඳහා යොමුවීමට අකමැති සහ අවධානම් දැරීමට අකමැති අංශ රජය විසින් හෝ පවත්වාගෙන යා යුතුවීම, යම් අංශයක් කෙරෙහි පෞද්ගලික අංශයේ දායකත්වය අවම වීම,පෞද්ගලික අංශයට විශාල ප්‍රමාණයේ මූලික ප්‍රාග්ධනයක් යෙදිය නොහැකි වීම,පෞද්ගලික අංශයේ ඒකාධිකාරීත්වය ජනතාවගේ ශුභසිද්ධිය සඳහා අහිතකරලෙස බලපෑම ආදී හේතු පෙන්වාදිය හැකියි.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ව්‍යවසායේ ගමන් මග.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ වීම සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී වර්ෂ 1939-1945 අතර කාලසීමාව තුළ සිදුවූ ලෝක යුධ සමයේදී හිඟ වූ භාණ්ඩ සැපයීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීම තුළින ආරම්භ වූ බව උපකල්පනය කළ හැකියි.පසු කාලීනව 1950 වර්ෂයේදී පමණ සෝවියට් රුසියාවේ නැගීමත් සමග එහි ආකල්පයන් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කල අතර අසල්වැසි ඉන්දියාවද රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධව කටයුතු කරනු ලැබීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් ආරම්භවීම සහ පවත්වාගෙන යාම වඩාත් වේගවත් වූ බව පෙනී යයි.1995 අංක 19 දරණ රාජ්‍ය අනුග්‍රහයලත් සංස්ථා පනත සහ 1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා පනත යන පනත් තුළින් රාජ්‍ය ව්‍යවසායේ සංවර්ධනය වේගවත් වූ බව සැලකිය් හැකියි.මෙම ක්‍රියාවලියත් සමග එතෙක් පෞද්ගලික අංශයට මැදිහත් වීමට තිබූ බොහෝ කර්මාන්ත රජය විසින් පවරාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය ඒකාධිකාරයක් ඇතිවීම එසමය තුළ දැකිය හැකි විය. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල 1962 වනවිට 14ක්ව පැවති රාජ්‍ය ව්‍යවසාය 1980 වනවිට 280    ඉක්මවා තිබුනි.නමුත් පසුව හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමග එම තත්වය තරමක් දුරට වෙනස් වූ බව පෙනී ගියද වර්ථමානය දක්වා පත් වූ සෑම රජයක්ම ජනසතු කිරීම සහ පුද්ගලීකරණය අතර දෝලනය වීම දැකිය හැකි විය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායන් අසාර්ථක වීම සඳහා හේතු.

පසුකාලීනව ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති වීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති වූ දුර්වලතාවයන් හේතු විය.එම දුර්වලතාවයන් වනුයේ,

1.දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය
2.මෙහෙයුම් අකාර්‍යක්ෂමතාවය
3.නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මකභාවය අඩුවීම
4.සැපයුම් හිඟය.
5. රාජ්‍ය ව්‍යවසායන් තුළට අවශ්‍යතාවයන් ඉක්මවා සිදුවන දේශපාලන බඳවාගැනීම්.
6.විශාල ආයෝජන අවස්ථා සපුරා ගැනීම සඳහා සම්පත් යෙදවීමට නොහැකි වීම.
7. රාජ්‍ය අයවැය මත රැඳී සිටීම.

වැනි කරුනු හේතුවෙන් රාජ්‍ය ව්‍යවසාය රජයට සහයක් වනවාට වඩා බරක් වූ බව පෙන්වා දිය හැකිය.

සැබැවින්ම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ගත් කල එය අසාර්ථක වීම සඳහා බලපා ඇත්තේ පුද්ගල හැකියාවන් තුළ පවතින අඩුපාඩුවක් නොව අදක්ෂ කළමණාකාරීත්වය, දූෂණය සහ ආකල්පයන්ගේ පවතින අඩුපාඩු බව පෙන්වා දිය හැකියි.ඉතාමත් සෙමින් සිදුව මූල්‍ය ක්‍රියාකාරීත්වය,නිරවුල් විගණනයන් සිදු නොවීම,මෙම තත්වය කළමණාකරණය කිරීම සඳහා අභ්‍යන්තර කළමණාකාරීත්වය විසින් නිසි පරිදි ක්‍රියා නොකිරීම ආදිය පෙන්වා දිය හැකිය. එමෙන්ම බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ තොරතුරු ජනතාවට විවෘත් නොවන පසුබිමක් නිර්මාණය වී තිබීමද දැකිය හැකිය.වර්ථමානය වන විට බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පාර්ලිමේන්තු පනතක් තුළින් පිහිටුවනවා වෙනුවට සමාගමක් ලෙස නිර්මාණය කිරීම තුළින් එම ආයතන පාර්ලිමේන්තුවට වගකීම සඳහා ඇතු බැඳීමෙන්ද නිදහස් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ආරම්භය.

1977 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ඇති කරන ලද වෙනස්කම් සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ ආර්ථික ව්‍යුහය තුළ වෙනස්කම් සිදුවිය. මේ යටතේ රාජ්‍ය ව්‍යවසායන් පටු සහ පුළුල් ලෙස පෞද්ගලික ව්‍යවසායට පැවරීමේ කටයුතු ක්‍රියාත්මක විය. මීට අමතරව අකාර්යක්ෂම සහ අසාර්ථක රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගතකරණය  කිරීම ද ඇරඹුණි. විශේෂයෙන්ම 1990 දශකයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් බොහෝමයක් පෞද්ගලීකරණයට ලක්විය. මෙම පෞද්ගලීකරණ කටයුතු සඳහා 1996 වර්ෂයේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම නමැති ආයතනය පිහිටුවනු ලැබීය. නමුත් වර්තමානයේ දී මෙම ආයතනය ක්‍රියාත්මක නොවේ.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට හේතු ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව පවතී.
1.කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය එක් කිරීම.
2.කළමනාකරණය දියුණු කිරීම.
3.නිෂ්පාදන විවිධාංගීකරණය.
3.නව වෙළඳ පොළවල් සොයාගැනීම.
4.රජයට දැරීමට සිදුවන බර අඩු කිරීම යනාදිය එම හේතු කිහිපයකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන රාජ්‍ය ව්‍යවසායකත්වයේ දිශානතිය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට රාජ්‍ය ව්‍යවසයන 527ක් පමණ පවතින අතර ඒ අතරින් 55ට වැඩ ක්ෂේත්‍ර ප්‍රමාණයක් උපාය මාර්ගික   වශයෙන් අතිශය වැදගත් ක්ෂේත්‍රයන් ලෙස දැක්විය හැකියි. උදාහරණ ලෙස ගුවන් සේවා, දුම් රිය, වරාය ආදිය දැක්විය හැකියි.වානිජ වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසායන් 287ක් සහ වානිජ වශයෙන් වැදගත් නොවන ව්‍යවසායන් 185ක් පවතී.එම රාජ්‍ය ව්‍යවසායයන් තුළ ශ්‍රී ලංකාවේ සමස්ථ ශ්‍රම බලකායෙන් 10% ක ප්‍රමාණයක් සේවයේ නියුතු වන අතර එම තත්වය ගෝලීය වශයෙන් ගත් කල අතිශය බැරෑරුම් සහගතය.මේ අතර 2022 වර්ෂයේ දී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.එය මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතව තිබුණි.

එහිදී කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොපවතින රාජ්‍ය ව්‍යාපාරවලින් මහාභාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීමත් මෙම ඒකකය පිහිටුවීමේ අරමුණු විය.

ඒ අනුව 2023 අයවැය වාර්තාව තුළින් වූවද පෙනී යන්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය නැවත වරක් රාජ්‍ය ව්‍යවසායකත්වයෙන් මිදී පෞද්ගලික ව්‍යවසායකත්වය කරා යොමුවන බවයි.

සාරාංශය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වන යෝජනා සලකා බැලීමේ දී, පෞද්ගලීකරණය,ප්‍රතිව්‍යූහගතකරණය, ප්‍රතියෝජනය මගින් කෙටි කාලීන විසඳුම් ලබා ගත හැකිවන අතර දීර්ඝ කාලීන් විසඳුම් කරා එළැඹීම සඳහා එම ප්‍රවේශය ගතයුතුව තිබේ.දීර්ඝ කාලීන විසඳුම් කරා යොමුවීමේ දී සහනාධාර අඩුකොට කාර්‍යක්ෂමතාවය වැඩි කරමින් පෞද්ගලික ආයතන සමග වඩා තරඟකාරී ලෙස ක්‍රියා කිරීමට ඉඩකඩ සැලසීමයි.එමෙන්ම කොළඹ කොටස් වෙළඳ පොළ තුළ ලැයිස්තුගත කිරීම,පාලනය ශක්තිමත් කිරීම දූෂණය සහ වංචාව සඳහා ඇති ඉඩකඩ අවම කිරීම සඳහා ක්‍රමවත් විගණන ක්‍රම්වේදයක් සකස් කිරීම ආදිය තුළින් වඩා කාර්‍යක්ෂම  රාජ්‍ය ව්‍යවසායක් පවත්වා ගැනීමේ අවකාශය හිමිවනු ඇත. 
Tags: