IMG-LOGO
Home පුවත් විමධ්‍යගත සංවර්ධන සැළසුම් සඳහා විධිමත් කතිකාවක් ඇතිවිය යුතුයි.
OTI

විමධ්‍යගත සංවර්ධන සැළසුම් සඳහා විධිමත් කතිකාවක් ඇතිවිය යුතුයි.

Date : 2020-Aug-03
IMG

  • පළාත් පාලන ආයතන පිලිබඳ ජනතා විශ්වාසය බිඳවැටීම ගැටලුවක්
  • පළාත් සභා ක්‍රමය බිඳ වැටේ යැයි බියක්
  • ප්‍රතිපාදන බෙදී යාමේ විෂමතාවක් තිබීම නිසා පළාත් පාලන ආයතනවල පැවැත්මට තර්ජනයක්
  • විමධ්‍යගත සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ වූ විධිමත් කතිකාවක් අවශ්‍යයි. 

රටේ සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක කරගනිමින් විමධ්‍යගත සංවර්ධන සැලසුම් සකස්කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දි විශේෂ ප්‍රතිපත්තිමය වෙනස් කම්වල අවශ්‍යතාවක් ඇතැයි මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් තිබූ සාකච්චාවක දී නිගමනය කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රමේෂ් රාමසාමි මහතාගේ ප්‍රධාන සම්පත් දායකත්වයෙන් පැවැති මෙම සමුළුව සංවිධානය කරන ලද්දේ One Text Initiative ආයතනය විසිනි.

රාජ්‍ය ව්‍යුහය සකස් වී ඇති ආකාරය සහ එකී ධූරාවලිය තුළ පළාත් පාලන ආයතනය ස්ථානගතව ඇති අයුරු, රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පවතින බලතල සහ කාර්යභාරය පිළිබඳව එම ආයතන තුළින් ජනතාවට ලබාදෙන සේවාව පිළිබඳවත් විග්‍රහ කරමින් බලය ඉහළ සිට පහළට ගලායාම සහ මූල්‍ය සම්පත් බෙදීයාම පිළිබඳ මෙහි දී පුළුල්ව සාකච්ඡා කෙරිණි.

එහි දී වඩාත් අවධානය යොමු වූ කරුණක් වූයේ තම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ඉටුවිය යුතු සේවාවන් සහ එ්වා ඉටුකිරීමට පළාත් පාලන ආයතනවලට ඇති බාධාවන් පිළිබඳවයි.

එහි දී පහත සඳහන් කරුණු මතුවිය.

·       ජනතාව පළාත් පාලන ආයතනවෙතින් අපේක්ෂා කරන සේවාවන් නිසි පරිදි ඉටුනොවීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ලෙස පළාත් පාලන ආයතන පිළිබඳ ජනතාව තුළ තිබිය යුතු ජනතා විශ්වාසය බිඳ වැටීම

·       පළාත් පාලන ආයතනයට අවශ්‍ය කාර්යභාරයන් ඉටුකිරීම සඳහා වරිපනම් බදු සහ දඩ මගින් උපයන ආදායම ප්‍රමාණවත් නොවීම.

·       ජනතාව රජයට විශාල බදු මුදලක් විවිධ ක්‍රමවලින් ගෙවන බැවින් සැළසුම්ගත විමධ්‍යගත මූල්‍ය ක්‍රමයක් රජය මගින් ලබා දී එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරිම අවශ්‍යවීම.

පළාත් පාලන ආයතනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එහි දී ඒ ඒ ආයතන සතු ශක්තීන්, දුර්වලතා, අවස්ථාවන් හා තර්ජන පිළිබඳ විශ්ලේෂණය කිරීමට පළාත් පාලන ආයතන නියෝජිතයන්ට අවස්ථාව ලැබිණි.

ඔවුන් එහි දී අවධාරණය කළ කරුණු අතර වැදගත්ම කරුණක් වූයේ පළාත් සභා ක්‍රමය බිඳ වැටීමට ඉඩක් ඇති බවයි. යම් අවස්ථාවක දී එසේ වුවහොත් පළාත් පාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට නව ප්‍රතිසංස්කරණ මතුවන්නේ ද යන්න පිළිබඳව ද පළාත් පාලන සභිකයන්ට ගැටලුවක් වී තිබිණි.

කෙසේ වෙතත් පළාත් සභා ඡන්දය නිසි කාලසීමාවන්තුළ නොපැවැත්වීම හේතුවෙන් ‍දැනට වසර කිහිපයක සිට පළාත් සභා නියෝජනයක් නොමැත. එබැවින් පළාත් සභා ප්‍රතිපාදන බෙදී යාමේ යම් විෂමතාවක් පැවැතීම පළාත් පාලන ආයතනවල පැවැත්මට තර්ජනයක් බව ද ඇතැම් අයගේ අදහස විය.

දීර්ඝ කාලයක් පැවැති යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත් පීඩාවට පත්ව තිබූ තත්ත්වයක් තුළ සංවර්ධන විෂමතා දක්නට ලැබීම ද පළාත් පාලන ආයතන පැවැත්මට ගැටලුකාරී බව ඔවුන්ගේ අදහස වී තිබිණි. මේ අතර මූලික අවශ්‍යතා වන පානීය ජල හිගය, කෘෂි කර්මාන්තය සඳහා ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිවීම ද ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇත.

භූමියේ පිහිටිම හා පාරිසරික සාධක අනුව ධීවර කර්මාන්තය හා කෘෂි කර්මාන්තය ප්‍රදේශයේ දියුණුවට මහෝපකාරී කරගත හැකි අතරම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිවීමත් දියුණුවට හේතුවක් ලෙස හඳුනාගන්නා ලදී.

එසේ වුව ද අලුතෙන් නිර්මාණය වී ඇති කොවිඩ් - 19 ගෝලීය වසංගතය හමුවේ ඇතිවූ ආරථික අර්බුදය ඔවුන්ට ඇති ප්‍රධාන තර්ජනයක් බවට පත්ව ඇත. නිසි ලෙස විමධ්‍යගත සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කරන්නේ නම් කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දීමෙන් ප්‍රදේශයේ පදිංචි ජනතාවට විශාල ආදායමක් ලබාගැනීමට පහසුකම් සළසා දිය හැකි බව පළාත් පාලන නියෝජිතයන් බහුතරයකගේ මතය විය.

මේ සඳහා විමධ්‍යගත සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී සහ සම්පත් කාර්යකෂම හා සඵලදායීව විෂමතාවකින් තොරව බෙදී යන බව තහවුරු කිරීම සඳහා විශේෂ ප්‍රතිපත්තිමය වෙනස් කම් අවශ්‍ය බව ද ඔවුහු අවධාරණය කළහ. මේ සඳහා සියලු දේශපාලන පක්ෂ සම්බන්ධකරගනිමින් විධිමත් කතිකාවක් ඇතිවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් පළාත් පාලන නියෝජිතයන්ගේ අදහස විය.

 

Tags: