IMG-LOGO
Home පුවත් පිච්චමල් වසන්තයෙන් නාමල් වසන්තයකට නොයෑමට නම්…

පිච්චමල් වසන්තයෙන් නාමල් වසන්තයකට නොයෑමට නම්…

Date : 2022-Apr-21
IMG
ජනතාව විසින් දේශපාලනයෙන් වියුක්තව ජීවත් වීමට කෙතරම් උත්සහගනු ලැබුවද එය සාර්ථක නොවන්නේ ජීවත්වීම සඳහා අවශ්‍ය සියල්ල තීරණය කිරීම දේශපාලනය මත රඳා පවතින නිසයි.ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති තත්වයද කියා පානු ලබනුයේ එම ගති ස්වභාවය යි.නිශ්චිත නායකයෙකු හඳුනාගත නොහැකි වූ නමුත් රජයට එරෙහිව වඩාත් සංවිධිත විරෝධතාවයන් ගොඩ නැංවීමට ප්‍රජාවට හැකිවී තිබෙනවා.ශ්‍රී ලංකාව තුළ පොදු අරමුණක පිහිටමින් දේශපාලන පාක්ෂික භාවයකින් තොරව යම් රජයකට එරෙහිව ජනතාව විරෝධතා දියත් කල පළමු අරගලය ලෙස මෙය හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවට මෙය නවතම අත්දැකීමක් වූවත් ලෝකය තුළනම් මීට පෙර මේ හා සමාන අත්දැකීම් තිබෙනවා. 


සුමිහිරි සුවඳක් තියෙන පිච්චමල ජාතික පුෂ්පය කරගත් ටියුනීසියාව සුරපුරයක් බවට පත්කරලීමේ පොරොන්දුවෙන් ජනතාවගේ සිත් දිනාගත් සින් අල් අබිඩීන් බෙන් අලී ( Zin al abidin ben ali) 1987 වර්ෂයේ දී එරට ජනාධිපති ලෙස තේරී පත්වුණා. ඔහු විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් සිය බලතල අනිසි ලෙස භාවිතා කරමින් ඥාති සංග්‍රය, දූෂණය , නාස්තිය තුළින් වසර 24ක් පුරාවට ටියුනීසියාව පාලනය කළා. එක් මොහොතක දී අවුරුදු 26ක තරුණ එළවලු සහ පළතුරු වෙළෙන්දෙකු වන මොහොමඩ් බුවාෂිෂි ඔහුගේ වෙළඳාම් කරත්තයෙන් අනිසිලෙස බදු අයකරගැනීම සහ අදාල නිළධාරීන් ඒ සම්බන්ධව නිසි ක්‍රියා මාර්ග අනුගමනය නොකිරීමට ප්‍රතිචාර වශයෙන් 2010 දෙසැම්බර් මස 17 වෙන දින සිඩ් බුසිඩ් (Zid Bouzid) නගර මධ්‍යයේ ගිණි තබාගෙන මිය යනවා.මෙම සිදුවීම එතෙක් ටියුනීසියානු ජනතාවගේ සිත තුළ කැකෑරෙමින් පැවති පීඩනය පුපුරා හැරීමට සමත්වනවා.විරැකියාව, උද්ධමනය,දූෂණය, දේශපාලන නිදහස නොමැති වීම්,අයහපත් ජීවන තත්වය යනාදිය ජනතාව වසර 24ක් පුරාවට දරාගෙන හිටියා.එසේම බෙන් අලී විසින් තම විරුද්ධ පක්ෂය වන එන්නහ්ඩා පක්ෂයේ ජනප්‍රියත්වය වැඩිවීම නැවැත්වීම සඳහා මර්ධනකාරී ප්‍රතිපත්ති හඳුන්වාදෙමින් කටයුතු කිරීම පමණක් නෙවෙයි ඇතැම් පක්ෂ ආගම පදනම් කරගනිමින්ද තහනමට ලක් කරනවා. 2010 දෙසැම්බර් මස  ටියුනීසියාව පුරා මහජන නැගිටීම් ඇතිවීම සඳහා ඉහත හේතු සියල්ලම පාහේ බලපා ඇති බව සිතිය හැකියි.මොහොමඩ් බුවාෂිශිගේ දිවි නසා ගැනීම බෙන් අලීගේ දුර්දාන්ත පාලනය පෙරලා දැමීම සඳහා හේතුවක් කරගත් ටියුනීසියානු වැසියන් 2011 ජනවාරි මස 14 වන දින බෙන් අලීගේ පාලනය බිඳ දමනවා.ටියුනීසියානු වැසියන් මේ සියල්ල සිදු කරනු ලබන්නෙ කිසිදු පුද්ගලික දේශාපාලන අභිමතාර්ථයක් නොමැතිව වගේම පොදු යහපත බලාපොරොත්තුවෙන් පමණයි.එම හේතුව නිසාම මෙම ජන නැගිටීම පිච්චමල් වසන්තය (Jasmine Revolution ) ලෙසද හඳුන්වනු ලබනවා. 


මෙම ජනතා නැගී සිටීම පාලනය කරගත නොහැකිව බෙන් අලී තමන්ගේ පවුල සහ ඥාතීන් සමග රටෙන් පලා යන අතර ඔහුගේ බිරිඳ වන ලයිලා සතුව තිබූ රත්තරන් ප්‍රමාණය ටොන් එක හමාරක් බවයි පැවසෙන්නේ. ඊට අමතරව විදෙස් රටවල පවතින බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ඔවුන් පලායන විටත්  රහසක්ව පැවතුනා.කෙසේ නමුත් බෙන් අලීගේ ඒකාධිපති පාලනය් බිඳ දැමීමෙන් පසු බලාපොරොත්තු වූ සෞභාග්‍යය ටියුනීසියාවට ලැබුනේද යන්න පිළිබඳව සාකච්ඡා කළයුතුයි. 


ශ්‍රී ලංකාව ද, මේ වනවිට ටියුනීසියාව 2010 දෙසැම්බර් මස වනවිට සිටි අවධිය පසු කරමින් සිටින්නේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුත්තේ පිච්චමල් වසන්තයෙන් පසුව ටියුනීසියාවට සිදුවූ අභාග්‍ය සම්පන්න තත්වය ඇති නොවීම සඳහායි.මෙහිදී අභාග්‍ය සම්පන්න තත්වයක් ලෙස හැඳුන්වීමට හේතුව වන්නෙ ටියුනීසියානු ජනතාව විසින් තමන්ගේ ජයග්‍රහණය නිසි පරිදි කළමණාකරණය කරගැනීමට අපොහොසත් වීම සහ එම ජයග්‍රහණය වෙනත් පාර්ශවයන් විසින් කොල්ල කෑමයි (Hijack). 


බෙන් අලීගේ ග්‍රහණයෙන් ගැලවුණු ටියුනීසියාව අන්තර්වාර රජයකින් පාලනය වූ අතර එම පාලනය අසාර්ථකවීම හේතුවෙන් නැවතත් ජනතාව වීදි බැස උද්ඝෝෂණ කල අතර එය මර්ධනය කිරීමට පැවති රජය කටයුතු කලා. ඉන් අනතුරුව පැවති මැතිවරණය තුළින් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුනේද නැහැ.නිසි දැක්මක් නොමැති පාලකයින් පිරිසක් නැවත පාලනය සඳහා තෝරා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ටියුනීසියාව තවමත් ඔවුන් බලාපොරොත්තු වූ සෞභාග්‍යයේ දේශයකරා යා නොහැකිව අතරමග නතරව සිටිනවා. 


ශ්‍රී ලංකාව තුළද අප්‍රේල් මස 01 දින සිට මෙම ලිපිය ලියන මොහොත දක්වා කාලය පුරාවට පවත්නා පාලකයින්ට ඉවත්වන ලෙස දන්වා ජනතාව වීදි බැස සිටිනවා. නමුත්, තවමත් එම විරෝධතාවයන් මර්ධනය කිරීම මිස ඒ සඳහා පිළියම් සපයා ඇති බවක් දක්නට නැහැ.කෙසේ වෙතත් යම් හෙයකින් පවත්නා පාලනය ඉවත්කොට නව පාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතවන අවස්ථාව තුළදී වඩා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවට පවසන උචිතම උදාහරණය වන්නේ ටියුනීසියාවේ පිච්චමල් වසන්තයයි.



මේ මොහොත වනවිට ශ්‍රී ලාංකික ජනතාව විසින් රට නගා සිටුවීමට නම් රජය විසින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවන් රැසක් ඉදිරිපත් කර තිබෙනවා.ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාද ඊට ඇතුළත්. රජය විසින් නම්‍යශීලීව කටයුතු කොට වඩා සුබවාදීව මෙම අරගලය දෙස අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ නම් අනාගතය තුළ ඇතිවිය හැකි බොහෝ ගැටළු මූලික අදියර තුළදීම වලක්වා ගතහැකිවේවි. මෙම තත්වය මෙතෙක් පවත්වාගෙන එන ලද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අභිබවායන සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස දැකිය හැකියි. එමෙන්ම ජනතාව විසින් පත්කරන ලද නියෝජිතයින් නිසි පරිදි සිය දායකත්වය ලබා නොදෙන්නේ නම් නැවත කැඳවීම වැනි ක්‍රමෝපායයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගත හැකියි.මේ සෑම දෙයක් තුළින්ම පෙනී යන කාරණය වන්නේ වඩා කල්පනාකාරී වන්නේ නම් සහ නම්‍යශීලී වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ නාමල් වසන්තයක් ඇතිවීම වලක්වාගත හැකිවනු ඇති බවයි.
Tags: