IMG-LOGO
Home පුවත් විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද?

විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද?

Date : 2022-Jan-10
IMG
ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.
මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.
ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.
අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.
හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.
වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.
දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 9000 ක ණය මුදල්වලින් කොටසක් හෝ ගෙවීමට අපොහොසත් වීම නිසා බලාගාරවලට දැවිතෙල් ලබාදීම නතර කළ බව තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.
මීට මාස හතරකට පමණ පෙරාතුව තෙල් සංස්ථාව නිල වශයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට දැනුම් දුන් බවද ඒ මහතා කීය.
ණයට ගත් ඉන්ධන වෙනුවට අඩුම තරමින් යම්කිසි ආකාරයකින් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් අනෙක් රාජ්‍ය ආයතනයක පාඩු තම ආයතනය දරමින් අර්බුදය තව තවත් උත්සන්න කර ගැනීම තේරුමක් නැති දෙයක් බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් හා ඞීසල් සැපයීම ඉබේම නතර වූ බවත් මේ වනවිට සංස්ථාව සතු දැවිතෙල් ප‍්‍රමාණය ඉතා සීමාසහිත මට්ටමට පත්ව ඇති බවත් සුමිත් විජේසිංහ මහතා තවදුරටත් කීය.
ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.
මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.
දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

මෙවන් පසුබිමක් තුළ බලශක්ති කේෂ්ත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් මොනවාද?

ලෝකය බලශක්ති අංශයෙහි එකම ආකාරයක නැඹුරුවක නොවිණ. පර් යේෂකයෝ අලුත් පැතිවලට යොමු වූහ. ගින්දර, වාෂ්ප යුගයට පසු ගල් අඟුරුවලට හැරුණ ලෝක ප්‍රජාව පසුව බොරතෙල් යුගයට ඇතුළු වූහ. ස්වභාවික ගෑස් ද එහි එක පැත්තකි. අද වන විට පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරමින් සිටින වකවානුවකි. ගල් අඟුරු හෝ පොසිල ඉන්ධන වැනි හනමිටි යුගයෙන් වහාම ඉවත්විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ප්‍රතිපත්ති වෙනස් කිරීමකින් අලුත් පැතිවලට පහසුවෙන් ඇතුළු විය හැකිය. මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන ලද කාලයේ රටට අවශ්‍ය තරමට ජල විදුලිය නිපදවන අතර අතිරික්තයක් ගැන ද කියැවිණ. අද මෙරට ජල විදුලිය උත්පාදනය සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 13 කි. රටට ගෙන්වන ඉන්ධනවලින් සියයට හැට පහක් විදුලිය උත්පාදනයට බව රජයේ වාර්තා කියයි. සියයට විසි පහක් ප්‍රවාහන අවශ්‍යතා සඳහාය. මෙම අංශ දෙක කෙරෙහි අලුත් අවධානයක් යොමු කළහොත් රටට අනාගතයක් තිබේ. 

රටට විනිමය උපයන ප්‍රධානම මාර්ගය මැදපෙරදිග ඇතුළු රටවල වැඩ කරන ජනී ජනයා එවන මුදල්ය. රට විරුවන් ලෙස ඔවුහු හඳුන්වන්නට තරම් නැඹුරු වී ඇති වකවානුවකි. අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 3-4 අතර මුදලක් ඉන්ධන ආනයනයට අවශ්‍යය. දහඩිය මහන්සියෙන් උපයා එවන ඩොලර් ඉන්ධන වෙනුවෙන් පුළුස්සන්නේ ඇයි? එම ආනයන රටට විශාල ණයක් හා අකාර්යක්ෂම බෙදාහැරීමේ ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පොලිය ගෙවන තැනට යොමු කරන හේතුව කුමක්ද?

මෙරට ප්‍රතිපත්ති සම්පාදකයෝ යුහුසුළු විය යුත්තෝය. නිර්භීත තීරණ අවශ්‍යය. සම්ප්‍රදායික රාමුව වෙනුවට අලුත් බලශක්ති ප්‍රභව කරා යොමු කරන යෝජනා ඉදිරිපත් කිරීම වැදගත්ය. සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම එහි ඉදිරියෙන්ම ඇති පියවරකි. දිවා කාලයේ සූර්ය තාපය ප්‍රයෝජනයට ගන්නා අතර රාත්‍රී කාලයේ ජලය, සුළඟ හා ගල් අඟුරු බලාගාරවලින් නිපදවන විදුලිය ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් සකස් කළ හැක.
ලෝකයේ සමහර රටවල් ජල විදුලිය නිපදවන අතර කෘෂිකාර්මික කටයුතුවලට බාධා නොවන පරිදි යම් ජල ප්‍රමාණයක් නැවත විදුලි බලාගාරවල පොම්ප කරා ආපසු හරවයි. එම ආපසු හැරවීම කරන්නේ සෝලා විදුලිය මෝටර්වලින්ය. නැවත නැවතත් එකම ජල ප්‍රමාණයෙන් විදුලිය නිපදවන පරිශ්‍රමයකට යා හැකිය. ඒවා නවෝත්පාදන අදහස්ය. 

ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාවට සූර්ය තාප විදුලිය සඳහා ආධාර කරන්නට කැමැත්ත දක්වයි. දේශපාලන මතිමතාන්තර හා වෘත්තීය සමිති විරෝධය තීරණ ගැනීමේ දී බරපතළ ලෙස බලපා ඇත. යුගදනවි යෝජනාව පවා දැනට අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කරන එකකි. මේවායෙන් ආකෘතිය වෙනස් කළ හැක. කරුණු ගැන අවබෝධයක් නැති ජනතාව භීතියට පත් කර තිබේ. විදුලිය බිලට මහත් වියදමක් දරති. රට ආරක්ෂා කරන, විජාතික බලවේග පරාජය කරන බව කියන දේශපාලනඥයන් විදුලිය බිල ගැන කතා නොකරන්නේ ඇයි? ඉන්ධනන වියදම අඩු කරන අලුත් පැති ගැන ආණ්ඩුවට බලනොකරන හේතුව කුමක්ද?

හතර වැනි කර්මාන්ත විප්ලවය කරා ගමනක්

බලශක්ති උත්පාදනය පමණක් නොව පරිභෝජනය සම්බන්ධව ද අලුත් පැති තිබේ. ජගත් ප්‍රජාව කර්මාන්ත විප්ලවයේ හතරවැනි පියවර කරා ගමන් කරති. කොවිඩ් වසංගතය සමාජයට භයානක විපතක් බව අවිවාදිතය. ජන සමාජය නිසොල්මන් කර තිබේ. සමාජ දුරස්ථභාවය ඇති කර ඇත. නිෂ්පාදනය අඩාල කරන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. එහෙත් මනුෂ්‍ය ප්‍රජාව පරාජය වෙන්නට කිසිසේත් සූදානම් නැත. කොවිඩ් වසංගතය අවස්ථාවක් කරගෙන තිබේ. තොරතුරු තාක්ෂණයට සම්බන්ධවීම වේගවත් කරගෙන ඇත.

අධ්‍යාපනය, බැංකු හා මුල්‍ය, වෙළඳාම සහ නිෂ්පාදන අංශ වේගයෙන් තාක්ෂණය කරා යොමු කරගෙන තිබේ. පැරණි යුගයේ යන්ත්‍ර වෙනුවට පරිගණක තාක්ෂණය හා පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය උපයෝගී කරගෙන ඇත. අපට ද එය දැනටමත් අත් විඳින්නට හැකියාව ලැබී තිබේ. වාසනාවකට එය ස්වභාවිකව සිදුවිය. කිසිම දේශපාලනඥයකුට මැදිහත් වෙන්නට අවස්ථාවක් නොලැබුණි. සමාජයක් වශයෙන් තවත් පියවරක් ඉදිරියට තැබීම අපගේ වගකීමකි.

මෑත කාලය දක්වා ස්මාට් දුරකතනයක් අල්ලන්නට වරම් නොලැබුණ දරුවෝ අද ඉගෙනගන්නේ අන්තර් ජාලයෙන්ය. පාසල විවෘත කළත් ගෙදර සිට ඉගෙන ගන්නට කැමැති පරම්පරාවක් අද අපට සිටී. පාසල් ගොඩනැගිලිවල ඉඩකඩ සිට මහා මාර්ගයේ තදබදය දක්වා කොපමණ වපරිසයකින් සිදුවන වාසියක් ද? තාක්ෂණය තුළින් බලශක්තිය, ඉන්ධන දහනය අඩු කළ හැක.

හයිබ්‍රිඩ් එනම් කොටසක් පාසල තුළ හා තවත් කොටසක් අන්තර් ජාලයෙන් ඉගැන්වීම අපගේ උත්සාහය විය යුතුය. වෙනදා බැංකු පෝලිමේ සිටි විශාල පිරිසක් අද අන්තර් ජාලයෙන් ගනුදෙනු කරති. තමන්ගේ මෝටර් රියකින් හෝ බස් රථයකින් බැංකුවට යා යුතු නැත. සියලු බිල්පත් අන්තර් ජාලයෙන් ගෙවන පහසුව තිබේ. සුපිරි වෙළඳ සැල් දැන් නිවසටම භාණ්ඩ එවයි. ඇණවුම් කළ පසු භාණ්ඩ ලැබෙන ක්‍රම රට තුළ සුලබ කළහොත් දිනපතා වෙළඳ පොළට ගමන් කිරීම සෑහෙන ප්‍රමාණයකින් අඩු කළ හැක. 

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයෙහි නිෂ්පාදනය රොබෝ යුගයට යා යුතුය. එයින් ශ්‍රමයෙහි පරිවර්තනයක් සිදුවෙයි. රස්සා අහිමි වන බවට භීතියක් සමාජයේ ඇත. එහෙත් අහිමි වන ප්‍රමාණය අභිබවා අලුත් රැකියා අවස්ථා ලැබෙන බව පර් යේෂකයෝ සනාථ කර ඇත්තාහ. සිංගප්පූරුවේ ප්‍රකට සමාගමක චොකලට් නිෂ්පාදනය රොබෝ යන්ත්‍රවලට පවරා ඇත. ඒවා නොනැවතී, පැය විසිහතරම සේවය කරන අතර කම්හලට විදුලිය ආලෝකය පවා අවශ්‍ය නැත.

කොපමණ ඉතිරියක් ද? ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය, ඇඟලුම් අංශය එවැනි පැතිවලට හැරවිය හැකිය. එකී පරිවර්තනය සඳහා අවශ්‍ය හරිත ආධාර කරන්නට ජාත්‍යන්තර ප්‍රජාව සූදානම්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ තෙල් මිල වැඩි කිරීම ගැන දෙස් දෙවොල් තබමින් සිටිති. අපේ ආණ්ඩුවක් පැමිණි වහා අඩු මිලට තෙල් සපයන බව කියති. අපගේ රටට අනාගතයක් තිබේ ද?
Tags: