IMG-LOGO
Home පොත් ශ්‍රී ලංකාවේ ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ඉතිහාසය, බලතල, කාර්යයන් සහ ස්වභාවය

ශ්‍රී ලංකාවේ ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ඉතිහාසය, බලතල, කාර්යයන් සහ ස්වභාවය

Date : 2020-Sep-23
IMG

"ශ්‍රී ලංකාවේ ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ඉතිහාසය, බලතල, කාර්යයන් සහ ස්වභාවය" යන පර්යේෂණාත්මක නිබන්ධය ධම්ම දිසානායක හා ජගත් ලියන ආරච්චි දෙදෙනා විසින් රචනා කරන ලදුව පැෆ්රල් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම ග්‍රන්ථය සැප්තැම්බර් මස 28 වැනි සඳුදා දින සවස 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වේ. මේ එම පර්යේෂණාත්මක ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමකි.
 

"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ප්‍රජාතන්ත්‍රවාදී සහ මහජන හිතකාමී ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන ආයතනික යාන්ත්‍රණයකි. දේශාපන සහ පරිපාලන බලය හිතුවක්කාරී සහ ප්‍රජා පීඩක ලෙස භාවිතා කිරීම් වළක්වමින්, ආණ්ඩුකරණය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීමට මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය අර්ථවත් කිරීමට ද ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා සතු ශක්‍යතාව අප රටේ ද පිළිගැනීමට ලක්ව තිබේ. මෙම කොමිෂන් සභා පිළිබඳව ලංකාවේ සමකාලීන අත්දැකීම් සමතුලිත ලෙස විමසුමට ලක්කරන අධ්‍යයනයක් මත පදනම් වී ඇති මෙම කෘතිය ස්වාධීන කොමිෂන් සභා පිළිබදව ලංකාවේ දැනට සිදුවන මහජන සාකච්ඡාව වඩාත් හරවත් කිරීමට ද දායක වනු ඇත. මෙය ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද, රාජ්‍ය නිලධාරීන්ට ද, විද්‍යාර්ථීන්ට ද පුරවැසියන්ට ද එකසේ ප්‍රයෝජනවත් කෘතියකි."

සම්මානනීය මහාචාර්ය ජයදේව උයන්ගොඩ

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය

කොළඹ විශ්වවිද්‍යාලය

 

"ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වන්නේ පාලකයන් ද ජනතාව ද යන දෙකොට්ඨාශය ම නීතිය මගින් පාලනයවන තත්ත්වයක් ඇති කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමෙනි. මෙය ඉටුකර ගත හැක්කේ නීතියේ විධිවිධාන ප්‍රායෝගික කිරීමේ ක්‍රියාදාමය ද ශක්තිමත් කිරීමෙනි. රාජ්‍ය කොමිසන් සභාවලට පැවරී තිබෙන්නේ එම කාර්යයයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාව හැර බලය ගබඩා කළ යුතු වෙනත් තැනක් වේ නම් ඒ ව්‍යවස්ථාව මගින් සාදන මෙවැනි ආයතනය. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැති නම් අප කළ යුත්තේ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට හැකි ආකාරයෙන් විධිමත් කිරීමත් ශක්තිමත් කිරීමත් ඒවා පිළිබඳව ජනතාවගේ අවබෝධය වැඩි දියුණු කිරීමත්ය. ඒ අනුව මෙම ග්‍රන්ථය ජනතාව දැනුම්වත් කිරීම සඳහා තබන ලද වැදගත් පියවරක් ලෙස සලකමි. රාජ්‍ය කොමිසන් සභාවල ඉතිහාසය නීතිමය රාමුව ඒවායේ බලතල,  ඒවායේ ව්‍යුහාත්මක දුර්වලතා යනාදිය ඇතුල් කරමින් ලියා ඇති මෙම ග්‍රන්ථය අපේ පුරවැසියන්ගේ දැනුම සහ අවබෝධය සඳහා ප්‍රයෝජනවත් වන කෘතියක් බවට පත්වන බව සඳහන් කළ යුතුය."

ආචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, දේශපාලන විද්‍යා අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

ලේඛකයන්

ධම්ම දිසානායක

කොළම විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. හිටපු ආණ්ඩුකාරවරයෙකි.

 

ජගත් ලියන ආරච්චි

නීතිඥයෙකි. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.

 

නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය ( පැෆ්රල්) සංවිධානයේ ප්‍රකාශනයකි.

 

 


Tags: