IMG-LOGO
Home බ්ලොග් ජිනීවා නොගොස් රටේ ප‍්‍රශ්න විසඳා ගැනීමට වෙනත් මගක් නැත්ද?

ජිනීවා නොගොස් රටේ ප‍්‍රශ්න විසඳා ගැනීමට වෙනත් මගක් නැත්ද?

Date : 2021-Feb-17
IMG
පසුගිය වසරේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයේ යෝජනා අංක 30/1 න් ඉවත්වීමෙන් පසු මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තරය සමග පැවති සියලූ ගනුදෙනු අවසන් වනු ඇතැයි පුුහුුදුන් ජනතාව බලාපොරොත්තු වුවද එසේ නොවන බව මෙම වසරේ පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයට නැවත වරක් යෝජනාවක් ඉදිරිපත්වීමෙන් පෙනේ. යහපාලන රජයෙන් කළ පාවාදීමක් සේ හැඳින්වූ 30/1 යෝජනාවේ සම අනුග‍්‍රහයෙන් ඉවත් වුවද ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්ත්වය හොල්මනක් සේ නැවත පාලකයන් පසු පස හඹා ඒ. යෝජනාවෙන් ඉවත් වුවද ජාත්‍යන්තරව පැවරෙන වගකීම් සහ බැඳීම්වලින් ඉවත්වීම පහසු නැත. එය දේශපාලන පළිගැනීමේ කොමිසමක් පත් කර විසඳුම් ලබා වැනි තත්ත්වයකට පත්ව ඇත්තේ යුද්ධයේ අවසාන භාගයේදී බරපතළ මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට ජාත්‍යන්තර සම්බාධක, විදෙස්වල ඔවුන් සතු දේපොළ තහනම් කිරීමේ යෝජනාවක් ද ඇතුළත්ව තිබෙන නිසාය.


ස්වෛරී ස්වාධීන රටක් ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට විදෙස් රටවලට කිසිදු අයිතියක් නැතැයි ශ‍්‍රී ලංකාව තුළ ගෝරනාඩු නගා ඒ අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ කටයුතුවලදී විදෙස් රටවලින් සහ සංවිධානවලින් එල්ල වන චෝදනා බැහැර කිරීම ව්‍යාජ දේශපේ‍්‍රමී කඩතුරාවකින් ආවරණයවීමට ප‍්‍රමාණවත් වුවද දේශීය හා විදේශීය වශයෙන් ඉරක් ගසා වෙන් කිරීමට නොහැකි ආකාරයකට මානව සමාජයේ සියලූ කටයුතු එකිනෙකට ගැට ගැසී ඇති අවධියක හුදකලා වූ රටක් හෝ ලෝකයක් නැති බව තේරුම් ගත යුතුය. ආර්ථික දේශපාලන හා සමාජයීය වශයෙන් ලෝකයම එකට ගැටගැසී ඇති නිසා ‘අපේ වැඩක් බලා ගෙන සිටීමට’ හැකියාවක් ද නැත. ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද දුර්වල, සමහර සංවිධාන හඳුන්වන ආකාරයට අසමත්ව ඇති තත්ත්වයක් යටතේ අපේ ජන ජීවිතය පවත්වා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය වඩාත්ම අවශ්‍යය. හොඳම නිදසුන රට පුරාම අස්සක් මුල්ලක් නෑර පැතිර යන කොවිඞ් 19 වසංගතය වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම අසල්වැසි දුෂ්ටයා වන ඉන්දියාවේ සහාය ද අවශ්‍ය වීමය. ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද කොවිඞ් 19 එන්නත භාර ගැනීමට ජනාධිපතිවරයාම ඉදිරිපත් වූයේ වෛද්‍ය පාදෙණියට අතීත කතා අමතක කිරීමට බලකිරීමක් සේය.


ඊලාම් යුද්ධයේ අවසාන භාගයේ දී සිදු වූ මානව අයිතිවාසිකම් සහ යුද අපරාධ පිළිබඳ චෝදනා පහසුවෙන් කුණු කූඩයට දැමීමට නොහැකි බවට තවත් නිදසුනක් වන්නේ ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන්ට යුරෝපා සංගමයේ වෙළෙඳපොළ විවෘත කිරීමට පහසුකම් සලසා ඇති ජීඇස්පී ප්ලස් ගිවිසුමයි. යුරෝපා සංගමය මෙම පහසුකම් ලබා දීමේ දී යුද සමයේ පැවති අයිතිවාසිකම් තත්ත්වය පමණක් නොව දැනට සිදුවෙමින් පවතින කඩකිරීම් ද සැලකිල්ලට ගන්නා බව අවස්ථා කිපයකදීම අවධාරණය කර ඇත. එම නියෝජිතයන් පෙන්වා දෙන ආකාරයට ජීඇස්පී ප්ලස් සීමා වන්නේ එහි සඳහන් වගන්තිවලට පමණක් නොවේ. එම ගිවිසුමෙන් තවත් ජාත්‍යන්තර සම්මූතීන් 27ක් ආවරණය වේ. ශ‍්‍රී ලංකාව අත්සක් කොට අපරානුමත කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් පිළිපැදීම ද යුරෝපීය වෙළෙඳපොළ අපේ අපනයනකරුවන්ට විවෘත කිරීමේ කොන්දේසියකි.


මෙම සරල උදාහරණවලින් පෙනී යන්නේ එක අතකින් විසි එක්වැනි ශතවර්ෂයේ අපට දුටුගැමුණු හෝ මහා පරාක‍්‍රමබාහු යුගයේ මෙන් කටයුතු කිරීමේ අවකාශයක් නැති බවත් අමිහිරි වුවද ජාත්‍යන්තරය නොසලකා සිටීමේ කිසිදු හැකියාවක් නැති බවත්ය. මෙම ආණ්ඩුවේ ඉහළම තනතුරු හොබවන අය තවමත් ද්විත්ව පුරවැසිභාවය තබා ගන්නේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාව නිසාය. ඒ නිසාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ඊට ගැළපෙන ආකාරයෙන් වෙනස් කිරීමට තුනෙන් දෙකක බලය යොදා ගත්තේය.


ගැටලූව වන්නේ යථාර්ථය එසේ වුවත් වත්මන් පාලකයන්ට එය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගැනීමේ අපහසුවයි. ඔවුන් බලය ලබා ගැනීමට ඉනිමං කර ගත්තේ විදේශිකයන්ට අපේ රටේ කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ නොදීම, දේශීය සම්පත් විදේශීකයනට නොවිකිණීම, මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවලට මැදිහත්වීමට ඉඩ නොදීම, යුද්ධයේදී යුද අපරාධ කිසිවක් නොවූ නිසා රණවිරුවන් ආරක්ෂා කිරීම වැනි සටන් පාඨ ය. මෙම සටන් පාඨ සමාජ ආර්ථික පරිසරයේ පවතින සංකීර්ණතාව ගැන අවබෝධයක් නැති ජනතාවගේ ඡුන්දය ලබා ගැනීමට ප‍්‍රමාණවත් වුවද ආණ්ඩු කිරීමට ප‍්‍රමාණවත් නොවන බව වසරක් තුළ මැනැවින් ප‍්‍රදර්ශනය විය.


දේශීය වශයෙන් අධිකරණයෙන් ලබා දී ඇති තීන්දු කොමිෂන් සභා මගින් වෙනස් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සබඳතා එසේ කළ නොහැකිය. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ නියමයක් අනුව මහ කොමසාරිස් මිෂෙල් බැචලේ සකස් කළ වාර්තාව රහසිගත ලියවිල්ලක් වශයෙන් ආණ්ඩුවේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කළ විට එය ප‍්‍රසිද්ධියට පත්වූයේ ද රාජ්‍යතාන්ති‍්‍රක ආචාර ධර්ම හමුදා නියෝගයකින් බැහැර කළ හැකියැයි සිතන නිසාය. අනෙක් අතට විදේශ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අද්මිරාල් කෙනෙකු පත් කිරීමෙන් අදහස් වන්නේ රාජ්‍යතාන්ත‍්‍රික දැනුමට වඩා සටන් බිමේ දැනුම වැදගත් ය යන චින්තනයයි. එහෙත් පළමුවෙන් අවඥාවෙන් බැහැර කළ එම වාර්තාවට පසුව පිළිතුරු යැවීමට සිදු විය. එම පිළිතුර සකස් කිරීමේ දී ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සමීපයෙන් කටයුතු කරන බවද සඳහන් කරන බවද පවසා ඇත.


ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ දී ගනු ලබන තීරණ ගැන සාකච්ඡුා කිරීම මෙම ලිපියෙන් අදහස් නොකරන නමුත් මෙම කි‍්‍රයාදාමයෙන් පැහැදිලි වන දේශපාලන සහ පරිපාලන කරුණු කීපයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්යැයි සිතේ. පළමුවෙන්ම ආණ්ඩුවේ කටයුතු විධායක ජනාධිපතිවරයෙකුගේ අභිමාතාර්ථය අනුව පමණක් සිදු කළ නොහැකි බව තේරුම් ගත යුතුය. ඒ ආණ්ඩුවේ පරිපාලන කටයුතු විධායක ජනාධිපති වෙනස් වන ආකාරයටම වෙනස් වන්නේ නම් මහත් අවුලක් වන නිසාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනාධිපතිට සිය අභිමතාර්ථය අනුව රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතුයැයි අදහස් කරන්නේ නම් ගතයුතු කි‍්‍රයාමාර්ග ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇත. ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන නැති විට හෝ පවතින ප‍්‍රතිපාදන නොගැළපෙන විට ඒවා වෙනස් කිරීමේ දී ගතයුතු කි‍්‍රයා පටිපාටිය ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇත. එහෙත් සමහර මූලික කරුණු කවර තත්ත්වයක් යටතේ හෝ වෙනස් නොකළ යුතුයැයි සම්මතයන් ද පවතින බව තේරුම් ගත යුතුය. මානව අයිතිවාසිකම් ද එවැනි අයිතියකි. මානව අයිතිවාසිකම් රැුකීමේ දී නීතියේ ආධිපත්‍යය පැවතීම අනිවාර්ය ලක්ෂණයකි. මානව අයිතිවාසිකම් වාර්තාවෙන් මතු කරන වැදගත්ම කාරණයක් වන්නේ මෙම ආණ්ඩුවත් ඊට පෙර පැවති ආණ්ඩුත් මෙම සම්මත දෙකම ගරු කරන්නේ නැත යන්නයි.


දේශීය සහ විදේශීය සබඳතා අතර ඇති බෙදීම පැහැදිලි කර ගැනීමට අපොහොසක් වූ ආකාරයටම රටේ සෑම පුරවැසියෙකුටම සමානව සැලකීමේ මූලධර්මයද නොසලකා හැර ඇත. කොව්ඞ් 19 ආසාධනය වීමෙන් හෝ ඒ පිළිබඳව සැකයක් තිබිය දී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට ගෙන ඇති තිරණයත් එවැන්නකි. මළ සිරුරු භූමදානය මුස්ලිම් ආගමිකයන්ගේ මූලික පදනමක් බව මෙම ආණ්ඩුව පිළිගන්නේ නැත. මළ සිරුරු භූමදානයෙන් කොවිඩි වසංගතය පැතිර යෑමේ අවදානමක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම රාජ්‍යයන් පෙන්වා දුන් නමුත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එය පිළිගැනීමට සූදානම් නැත. එයින් පෙනී යන්නේ මෙම ආණ්ඩුව පිළිගත් සම්මතයන්ට හෝ විද්‍යාත්මකව තහවුරු කළ පිළිගැනීම්වලට සවන්දීමට සූදානම් නැත යන්නයි. ඒ පිළිබඳව අනතුරු හඟවන්නේ මුස්ලිම් ප‍්‍රජාව පමණක් නොවෙන බවද තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාවක් හෝ වුවමනාවක් නැත.


ඇත්තෙන්ම රටේ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් පවතින බවත් සෑම කෙනෙකුටම ගරුත්වයෙන් සැලකිය යුතු බවත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය වන්නේ නම් ජිනීවා යොජනා ඉදිරිපත්වීමට අවස්ථාවක් නැත. මානව අයිතිවාසිකම් කඩ කිරීම ජාතීන් හෝ ආගම් අනුව වෙන් කළ නොහැකිය. බලයේ සිටින දේශපාලකයන්ට විශේෂ වරප‍්‍රසාද ලැබෙන ආකාරයෙන් කි‍්‍රයාත්මකවීම නීතියේ ආධිපත්‍යය රැුකීමක් ද නොවන්නේය. රටේ සියලූදෙනාට එකම නීතියක් බලපැවැත්වීම ශිෂ්ට මානව සමාජයක අනිවාර්යෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණයකි. එම නීතිය සියලූදෙනාටම සාධාරණව සහ ඔවුන්ගේ සමාජයීය අනන්‍යතාවට හානියක් නොවන ආකාරයෙන් පැවතිය යුතු බවත් ඒ සමගම ගරු කළ යුතු මූලධර්මයකි. එසේ නොමැතිව එක ජන කොටසකට හෝ පුද්ගල කණ්ඩායමට ගැළපෙන ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව සැකසෙන නීතියක් රටටම බලපාන ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීමට යෑමෙන් සිදුවන්නේ මහත් අවුලකි. එහෙත් අවාසනාවකට මෙන් අපේ පාලකයෝ මෙම සරල කාරණය තේරුම් ගෙන නැත. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබා ගත් දින සිට බහුතරය සහ සුළුතරය වශයෙන් රටේ පුරවැසියන් ආගමික සහ භාෂාමය වශයෙන් බෙදා වෙන් කොට ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සැකසීමට පියවර ගත්හ. නීති සම්පාදනය කෙළේද එම පිළිගැනීමේ පිහිටාය. එය පුරවැසියන් අතර බෙදීමකට තුඩු දී අවසානයේ දී වෙන්ව යෑමේ වුවමනාව දක්වා වර්ධනය විය. තිස් අවුරුදු යුද්ධයට හේතුවූයේ එම තත්ත්වයයි.


පාලකයන් රටේ පරිපාලනයත් නීතියත් තමන්ගේ අවශ්‍යතාවට වෙනස් කිරීමට උත්සාහ කිරීම දේශීය වශයෙන් බෙදීම්වලට පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් කොන්කරනු ලැබීමටත් වත්මන් තත්ත්වය යටතේ සම්බාධකවලට ලක්වීමටත් හේතුවන බව ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන වැදගත්ම කාරණය යි. එම තත්ත්වය හදිසි ආවේග අනුව කි‍්‍රයා කිරීමෙන් හෝ ප‍්‍රකාශ කිරීමෙන් තවත් උග‍්‍ර විය හැකිය.


ජිනීවා යෝජනාවල සඳහන් වන ප‍්‍රබල චෝදනාවක් වන්නේ යුද්ධයේ අවසාන සමයේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ වශයෙන් හැඳින්විය හැකි අපරාධ සිදු කර ඇති බවත් ඒ ගැන දේශීය වශයෙන් විධිමත් අධිකරණ කි‍්‍රයා මාර්ග ගතයුතු බවත්ය. ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව දේශීය වශයෙන් විධිමත් පිළිගත් සම්මතයන්ට අනුකූල අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් නොවන්නේ නම් ජාත්‍යන්තර කි‍්‍රයා මාර්ග ගත යුතුයැයි ද යෝජනාවී ඇත.


යුද අපරාධ පිළිබඳ චෝදනාව ඇත්තෙන්ම බෙහෙවින් සංවේදි කරුණකි. සටන් බිමේ දි ඇති වු තත්ත්වයන් තුළ වූ සිදුවීම්, අපරාධවලින් වෙන් කොට හඳුනා ගැනිම මෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පිළිබඳ කාරණයකි. මෙවැනි තත්ත්වයක් තුළ පාලකයන් කරන කියන දේ වින්දිතයන් තුළ මෙන්ම ජාත්‍යන්තර බලපෑමට ද හේතුවන්නකි. වෙනම රාජ්‍යයක් ඉල්ලා සන්නද්ධ අරගලයකට නායකත්වය දුන් සහ ජාත්‍යන්තරය විසින් ත‍්‍රස්තවාදීයැයි නම් කළ එල්ටීටීඊ සංවිධානයේ නායකයා මරා දැමීම පිළිබඳව එවකට ආරක්ෂක ලේකම් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශයද ජාත්‍යන්තරයේ පවතින මතයට උඩ ගෙඩි දෙන්නක් විය හැකි බව ඔහු නොදැන සිටියා විය හැකිය. එල්ටිටීඊ නායක ප‍්‍රභාකරන් බල්ලෙකු සේ මරා දැමීම ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කිරීම විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුට තර්ජනය කිරීමට අරමුණු කර ගත් නමුත් ඉන් කියවෙන්නේ යුද්ධයේ දී අනුගමනය කළ යුතුයැයි ජාත්‍යන්තරය පිළිගත් සම්මුතීන් නොසලකා හිතුවක්කාර ලෙස කි‍්‍රයා කර ඇති බවය. යුද්ධයේ දී අනුගමනය කළ යුතු කි‍්‍රයා පටිපාටි ද හැඳින්වෙන්නේ ජිනීවා සම්මුතීන් නමින් බව සිහිපත් කර ගැනීම වැදගත් ය.


විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමක් ගැන කළ සඳහනක් ආවේගයට පත්වීමෙන් කළ ප‍්‍රකාශය ජාත්‍යන්තරව නැගී ඇති චෝදනාවක් තහවුරු කිරීමක් විය හැකි බව ඔහුට සිතා ගත නොහැකි විය. අනෙක් අතට එම යුද්ධය ත‍්‍රස්තවාදයට එරෙහිව කළ එකක් නොව තමා ඝාතනය කිරීමට ගත් උත්සාහයට පළිගැනීමක් බව ප‍්‍රකාශ කිරීම තත්ත්වය වඩාත් සංකීර්ණ කිරීමකි. යුද්ධය පෞද්ගලික කරුණක් අනුව සිදු වූ බව පිළිගැනීමකි. මෙවැනි ප‍්‍රකාශ දේශීය පරිභෝජනයට සහ ආත්ම තෘප්තියට සුදුසු වුවද රාජ්‍යතාන්ත‍්‍රික කරුණුවලදී මහත් හානිකර බව අපේ පාලකයන්ට තේරුම් ගත නොහැකිය.


ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත්ව ඇති වාර්තාව මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපතයය නොසලකා ඒවා කඩ කිරීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය වී ඇති සන්දර්භයකින් හට ගත් ඒවාය. මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව බෙදුම්වාදී යුද්ධයට පමණක් සීමා වී නැත්තේ එම නිසාය. ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමත් සිවිල් පරිපාලනයට හමුදාවේ විශ‍්‍රාමික හෝ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් පත් කිරීමත් දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ එම නිසාය.


මෙවන් අවස්ථාවක වියතුන්ගේ භූමිකාව විය යුත්තේ පෞද්ගලික වුවමනාවන් පදනම්ව ප‍්‍රතිපත්ති කි‍්‍රයා මාර්ග සකස් කිරීම වෙනුවට සියලූ රටවැසියන්ගේ සුභ සිද්ධිය සහ සමනාත්මතාව සුරකින වැඩ පිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දීම සහ ඊට බලපෑම් කිරීම ය. එවැනි පදනමක් නොමැති අවස්ථාවාදී සහ හිතුවක්කාර වැඩපිළිවෙළක් තුළින් රටට සෞභාග්‍යය උදා කිරීම නොව පවතින තත්ත්වය පවත්වා ගැනීමට හෝ නොහැකි වනු ඇත. නිදහස් ලබා දශක හතක් වෙන විට අප වැටී ඇති දුක්ඛිත තත්ත්වයට හේතුව එයයි. ඊට විසඳුම් නැතිවිට නැවත වරක් කීමට සිදුවන්නේ ‘අපට පුතේ මගක් නැතේ යන්න’ පමණි.


-මහින්ද හත්තක-
-රාවය-
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *