IMG-LOGO
Home බ්ලොග් 225 සකස් කර ගැනීමේදී සැබෑ ලෙස මහජන මතය නියෝජනය වනවාද?

225 සකස් කර ගැනීමේදී සැබෑ ලෙස මහජන මතය නියෝජනය වනවාද?

Date : 2021-Jan-19
IMG
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා බෝවීමත් සමග බොහෝදෙනා විවිධ උපහාසාත්මක වැකි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරනු පෙනේ. එම උපහාසයන් 225 කෙරෙහිම ජනතාව තුළ ඇති කලකිරීම පිළිබිඹු වන්නක් ලෙස ඇතැම්හු සිතති. නමුත් එය සත්‍යය නොවේ. එය පාර්ලිමේන්තුව තුළ තමන්ට දැකීමට කැමැති බහුතර පිරිසක් නොමැති නිසා, එම මුහුණු පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට සුළුතරයක් විසින් සමාජ මාධ්‍ය තුළ ගෙනයන ප්‍රචාරයකි. එනිසා රටේ සමස්ත පුරවැසියාගේ ආකල්පය එය යැයි සැලකීම නිවැරදි නොවේ.

නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේදී පාර්ලිමේන්තුව යනු අත්හල නොහැකි ආයතනයකි. එනිසා 225ක් සෑම පාර්ලිමේන්තුවකදීම පත්ව එති. 225 යනු හුදෙක් ඔළුගෙඩි හෝ පුද්ගලයන් පමණක් නොවේ. ඉන් පිළිබිඹු වනුයේ ලාංකික පුරවැසියන්ගේ විවිධ වූ අභිලාෂයන්ය. සමාජයක එක් එක් පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් මත අභිලාෂයන් ගොඩනැගේ. එකී අභිලාෂයන් විවිධය. එනිසා මේ 225 සමන්විත වනුයේ විවිධ විවිධ තරාතිරම්, විවිධ අධ්‍යාපන මට්ටම්, විවිධ කණ්ඩායම් නියෝජනය කරමින්ය. එවැනි පසුබිමක 225ම එපා යැයි පැවැසීම ප්‍රායෝගික නොවේ. එසේම 225ම එපා යැයි යන්න මතුකරන පිරිස වැරදි විග්‍රහයක සිටින්නෝ වෙති. ඔවුහු සිතනුයේ සියල්ල පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුතු බවකි. සියලු දේ පාර්ලිමේන්තුව තුළින් විසඳාගත හැකි යැයි ඔවුහු විශ්වාස කරති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පාර්ලිමේන්තුව යනු එක් ආයතනයක් පමණි. ඒ මත ගොඩනැගුණු තවත් කුලුනු රාශියක් පවතී. ඒ පිළිබඳ අවධානය යොමු නොකොට පාර්ලිමේන්තුව මත පමණක් රඳා පවතින පිරිසකි මෙවැනි විරෝධාකල්පයන් ගොඩනගනුයේ.

කෙසේ වුවද 225 එපා යන විරෝධයට පදනම් වන ප්‍රධාන හේතුව එය වුවද සාමාන්‍ය ජනතාව තුළ හැමවිටම මෙරට ජනතා නියෝජිතයන් පිළිබඳ යම් කලකිරීමක් ඇත. න්‍යායාත්මක පදනමින් ගත් කල පාර්ලිමේන්තු නියෝජිතයන් යනු විවිධ අභිලාෂයන්ගෙන් නියෝජනයක් වුවද ප්‍රායෝගික තලයේදී එය ක්‍රියාත්මක නොවන බවක් මෙරටදී දැකිය හැකිය. එනිසා මේ 225 සකස් කර ගැනීමේදී සැබෑ ලෙස මහජන මතය නියෝජනය වනවාද යන කාරණය පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුය. එහිදී මහජනතාවට නිවැරදි තීරණයක් ගැනීමට අවස්ථාව අහිමිව ඇත. ඊට හේතුවී ඇත්තේ මෙරට මැතිවරණයකදී පක්ෂ නායකයන් නාමයෝජනා ලබාදීමේදී පළමුවෙන්ම සලකා බලන කාරණය වනුයේ ‘හොඳින් දිවිය හැකි අශ්වයා කවුරුන්ද?’ යන්නයි. මෙරට පාර්ලිමේන්තු නියෝජිතයන්ට සින්නවූ ඡන්ද බැංකුවක් ඇත. පවුල් පසුබිම, ජනප්‍රියත්වය, මූල්‍ය බලය මත පදනම්ව එකී ඡන්ද බැංකුව නිර්මාණය වී ඇත. මැතිවරණ කාලපරිච්ඡේදයේදී සිදුවනුයේ එය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමය. ඒ තුළ පදනම්වී ඇත්තේ මහජනයා උදෙසා සේවය කරන්නාවූ නායකත්වයක් නොවේ. එසේම මහජනයා බලාපොරොත්තු වන නායකයන්ද නොවේ. එය නියෝජන ක්‍රමයේ ඇති එක්තරා දුර්වලතාවකි. අනෙක් අතට එය නූතන ශ්‍රී ලංකාව රටක්, ජාතියක් වශයෙන් මුහුණ දෙන ආර්ථික සහ සමාජයීය අර්බුදයන්ගේද ප්‍රතිඵලයකි.

‘ලෝක පාර්ලිමේන්තු වාර්තාව’ (Global Parliament Report) යනුවෙන් වාර්ෂිකව නිකුත්වන වාර්තාවක් ඇත. ලෝකයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඡන්දදායකයන් සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් වේ. එහි මෑතකාලීනව කළ සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ තම ඡන්ද කොට්ඨාසයේ ඇති ගැටලු නිරාකරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිතනුයේ ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරය පාර්ලිමේන්තුවේ නීති සම්පාදන සහ ප්‍රතිපත්ති සම්පාදනය බවයි. එනිසා ඡන්දදායකයා සහ මන්ත්‍රීවරයා අතර යම් පරස්පරයක් ගොඩනැගී ඇත. සත්‍ය ලෙසම මේ පරස්පරය ගොඩනැගීමට මැදිහත්ව ඇත්තේද මන්ත්‍රීවරුන්මය. ඔවුන් තම ඡන්ද ව්‍යාපාරයේදී ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ජනතාවට ලබාදෙන්නා වූ කප්පරක් පොරොන්දු අතර ප්‍රධාන වනුයේ තම ඡන්ද කොට්ඨාසයේ කැඩුණු පාලම් බෝක්කු තැනීම, තම පාක්ෂිකයන්ට රැකියා ලබාදීම ආදියයි. ආසන්නතම පර්ලිමේන්තු මැතිවරණයේදී වුව ජනතාවගේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කළේ ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනා කටයුතු කළේ පොරොන්දු දේශපාලනය මතිනි. මෙරට ඡන්දදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තේරුම් අරන් සිටිනුයේ ඒ මත පදනම්වය.

කෙසේ වුවද ජනතා නියෝජිතයන් ලබාදෙන පොරොන්දු හා ඒවා ඉටුකිරීම අතර දැඩි පරස්පරයක් ඇත. පාලම්, බෝක්කු, මාර්ග තැනීම උදෙසා වූ වෙනම යාන්ත්‍රණයක් ඇත. ඒ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනය. ඉන් එම කාර්යයන් සිදුවේ. නමුත් අවාසනාවකට එම ආයතනවලින් නිශ්චිතව සිදුවන කාර්යභාරය තමන්ගේ ගිණුමට බැරකර ගැනීමට මන්ත්‍රීවරු කටයුතු කරති. මෙවැනි තත්ත්වයන් මෙරට දේශපාලන සංස්කෘතිය තුළ ඡන්දදායකයා සහ දේශපාලකයා අතර පවතින සම්බන්ධතාව තුළ විශාල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කර ඇත.

එමෙන්ම මෙරට අතීත වර්තමාන දේශපාලකයන් ප්‍රභූත්වයක් ආරෝපණය කරගෙන ඇත. නමුත් ජනතා නියෝජිතයන්ට ප්‍රභූත්වයක් තිබිය යුතු නැත. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු ප්‍රභූත්වය ලැබූ පිරිසක් නොවේ. දේශපාලන මනෝවිද්‍යාත්මකව මේ කරුණු දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුන් බලය පෙන්වීමට දක්වන කැමැත්තයි. එහිදී සිදුවනුයේ තමන්ට නැති බලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරෝපණය කර ගැනීමකි. එසේ විය යුතු නොවේ. මෙරට පුරවැසියන්ට ප්‍රභූත්වයට යෑමට ඇති ඉඩකඩ සීමිතය. එනිසා මන්ත්‍රීවරු මෙකී අවකාශයෙන් ප්‍රයෝජනයට ගනී. නමුත් දේශපාලන ප්‍රභූන් යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවේ. දේශපාලන ප්‍රභූවරුන් යනු ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලියට සැබවින්ව සම්බන්ධවන පිරිසකි. උදාහරණයකට මෙරට ජනාධිපතිවරයා ගන්නා තීරණවලට සම්බන්ධවන ඉතා සීමිත පිරිසක් සිටිති. ඔවුන්ව ජනතාව හඳුනන්නේද නැත. ඔවුන් ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී නොසිටී. ඔවුහු නියම දේශපාලන ප්‍රභූහු වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වූ පසු ඔවුනට රටේ අගනගරයෙන් නිවසක් හිමිවේ. ඔවුන් නැවත ගමට යනුයේ ඊළඟ මැතිවරණයේදීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගෙ ගම හෝ ඡන්ද කොට්ඨාසය සම්බන්ධයෙන් කටයුතු සම්බන්ධීකරණයට ලේකම්වරු පත්කර ගනී. ඔවුන් හරහා ඡන්දදායකයන් හා පවතින සම්බන්ධතාව රැකගැනීමට උත්සාහ කරයි. සෑම මන්ත්‍රීවරයෙක්ම විශාල වශයෙන් තම ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීම නිසා ඒවා නැවත උපයා ගැනීමේ උපාය මාර්ගයන්ද කේන්ද්‍රවී ඇත්තේ අගනුවර වටාය. එනිසා කොළඹ කේන්ද්‍රීය දේශපාලන න්‍යාය පත්‍රයක මන්ත්‍රීවරුන් නියැළෙනු දැකිය හැක. එවන් පසුබිමක ඡන්දදායකයන්ගේ ගැටලු පිළිබඳ මන්ත්‍රීවරයාට අවබෝධයක් නැත.

පවතින ආණ්ඩුව පිරිහීමට පත්වන්නේ නම්, ඊළඟ වතාවේදී බලයට පත්නොවේ යැයි හැඟෙන්නේ නම් එකී ආණ්ඩුව ගෙන එන ප්‍රතිපත්ති, වැඩසටහන්වලට කිසිදු සහයෝගයක් ලබා නොදෙයි. ඒවා කඩාකප්පල් කරයි. එය මතුපිටින් නොපෙනෙන තත්ත්වයකි. එවැනි අවස්ථාවල මන්ත්‍රීවරු අතර ඇති සමීප සබඳතාව පුරවැසියන් වශයෙන් අපට නොපෙනේ. අද පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් බොහෝ දෙනෙක් සිතනුයේ ඔවුන්ගේ රැකියාව දේශපාලනය ලෙසිනි. ඔවුන් අද වෘත්තීය දේශපාලනඥයන් බවට පත්ව ඇත. එම වෘත්තීය ආරක්ෂා කර ගැනීමේදී මහජනතාවගේ ගැටලු විසඳීම හෝ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩසටහන් හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙලඹීමක් වෙනුවට ඊළඟ ආණ්ඩුවට සම්බන්ධ වන්නේ කෙලෙසද? තම මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමුකරයි. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඡන්දදායකයා අතර තියෙන සම්බන්ධතාවේ පරතරය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පැවැතීම අවාසනාවන්ත තත්ත්වයකි.

225ම එපා යන්නට සහ ජනතා නියෝජිතයන් කෙරෙහි මෙරට පුරවැසියාගේ කලකිරීම පිළිබිඹුවට ඉහත කාරණා හේතු වේ. නමුදු මෙහිදී අමතක කර ඇති වැදගත් කරුණක් ඇත. එනම් පුරවැසි වගකීමයි. තමන්ගෙන් පුරවැසියෙක් ලෙස රටට, සමාජයට ඉටුවිය යුතු යුතුකම් වගකීම් කෙරෙහි අවධානය යොමු නොකොට සියලු දේ ජනතා නියෝජිතයන් සිදුකළ යුතු යැයි සිතමින් පුරවැසියන් කටයුතු කරයි නම් එය රටක් සංවර්ධනයේදී සෘණාත්මක බලපෑමක් ඇතිකරන්නකි. ලොව දියුණු වූ සෑම රාජ්‍යයකම නිශ්චිත අවස්ථාවකදී පුරවැසියන් යම් කැපකිරීමක් කර ඇත. එනිසා පුරවැසි වගකීමෙන් අපට මිදිය නොහැක. එහෙත් ඒ කැපවීම සඳහා පුරවැසියන් නම්මවා ගැනීමට, බලගැන්වීමට නම් හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍ය වේ. අප රටේ පුරවැසියන් තනි තනිව ගත් විට ඔවුන් අවංක නැත. ආත්මාර්ථකාමීය. රාජ්‍ය සේවකයා තම සේවාව නිසි ලෙස ඉටු නොකරයි. සේවා කාලය තුළ වැඩිපුරම නිකරුණේ කල් ගත කිරීමට කැමැතිය. මෙවැනි තත්ත්වයකට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මෙරට අධ්‍යාපනය තුළ හොඳ පුරවැසියෙක් නිර්මාණය කිරීම උදෙසා වූ මාර්ගෝපදේශයන්, ආකෘතීන් නොමැති වීමයි. පෙර පාසල, පාසල, විශ්වවිද්‍යාලය තුළින් ශ්‍රී ලංකාව නමැති මාතාව බලාපොරොත්තු වන පුරවැසියා මෙයාකාර විය යුතු යැයි අපට කියාදී නැත. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ එවැනි ඉඩක් නැත.

එනිසා අප පුරවැසි වගකීම් ගැන කතාකරනුයේ මුල අතහැර මැදිනි. පුරවැසි වගකීම පිළිබඳ අවබෝධයක් හැඟීමක් නැතිව ඒ පිළිබඳව කතා කිරීම ඵල රහිතය. එනිසා මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. ඒ ප්‍රතිසංස්කරණයන් තුළ යහපත් පුරවැසියෙක් බිහිකිරීම සඳහා වූ සංකල්පයන් ඇතුළත් විය යුතුය. ඒ තුළින් ශ්‍රී ලංකා මාතාවට ආදරය කරන පුරවැසියෙක් බිහි කළ හැක. ඒ මගින් රටට ආදරය කරන ජනතා නියෝජිතයෙක් නිර්මාණය කළ හැක. රාජ්‍ය සේවකයෙක් බවට පත්විය යුත්තේ එවැනි පුරවැසියෙකි. එවැනි පුරවැසියෙකි ආණ්ඩුවක් හඳුන්වාදෙන ප්‍රතිපත්තියට අවනත වනුයේ, ඒ අනුව කටයුතු කරනුයේ. රට වෙනුවෙන් කැපකිරීම් කරනුයේ. ඒ වෙනුවෙන් අවැසි ප්‍රතිපත්ති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අද දවසේ දේශපාලන නායකත්වයට විශාල වගකීමක් ඇත.
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *