IMG-LOGO
Home බ්ලොග් මහජන අදහස් ඉල්ලනවා දුන්නාට ගන්නේ නෑ – ඇන්ටන් මාකස්

මහජන අදහස් ඉල්ලනවා දුන්නාට ගන්නේ නෑ – ඇන්ටන් මාකස්

Date : 2020-Dec-16
IMG

ආණ්ඩුව කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒකට මහජන අදහස් ලබාගන්නා බව කියමින් දැන්වීම් පළ කරලත් තියනවා. වෘත්තීය සමිති නියෝජිතයෙක් විදිහට ඒ සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාරය කුමක්ද?


ඔය නව ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා සංශෝධන ගේන හැම වෙලාවකම අපි, විශේෂයෙන් රැකියා නියුක්තියන්ට බලපාන පොදුවේ පුරවැසියන්ටත් වැදගත් වන සංශෝධන ගණනාවක් මහජන අදහස් විදිහට ඉදිරිපත් කරලා තියනවා. පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙත් ඔය වගේම කිව්වා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා ඒකට යෝජනා දෙන්න කියලා. ඒ වෙලාවෙදිත් අපි වෘත්තිය සමිති දහයක් එකතුවෙලා යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඊට කලින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව වෙලාවේ ඒකටත් අපි යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒ එකක් ගැනවත් කිසිම සලකා බැලීමක් සිදුවුණේ නෑ. මම ඒ කමිටු සාමාජිකයන්ට කෝල් කරලා අහලත්, අඩුතරමින් අපිට සාකච්ඡාවක්වත් දුන්නේ නෑ. බොරුවට තමයි කිව්වේ මහජන අදහස් සැලකිල්ලට අරගෙන කෙටුම්පතක් හැදුවා කියලා. කෙටුම්පත හැදුව එක ඇත්ත. නමුත් ඒකට අපේ අදහස් නම් ගත්තේ නෑ. මේ ආණ්ඩුව ඇවිල්ලා 19 නරකයි කියලා 20 වෙනි සංශෝධනය ගෙනාවා. ඒකටත් අපි අපේ යෝජනා ඉදිරිපත් කළා. කිසිම යෝජනාවක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කරන මහජන අදහස් විමසීම් කියන්නේ සද්භාවයෙන් කරන කටයුත්තක්ද කියන එක ගැන අපිට බරපතළ සැකයක් තියනවා.


සද්භාවයෙන් කරන්නක්ද කියන සැකය තිබියදී වුවත් ආණ්ඩුව මේ ආකාරයෙන් අදහස් ඉල්ලා සිටින අවස්ථාවක එයට අදහස් ඉදිරිපත් කිරීමේ පුරවැසි වගකීමක් තිබෙනවා නේද?


එක පැත්තකින් කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ විශේෂඥ කමිටුවකින් කියලා. එහෙම කියන ගමන් ආයේ කියනවා මහජන අදහස් විමසලා ඒ අනුව තමයි මේක හදන්නේ කියලා. අවංකව කරනවා නම් ඒ සඳහා මිනිස්සුන්ව සහභාගි කරවා ගැනීමේ ක්‍රියාදාමයකට යා යුතුව තිබෙනවා. නමුත් එහෙම ක්‍රියාදාමයකට ආණ්ඩුව යන්නේ නෑනේ. මේකෙන් අපිට පේන්නේ ආණ්ඩුවට 20 වෙනි සංශෝධනයත් මදි. ඊටත් වැඩිය අධිපතිවාදී ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියනවා. ඒ සඳහා හදන ව්‍යවස්ථාවකට අදහස් ඉදිරිපත් කරන්න කියලා ජනතාවට මාසයක කාලයක් දුන්නාට ඒකෙන් ජනතාවගේ අදහස් නියෝජනය වෙන්නේ නෑ. විසිවෙනි සංශෝධනය ගේන්න ඉස්සෙල්ලා අපි ආණ්ඩුවට ලිව්වා අපිට මේක මිනිස්සුත් එක්ක සංවාදයට ගන්න දෙන්න කියලා. මොකද එහෙම නැතිව නිකන් යෝජනා ඉදිරිපත් කරලා වැඩක් නෑ ඒ යෝජනා එක්ක මිනිස්සු නැත්නම්. මිනිස්සු ඉන්නේ ඒ අයගේ අවශ්‍යතා එය තුළ තියනවා නම් විතරයි.


පසුගිය අවස්ථා ගණනාවකදි ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බව ඔබ කීවා. මොනවද වැඩ කරන ජනතාවට ආදළව එමගින් ඉදිරිපත් කළ යෝජනා?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(ඇ) වගන්තිය යටතේ, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති වෘත්තිය සමිතියකට බැඳීමේ අයිතිය මූලික අයිතියක් හැටියට පිළිඅරන් තියනවා. නමුත් මූලික අයිතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අධිකරණයට යන්න පුළුවන්කම තියෙන්නේ රජය විසින් උල්ලංඝනය කළොත් පමණයි. නමුත් අපේ මූලික අයිතිය බොහෝ විට උල්ලංඝනය කරන්නේ පෞද්ගලික අංශයේ හාම්පුතුන්. ඒ වගේ අවස්ථාවකදි අධිකරණයට ගිහිල්ලා ඒ සඳහා සහන ලබාගැනීමේ ඉඩකඩක් අපට නෑ. යමක් මූලික අයිතියක් නම් එය අහිමි කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළව රජයද පෞද්ගලික අංශයද කියා වෙනසක් නොතිබිය යුතුයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීමේදී එවැනි සීමාවන් පැනවීමක් නොසිදුවිය යුතුයි. මේ සංශෝධනය අපි දිගින් දිගටම ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවක්. නමුත් තවමත් ඒ ගැන කිසිම එකඟත්වයකට රජය ඇවිල්ලා නෑ.


නිදහස් වෙළෙඳ කලාප, කර්මාන්ත පුර වගේ සමූහ වශයෙන් කම්කරුවන් රැකියා නියුක්ත කලාප ආශ්‍රිතව පවතින, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම විසඳාගත යුතු ගැටලු කිසිවක් හඳුනාගෙන තිබෙනවාද?


ගණනාවක් හඳුනාගෙන තියනවා. දැන් මැතිවරණයකදී ඡන්දදායකයන්ට ඡන්දය දීමේ හිමිකම ලැබෙන්නේ තමන් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ ගමේ ඡන්දපොළේදි. නමුත් අද පෞද්ගලික අංශයේ සේවකයෝ විශාල පිරිසක් ගම්වලින් නගරවලට ඇවිල්ලා, නගරවල පදිංචිවෙලා ඉන්නවා. උදාහරණයකට නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෝ තිස් හතළිස් දාහක් ඉන්නවා. ඒකෙන් භාගෙකට වඩා ඉන්නේ නේවාසිකගාරවල. ඒගොල්ලන්ට ඡන්ද අයිතිය තියෙන්නේ ගම්වල. එක පැත්තකින් අද රටේ පවතින නීතියවත් මේ නේවාසිකාගාරවල ක්‍රියාත්මක වෙන්නේ නෑ.

අවම පහසුකම්වත් ඒ තැන්වල නෑ. ඒවා ගැන දිගින් දිගටම අපි පැමිණිලි කළත් නගර සභාවටවත්, දේශපාලනඥයන්ටවත් ඒවා ගැන කටයුතු කරන්න කිසිම උනන්දුවක් නෑ. හේතුව මේ සේවකයන් එක් කෙනෙක්වත් ඒගොල්ලන්ගේ ඡන්දදායකයන් නොවෙයි. ඒගොල්ලන්ට වැදගත් ඡන්දදායකයන් වන නේවාසිකාගාර අයිතිකරුවන් වෙනුවෙන් වැඩ කරන එකයි. ඒ නිසා අපි කියන්නේ ඒ සේවකයන්ට තමන් රැකියාව කරන ප්‍රදේශයේ ඡන්ද අයිතිය ලබාදිය යුතුයි. එතකොට ඒ ප්‍රදේශයේ පාලන ආයතනවලට, දේශපාලනඥයන්ට ඒ අයව නොසලකා හරින්න බැරිව යනවා. අනෙක ඡන්දය දාන්න වරුවක හෝ දවසක නිවාඩුවක් දුන්නත් නේවාසිකාගාරවල ඉන්න දුර බැහැර අය ඡන්දය දාන්න ගම්වලට යන්නේ නෑ. ඒ නිසා ඒ අයගේ මනාපය මැතිවරණවලදි ප්‍රකාශ වෙන්නේ නෑ. ඒ තත්ත්වයත් වළකිනවා මේ අයට රැකියාව කරන ප්‍රදේශයේම ඡන්ද අයිතිය ලබා දුන්නාම. ඒ වගේම මේ කාර්මික පුරවල රැකියා කරන ජනතාවට ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට යැවීමේ අයිතියත් නව ව්‍යවස්ථාවක් මගින් තහවුරු කළ යුතුයි. දැනට ඒ අය වෙනුවෙන් එවැනි නියෝජනයකට ඉඩක් නෑ. නමුත් කාන්තා නියෝජනයට මෙච්චරයි, තරුණ නියෝජනයට මෙච්චරයි ආදී වශයෙන් වෙනත් කොට්ඨාස පදනමින් නියෝජනයන්ට නීතිමය අවකාශයක් විවෘත කරලා තියනවා. ඒක මේ අය වෙනුවෙනුත් ඕනේ.


පවතින මැතිවරණ ක්‍රමය ආශ්‍රිතව මතුවන ගැටලු රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මූලිකව මැතිවරණ කොමිසම සමග යම් සාකච්ඡාවක් කරලා තිබෙනවාද?


කොමිසමට කිව්වාම කියන්නේ ව්‍යවස්ථාව හරහා එන්න ඕනේ කියලානේ. ඒ නිසයි අපි මේවා ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා කියන්නේ. ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන නියෝජිතයන් ජනතා අභිලාෂයන්ට එරෙහිව කටයුතු කරන අවස්ථාවලදි, ධුර කාලය සම්පූර්ණ කිරීමට කලින් ඔවුන් ආපසු කැඳවීමට අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පැනවීමත් ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නැත්නම් ඒගොල්ලන් අවුරුදු පහක් තිස්සේ මොනවා කළත් ජනතාවට බලාගෙන ඉන්න වෙනවා. ඒ කාලය අතරේ ඇතැම් අය ඔවුන් පත් කළ ජනතා අභිලාෂයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව වැඩ කරනවා. ඒ දිහා දත්මිටි කමින් අවුරුදු පහක් බලාගෙන ඉන්න ජනතාවට සිදුව තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාට අයිතියක් දීලා තියනවා අවුරුදු දෙක හමාරකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒ කියන්නේ වසර පහකට ජනතාව තෝරාපත් කළ මන්ත්‍රීවරුන් ආපසු කැඳවන්න. එවැනි අයිතියක් ජනාධිපතිවරයාට නොවෙයි ජනතාවටයි හිමිවෙන්න ඕනේ. එතකොටයි ඡන්දදායන්ට ඒ අයව පාලනය කිරීමේ අයිතිය ලැබෙන්නේ. ඒ වගේ ක්‍රමයක් තියනවා නම් ඡන්ද කොට්ඨාසවල ඡන්දදායකයෝ නිතර සාකච්ඡාවලට පෙළඹෙනවා. නියෝජිතයන්ට ඡන්දදායකයන් සමග ගැවසෙන්නට සිදුවෙනවා. සජීවි දේශපාලන තත්ත්වයක් ගොඩනැඟෙන්නේ එතකොටයි. ඒ වගේම ඡන්දයට ඉදිරිපත් වන අයගේ පාරිශුද්ධභාවය තහවුරු කරන ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුයි. මැතිවරණ ආදායම් වියදම් වත්කම් බැරකම් ප්‍රකාශ ආදිය ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය කළ යුතුයි. එතකොටයි මේ අය කාවෙනුවෙන්ද වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍ර අනුවද යන්නේ කියන එක හොයන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ කිසිවක්ම නෑ.


වෘත්තිය සමිති සීමාවෙන් ඔබ්බට ගිය, පුරවැසි සමාජයටත් අදාළ වන ව්‍යවස්ථා සංශෝධනයන් අතරින් ඔබගේ වැඩි අවධානය යොමු වෙන්නේ මොන වගේ කරුණු කාරණාවලටද?


ගිය සැරේ අපි වෘත්තිය සමිති 10ක් එකතු වෙලා ඉදිරිපත් කළ යෝජනා මාලාවේදි අපි කිව්වා ලංකාවේ ආණ්ඩුව අනාගමික ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතුයි කියලා. ආගම කියන්නේ මිනිසුන්ගේ පෞද්ගලික දෙයක්. ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියන්න ඕනේ ආණ්ඩුවට ආගමක් නෑ කියලා. ආණ්ඩුවකට ආගමක් තියෙන්න බෑ. ආගමකට ආණ්ඩුවක් තියෙන්නත් බෑ. ඕකනේ ආගම්වාදයේ, ජාතිවාදයේ මූලික පදනම. වෘත්තිය සමිති හැටියට අපිට එහෙම කටයුතු කරන්න බෑ. මොකද අපේ සමිතිවල විවිධ ආගම්වලට අයත් අය ඉන්නවා.


නව ලිබරල් ආර්ථික ක්‍රමය ආවම ගත්ත එක් ස්ථාවරයක් තමයි ආණ්ඩුවක් තිබිය යුත්තේ නීතිය හා සාමය රැකීමට පමණයි කියන එක. අනෙක් සියලු දේ ව්‍යාපාර. එතකොට අධ්‍යාපනය ව්‍යාපාරයක්. සෞඛ්‍ය ව්‍යාපාරයක්. ජලය විදුලිය සියල්ල ව්‍යාපාර. මේ එකක්වත් ආණ්ඩුව කරන්න ඕනේ වැඩ නෙවෙයි. එහෙම කියන නව ලිබරල් ආර්ථික ක්‍රමය පිළිගන්නා ගමන් අනෙක් පැත්තෙන් කියනවා ආණ්ඩුවට ආගමක් තියෙන්න ඕනේ කියලා. හරිනම් ආගමත් අයින් වෙන්න ඕනෙනේ ආණ්ඩුවෙන්. එහෙම නැත්නම් එය පරස්පර විරෝධියිනේ.


-ශ්‍රීලාල් සෙනෙවිරත්න-
රාවය

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *