IMG-LOGO
Home බ්ලොග් ව්‍යවස්ථා සම්පාදනයේදී විපක්ෂය කුමක් කරයිද?

ව්‍යවස්ථා සම්පාදනයේදී විපක්ෂය කුමක් කරයිද?

Date : 2020-Dec-09
IMG

මේ ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ පොරොන්දුව පළමු දවසේ සිටම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාවත් සමග ඉදිරිපත් කෙරුවකි. ඔවුන්ගේ ව්‍යවස්ථා සම්පාදන කමිටුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේද 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමත් සමගින්ය. දෙවන වරටත් ජනතාවගෙන් ඒ සඳහා යෝජනා ඉල්ලා පසුගිය සතියේ ප්‍රකාශයක් කර තිබිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ මේ ආණ්ඩුවේ උපාය මාර්ගය පසුගිය යහපාලන ආණ්ඩුවේ වික්‍රමසිංහ උපාය මාර්ගයට කිසිදු වෙනසක් නැත. ජනාවගෙන් යෝජනා ඉල්ලීමෙන් ආණ්ඩුව කියනු ඇත්තේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතා අදහස්ද ගොනු කරමින් සම්පාදනය කළ ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවය.


දියුණු නූතන ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරෙන්නේ ජනතාව සෘජුව ඊට සහභාගි කර ගැනීමෙනි. මේ වනවිට ඒ වෙනුවෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාලාද යොදා ගනු ලැබේ. යෝජනා එවන්න යැයි කීමෙන් එවැන්නක් සිදුවන්නේ නැත. එබැවින් මේ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම වෙනුවෙන් විපක්ෂය මැදිහත් වන්නේ කෙසේද යන්න අතිශය වැදගත් කාරණාවකි.


මේ වනතෙක් ආණ්ඩුවේ නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක් තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේ පැහැදිලිව කියා තිබෙනු දුටුවේ නැත. සැවොම වඩා පහසු විවේචන සඳහා කොවිඞ්-19 යේ එල්ලී ඇත. ඒ අස්සේ ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලනය හෙමින් සීරුවේ දියත් කරන බව විපක්ෂය තේරුම් ගත් බවක් පෙනෙන්නටද නැත. ඇත්තම නම්, ආණ්ඩුවට ඔවුන්ගේ න්‍යාය පත්‍රය සෙමින් දිග හරින්නට කොවිඞ්-19 වසංගතය පුදුම වාසනාවක් වී ඇත.


අගෝස්තු මැතිවරණයෙන් පසු මේ ආණ්ඩුවේ පසුගිය මාස 03 ක පාලන වාර්තාව බැලූ විට, ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථා සම්පාදනයෙහි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම විපක්ෂයට අත් හළ නොහැක. එසේ ඉදිරිපත්වීම සමගි ජන බලවේගයට අනාගතයේ ගැටලුවක් විය හැකි යැයි ඔවුන් සිතුවත් ජනතා විමුක්ති පෙරමුණට හා ඔවුන්ගේ ජාතික ජන බලවේගයට එය ගැටලුවක් නොවිය යුතුය. ඔවුන්ට ඡන්දය දුන් සියයට 3.8ක් ඡන්දදායකයින් පමණක් නොව, සියලු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඔවුන්ටද ඇති බැව් ඔවුන් තේරුම් ගත යුතුව ඇත. දෙමළ ජාතික සන්ධානයට මේ ව්‍යවස්ථා සම්පාදන පිළිවෙත විවේචනය කිරීම අපහසුය. ඔවුන් අගමැති විකමසිංහ මත පුදුමාකාර විශ්වාසයක් තබා උතුරු නැගෙනහිර ජනතාව අමතක කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තමන්ගේ වගන්ති ඇතුළු කළ හැකි යැයි සිතුයේද මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ පිළිවෙත අනුවම ය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු වන්නේ එය කෙටුම්පත් කරන්නා වූ ක්‍රියාවලිය කෙතරම් ප්‍රජාතන්තත්‍රවාදී ද යන්න අනුවය. එනිසා විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නම්, එය මේ ආණ්ඩුව කෙටුම්පත් කරන්නාවූ ක්‍රියාවලියෙන් වෙනස්ව, සමස්ත සම්පාදන ක්‍රියාවලියම ජනතා සහභාගිත්වයක් ඇති සමාජීය ක්‍රියාවලියක් බවට පත්කර ගත යුතුව ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයෙහි සමාජ ක්‍රියාවලියක වැදගත්කම ඇත්තේ ජනතාවට යෝජනා ඉදිරිපත් කිරීමට ඇති අවකාශයෙහි පමණක් නොවේ. ඉදිරිපත් කෙරෙන යෝජනා සාකච්ඡාවට ගැනීමේ සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඇති විවෘත අවකාශයෙහි සහ අයිතියෙහි ය. නිදසුනක් ලෙස, සම්මතයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි මූලික අයිතිවාසිකම් ලෙස ලියා තබන ලැයිස්තුව කෙතරම් සම්පූර්ණද නැතිද යන්න සංවාද කිරීමේ අයිතිය ජනතාවට තිබිය යුතුය. වෘත්තීය සමිති සහ පරිසර සංවිධානවලට නැතිනම් කාන්තා සංවිධාන වලට ඒ සඳහා එකතු කළ හැකි අලුත් යෝජනා හා කොන්දේසි තිබේදැයි අධ්‍යයනය කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට අවකාශයක් අයිතියක් තිබිය යුතුය. ඒවා ගැන අදහස් දැක්වීමට හා සංශෝධන ඉදිරිපත් කිරීමට අනෙකුන්ටත් එවැනිම අවකාශයක් අයිතියක් තිබිය යුතුය.


එවැනි ප්‍රජාතන්ත්‍රවාදී විවෘත ක්‍රියාවලියක් සමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කොටුම්පත් කිරීමට අවම 06 මසක කාලයක්වත් ගත කළ යුතුය. එවැනි සංවාද ඔස්සේ ගොනුවන යෝජනා සියල්ල අවසානයේ තනි කෙටුම්පත් ලියවිල්ලකට සකස් කිරීමේ කාර්යක්ෂම හා දැනුවත් ලේකම් මණ්ඩලයක් සිටිය යුතුය. එමෙන්ම කවර භාෂාවකින් ඒවා සමාජ සංවාදයට එකතු කෙරුණත් කෙටුම්පත් ලියවිල්ල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් එකවර ප්‍රසිද්ධ කළ යුතුව ඇත. එයද සමාජ කතිකාවකට ලක්විය යුතු හෙයිනි.


ප්‍රධාන විපක්ෂය ඒ වගකීම බාර ගැනීමට සූදානම් වන්නේ නම්, ඔවුන් පටන් ගත යුත්තේ දළ කෙටුම්පතක් සමාජය හමුවේ තබමින් ය. ඒ දළ කෙටුම්පතට වෙනත් හවුල්කරුවන්ද සිටින්නේ නම්, එය ආරම්භ වන්නේම යම් පුළුල් නියෝජනයකින් සැකසූවක් ලෙසිනි. එහෙත් මේ මොහොතේ එවැනි ප්‍රාථමික කටයුත්තකට අත නොගැසීමට හේතු දෙකක් ඇත. එකක් ඒ සඳහා ගත කිරීමට දැන් කාලයක් නැත. දෙවැන්න සහ වඩාත් වැදගත් හේතුව නම්, එවැනි පියවර ඉතා සාර්ථකව අවසන් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත් කළ වැදගත් ලියැවිල්ලක් දැනටත් තිබීමය.


නිදහසින් පසු මෙතෙක් ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් එවැනි හවුලක්, පොදු එකඟතාවක් ලැබූ ඉතාම වැදගත් කෙටුම්පත ලියැවී ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික කමිටුවේ එකඟත්වය ඇතිව 2006 ජූලි 11 වන දින ස්ථාපිත කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මගින් ය. එම කමිටුව එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් සැසි වාර 128 ක් රැස්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 ජූලි මාසයේදී තිස්ස විතාරණ විසින් කමිටුවේ “අවසන් වාර්තාව” යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ප්‍රධාන හා මූලික ප්‍රතිපත්තිමය රාමුව සැලකිය යුතු විස්තර හා පැහැදිලි කිරීම් සමගින් ජනාධිපති මහින්ද රාජපක්ෂට බාර දෙනු ලැබිණ.


එම කමිටුව ස්ථාපිත කරන විට එහි නිත්‍ය සාමාජිකයින් වූයේ (1) ශ්‍රී.ල.නි.ප, (2) මහජන එක්සත් පෙරමුණ. (3) ල.ස.ස.ප, (4) කොමියුනිස්ට් පක්ෂය, (5) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, (6) ජාතික හෙළ උරුමය, (7) ලංකා කම්කරු කොංග්‍රසය (8) ජාතික එක්සත් සන්ධානය (9) උඩරට ජනතා පෙරමුණ (10) සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (11) ජාතික කොංග්‍රසය (12) බස්නාහිර පළාත් ජනතා සංගමය – මනෝ ගනේෂන් (13) ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – ඩග්ලස් දේවානන්ද (14) තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් – කරුණා අම්මාන්/පිල්ලෙයාන් (15) එ.ජා.ප (කරු ජයසූරිය ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි කණ්ඩායම) සහ (16) ජනතා විමුක්ති පෙරමුණ ය.


මෙහි රනිල් වික්‍රමසිංහගේ එජාපය නොමැත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත් කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් වූ කණ්ඩායම එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස එම කමිටුවෙහි අසුන් ගත් හෙයිනි. එහෙත් එහි ද්‍රවිඩ ජාතික සන්ධානය නොමැත්තේ ඔවුන්ට නිල ආරාධනාවක් නොවුණු හෙයිනි. සර්ව පාක්ෂික නියෝජිත කමිටුව පත් කළ පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ගැන කියූවේ, එම කමිටුවේ පොදු එකඟත්වයක් ලබන්නාවූ කාරණා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීමට ඔහු බලාපොරොත්තුවන බවය.


එම සර්ව පාක්ෂික නියෝජිත කමිටුවට සහායවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂඥ කමිටුවක් ද පත් කරනු ලැබිණ. එම විශේෂඥ කමිටුවේ සාමාජිකයින් වූයේ ජනාධිපති නීතිඥවරුන් වූ එච්.එල්. ද සිල්වා, ආර්. කේ. ඩබ්ලියු ගුණසේකර, ෆායිස් මුස්තාෆා, ආචාර්ය රෝහාන් පෙරේරා, තේරීසෙ පෙරේරා මහත්මිය, ගෝමින් දයාශ්‍රී, මනෝහර ද සිල්වා සහ ජයම්පති වික්‍රමසිංහ සමග, මහාචාර්ය ජී. එච් පීරිස්, එම්.ඩී.ඩී. පීරිස්, කේ. එච්. ජේ විජේදාස, ආචාර්ය සිවාජි ෆීලික්ස්, එන්. සෙල්වකුමාරන්, ආචාර්ය කේ. විග්නේස්වරන්, අසෝක ගුණවර්ධන, ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන් සහ මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය යන අය වූහ.


එවැනි විශේෂඥ කමිටුවක නිර්දේශ අනුව තීන්දු ගැනීමට සූදානම් නැතැයි ප්‍රකාශයක් කර සෝමවංශ අමරසිංහගේ ජ.වි.පෙ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවෙන් ඉවත් විය. එහෙත් අනුර කුමාරගේ ජ.වි.පෙ ඊට වෙනස්ව 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සිට 2015 ජනාධිපති පොදු අපේෂකයාගේ ජයග්‍රහණයෙන් පසු වික්‍රමසිංහගේ ආණ්ඩුව සමගත් එකට වැඩ කිරීමේ හා තීන්දු ගැනීමේ පුරුද්දක් හදා ගත්තකි. එබැවින් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා 2016 ජනවාරියේ දී පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවක් සමග විෂය භාර උප කමිටු 06 ක් තහවුරු කළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුල ඔවුහු අපහසුවකින් තොරව සිටියහ.


අද එකී සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ ජාතික හෙළ උරුම සාමාජිකයා වූ උදය ගම්මන්පිල අලුත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. ශ්‍රී.ල.නි.පය ඇමති ධූර සමගින් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවෙකි. මහජන එක්සත් පෙරමුණද ආණ්ඩුවේ හවුල්කරුවකු වන අතර, එහි නියෝජිත වූ මහාචාර්ය නලින් ද සිල්වා මේ ආණ්ඩුවෙන් තානාපතිකමක් ලබා ගත්තෙකි. ඩග්ලස් දේවානන්දගේ පක්ෂයද ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයකි. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ ඉතිරි පිරිස ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙහි ය. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ නිත්‍ය නියෝජනයක් තිබූ ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවකද සජිත් ප්‍රේමදාසගේ පෙරමුණෙහි ප්‍රධානියෙකි.


මේ දේශපාලන පිරිස් අද දෙපාර්ශ්වයකට ගොනුව සිටියත් මේ හැමෝම වසර 03 ක කාලයක් සැසි වාර 128 ක අසුන් ගෙන, එකඟවෙමින්, විරුද්ධවෙමින්, යෝජනා ඉදිරිපත් කරමින්, ඒවාට සංශෝධන ඉදිරිපත් කරමින් හවුලේ ගොඩ නැගූ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසාන වාර්තාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන්ම සැකසුණු හවුල්කාර කෙටුම්පතකි. එනිසා එය සමාජ කතිකාවකට මූලික පදනමක් කරගැනීමේ පැහදිලි අර්ථයක්, ශක්තිමත් තර්කයක් ඇත. විපක්ෂයට එය ඉදිරිපත් කරන්නට අයිතියක් ඇත්තේද එහි පාර්ශ්වකරුවන් විපක්ෂයේද සිටින බැවිනි.


එනිසා විපක්ෂයට, විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා යෝජනා එවන මෙන් කෙරුණු ඉල්ලීමට, ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිචාර දැක්විය හැක්කේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසාන වාර්තාව සමාජ කතිකාවකට තැබීමෙනි. ඒ වෙනුවෙන් කොවිඞ්-19 සමග සුපුරුදු විවෘත සංවාද මණ්ඩප සංවිධානය කිරීමේ අපහසුවක් ඇති බැව් සැබෑය. එහෙත් මේ සමාජයට හවුල් විය හැකි විවිධ අන්තර්ජාල වේදිකා පසුගිය කාලයේ සමස්තයක් ලෙස නොවුණත් පාසල් මට්ටමින් පවා නාගරිකව භාවිතයට පැමිණ ඇත. එවැනි නූතන විධික්‍රම භාවිත කරමින් සමාජ කතිකාවක් සැලසුම් සහිතව සංවිධානාත්මකව ගොඩ නගන්නටත් විපක්ෂය වගකීම් බාර ගත යුතුය.


එවැනි සමාජීය වගකීම් බාර ගැනීමට මැලිකම් දක්වන, සූදානම් නොවන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් මේ පාර්ලිමේන්තුවේ කෙතරම් දක්ෂ, චතුර කතා පැවැත්වූවත් ඉන් ජනතාවට, සමාජයට ලැබිය හැකි කිසිදු ප්‍රයෝජනයක් වාසියක් නැති බැව් වාද කළ යුත්තක් නොවේ. පාර්ලිමේන්තු හැදියාව වඩාත් නිරුවත්ව ප්‍රදර්ශනය කෙරුණේ 2018 දෙසැම්බරයේ යැයි කියූ සැමට, එය පසුගිය සතිවලද නැවත කියන්නට සිදුවූයේ ආණ්ඩුවේ ඇමතිවරුන් හා විපක්ෂයේ ප්‍රධානීන් තමන්ගේ අවයව පිළිබඳව වාද කරගත් පසුය. මේ පාර්ලිමේන්තුවෙහි ආණ්ඩු පාර්ශ්වයේ හෝ විපක්ෂයේ ශීලාචාර හැසිරීමක් ගැන තැබිය හැකි කිසිදු විශ්වාසයක් නැත. මේ පාර්ලිමේන්තුව මේ ඇති සැටියෙන් ශීලාචාර, සංයමයක් ඇති වාද විවාද පැවැත්වීමේ සම්ප්‍රදායක් නැවත ගොඩ නැගිය හැකි පාර්ලිමේන්තුවක් නොවේ.


වැදගතුන්ගේ පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත හැක්කේ ඒ සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිපාදන පිළිබඳව සමාජයේ ඇතිවන්නා වූ පුළුල් සංවාද සමගින්ම පමණි. සමාජයේ දැනුවත් පිරිස් හා සමාජයට වගකියන්නාවූ මාධ්‍ය ඇතොත් ඒ ඔස්සේ පමණි. එවැනි සියලු කොටස් හවුල් කරගෙන ඒ වගකීමට මුල පුරන්නට මේ විපක්ෂ නායකයින් සූදානම්ද නැතිද යන්න උරගා බැලෙන අතිශය තීරණාත්මක දේශපාලන සංසිද්ධියක් වනුයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ මේ ආණ්ඩුවේ තීන්දුව වන්නේය. 


-කුසල් පෙරේරා-

-රාවය-

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *