IMG-LOGO
Home බ්ලොග් ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර

Date : 2023-Feb-08
IMG
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව නව සැසි වාරය 2023.02.08 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ විය. පාර්ලිමේන්තුවේ එක් එක් සැසි වාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2) පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයාට බලය ඇත. ඒ අනුව මෙම ලිපිය සම්පාදනය කිරීමෙන් පසුව එළැඹෙන දින පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.එම ඉදිරිපත් කිරීම හා සමගාමීව මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය පිළිබඳව සමාලෝචනයක් මෙම ලිපිය තුළින් ඉදිරිපත් කෙරෙයි.

ශ්‍රී ලංකාව විසින් 2022 මැයි මස වන විට ගෙවීමට තිබූ ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර හැරීමත් සමග උද්ගතවූ අර්බූදකාරී තත්වය තවමත් අවසන්ව නැත. ඒ සම්බන්ධයෙන් යම්තාක් දුරටකට සහනයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමෙන් අනතුරුව ඩොලර් බිලියන 2.9 ක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් ඇති කරගනු ලැබූවද ඒ වන විටත් ඉන්දියාව, චීනය වැනි රටවල් විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලද ඩොලර් බිලියන ගණනක ණය මුදල් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා එකඟ වීඇති බව වාර්තාවූ පසුබිමක අදාළ මූල්‍යාධාරය ලැබීමද ඉක්මන් වනු ඇති බව උපකල්පනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ මුළු ජාත්‍යන්තර ණයවලින් 10% ක් පමණ ලබා ගෙන ඇත්තේ චීනය මගිනි. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වේ. ජපානය ඩොලර් බිලියන 2.7 ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ක් ණය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව පසුගිය ජූනි මස අවසානයේදී රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ විය. මෙම ණය මුදල ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන ණය මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවූනද එමගින් ණය ලබා දෙන අනෙකුත් රටවලට ශ්‍රී ලංකාව පිළිබඳව තවදුරටත් විශ්වාසදායී ණය ගනුදෙනු කරුවෙකු බව තහවුරු වීම අතිශය වැදගත්ය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙනු ලබන ණය මුදල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු කොන්දේසි මාලාවක් මූල්‍ය අරමුදල මගින්ලබා දෙනු ලබන අතර එම කොන්දේසීන්ට අනුගතව මේ වන විටත් ශ්‍රී ලංකාව විසින් විවිධ ප්‍රතිපත්තිමය තීරණයන්ට එළැඹ තිබෙනු දැකිය හැකිය.

ඒ අනුව රාජ්‍ය අංශය සඳහා නව බඳවා ගැනීම් නැවැත්වීම, නව බදු ප්‍රතිපත්තිය අනුව ආදායම් බදු ගෙවිය යුතු ප්‍රද්ගලයන්ගේ ආදායම් සීමාව පහළ දැමීම වැනි ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන ලද්දේ එහි ප්‍රතිපලයක් ලෙසය. එසේම,

• සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය. 

• ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය.

• උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය.
 

• ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම - විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.

• අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය. (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)

යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද නිර්දේශයන් ක්‍රියාතමක වන ආකාරය නිරීක්ෂණය කරමින් අදාළ ණය මුදල ලබා දීම පිළිබඳව තවදුරටත් ක්‍රියාත්මක වීම සිදුවනු ඇති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද එම නිර්දේශයන් ක්‍රියාත්මක් කිරීම මේ මොහොත වනවිට අනිවාර්යයෙන් සිදු කල යුතු දෙයක් බවට පත්වී ඇත. එසේ නොවීමෙන් අදාල ණය මුදල නොලැබී යාම සඳහා එයම හේතුවක් වන අතර එමගින් නැවතත් ශ්‍රී ලංකාව මෙම අර්බූදයේ ආරම්භක අවධියට යාම වැලැක්විය නොහැකිය. මන්ද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් නිකුත් කිරීමත් සමග ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ගොඩනැගීමට නියමිත විශ්වාසය ගොඩ නොනැගීම තුළින් නැවත ජාත්‍යන්තරයෙන් අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමේ අවකාශය වියැකී යාම නිසා ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා ඇති අවම මාර්ගයත් වැසී යාම පමණි.

එසේම, එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවන අර්බුදකාරී තත්වය මේ වන විටත් උග්‍ර වෙමින් පවතින අතර ජනාධිපතිවරයා විසින් 2023.02.08 වන දින ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන දිනයේ දී රට පුරා උද්ඝෝෂණ හා වැඩ වර්ජන මාලාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති විසින් සූදානම්ව සිටී.එසේ ඔවුන් අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළැඹීම සඳහා හේතු වී ඇත්තේ රජය විසින් ගෙන එන ලද නව සෘජු බදු ප්‍රතිපත්තියයි. එමගින් වාර්ෂික ආදායම් රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩියෙන් උපයන සෑම පුද්ගලයෙකුම අදායම් බදු ගෙවිය යුතු බවට වූ නියමයයි.

ඒ සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කරමින් බදු සහන රාශියක් ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි ලංකාවට ලැබිය යුතුව තිබූ බදු ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අඩු විය.එමගින් සිදු වූයේ ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව තිබූ ණය ගෙවා දැමීම සඳහා ප්‍රමාණවත් තරම් ආදායම් ප්‍රමාණයක් නොලැබී යාමයි. මෙම තත්වය මගහරවා ගැනීම සඳහා වර්ථමානය වන විට සෘජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමට ගනු ලැබිණි. නමුත් සාමාන්‍යයෙන් පුරවැසියෙකුට පවතින සාධාරණ අපේක්ෂෘවක් වනුයේ රජයක් විසින් එක්වරම බදු ප්‍රතිශතය ඉහළ දැමීමක් දරනු නොලබන්නේ ය යන්නයි. ශ්‍රී ලංකාව තුළදී එම තත්වය එක් වරම වෙනස් වීම තුළින් මෙම ගැටළු උද්ගත වීමට හේතු වී තිබෙන බව පෙනී යයි.

තවද, වර්ෂ 2009 සිට වර්ෂ 2019 දක්වා වූ මෙම වසර කිහිපය තුළ දේශීය ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය වූයේ, ජාත්‍යන්තර වශයෙන් මද තරගකාරීත්වයකිනි. ඩොලර් බිලියන 6.5 සිට ඩොලර් බිලියන 19.4ක් දක්වා 2000 සිට 2018 දක්වා අපනයන අඛණ්ඩව ඉහළ ගිය අතර, එම කාල සීමාව තුළ ආර්ථිකයේ කොටසක් ලෙස ඒවා 39% සිට 23%ක් දක්වා පහත වැටිණි.පසුව 2020දී වසංගතයට ගොදුරු වී රටට වැඩි ආදායමක් ගෙන දුන් සංචාරක කර්මාන්තය කඩා වැටීමට ත් පෙර ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතුවල පැවති අඩුව, එනම් ආනයන හා අපනයන අතර පැවති පරතරය, ඒ වන විටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට වඩා වැඩි අගයක පැවතිණි. 

ණය ගෙවීම පැහැර හැරීම සඳහා මෙයද එක් ප්‍රධානතම හේතුවක් විය.මෙහිදී ශ්‍රී ලංකාව විසින් කළ යුතු වන්නේ උපාය මාර්ගිකව අපනයන ප්‍රමාණය ඉහළ නංවාලීම සඳහා කටයුතු කිරීමයි.ඒ සම්බන්ධව වත්මන් ජනාධිපතිවරයාට යම් අදහසක් ඇති බවට උපකල්පනය කළ හැකි නමුත් ඒ සඳහා සැකසිය යුතු අවම මූලික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා හැකියාවක් තිබේද යන්න පිළිබඳව විමිසිය යුතුය. බොහෝවිට 2023.02.08 වන දින පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මේ පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බවට උපකල්පනය කළ හැකිය. 

මේ සඳහා සාම්ප්‍රදායික අපනයන්ගෙන් පමණක් නොයැපී නව මානනයන් සොයා යුතුය. මෘදුකාංග,ඉලෙක්ට්‍රොනික උපාංග, වරාය හරහා සේවා සැපයීම තවදුරටත් පුළුල් කිරීම, ගුවන් සේවා සැපයීම පුළුල් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් තුළින් වඩාත් සපලදායී ඉපැයීම් ක්‍රමවේදයක් සකස් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. ජනාධිපතිවරයාට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී මෙවැනි ක්‍රම වේදයන් තුළින් ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව වූ විධිමත් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ හැකිවේද යන්න පිළිබඳව බලා සිටිය යුතුව ඇත.
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *