ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය තුළ වැඩිම බලපෑමක් කරන ලද ව්‍යවස්ථා සංශෝධන අතරින් ප්‍රමුඛතම සථානයක් දිනා ගනු ලබන ව්‍යවස්ථා සංශෝධනය ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකියි. පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි. එයින් අනතුරුව නැවතත් සමාජය තුළ 13ද? 13+ ද? යන ගැටළුව පිළිබඳව කතිකාව ඉස්මතු වූවත් පළාත් පාළන මැතිවරණය උණුසුමත් සමග එය පිළිබඳව සාකච්ඡා කිරීම තරමක් දුරට ඇල්මැරුණු ස්වභාවයක් දැකිය හැකියි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි බලය බෙදා හැරීමේ ක්‍රම වේදයක් සඳහා ශ්‍රී ලංකාව යොමුවූයේ ක්‍රමිකව බව පෙනී යයි.1947 සෝලබරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ දී වැඩි බලයක් හිමිකර ගැනීමට සිංහල ජාතික නායකත්වයට හිමිවීම තමන්ට සිදු වූ දැඩි අසාධාණයක් ලෙස ද්‍රවිඩ ජාතික නායකයින්ගේ අදහස වූ අතර මෙම මතය 1948 පුරවැසි පනත,1956 රාජ්‍ය භාෂා පනත, ආදිය නිසා තවදුරටත් වැඩි වීම හේතුවෙන් එම තත්වය මගහරවා ගැනීම උදෙසා 1957 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සහ 1965 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට උත්සහ කළද එය සාර්ථක නොවීය. එසේම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එතෙක් පැවති සුළු ජන අයිතීන් වෙනුවට මූලික අයිතිවාසිකම් පරිච්ජේදයක් හඳුන්වා දෙන ලදී. එසේම එතෙක් පැවති පරිපාලන ක්‍රමය වෙනස් කරමින් දිස්ත්‍රික් සභා ක්‍රමය ඇති කරන ලද අතර 1983 දී කළු ජූලියේ ප්‍රතිඵලයක් ලෙස පැවති තිම්පූ සාකච්ඡා වලදී තීරණය වූයේ දමිළ ජනතාව සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය බවයි. නමුත් ඒ සඳහාද එකඟතාවයක් ඇති කරගැනීමට දෙපාර්ශවයේම දේශපාලන නායකයින් හට නොහැකි වූ හෙයින් ගැටළුව තව දුරටත් උග්‍ර විය.
උතුරේ හටගත් සිවිල් අරගලය වඩාත් ගැටුම්කාරී තත්වයකට පක්වීමත් සමග ඉන්දීය රජයද මෙම ගැටළුව සඳහා මැදිහත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1987 දී ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමග ඉන්දු ලංකා ගිවිසුම ඇති කර ගැනුණි. එම ගිවිසුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් සිදු කිරීමට නියමිත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා පිහිටවනු ලැබූ අතර එහිදී මධ්‍යම රජය සතුව පැවති බලය මධ්‍යම රජය සහ පළාත් සභා සඳහා ලැයිස්තු තුනකින් යුතුව බලය බෙදී යන ආකාරයට සැලසුම් කරන ලදී. නමුත් එය පිහිටවනු ලැබූ දින සිට වර්ථමානය මධ්‍යම රජය විසින් පළාත් සභා ලැයිස්තුව තුළ අන්තර්ගත බලය පළාත් සභා සඳහා සඳහා ලබා නොදුන් අතර පළාත් සභා ලැයිස්තුවට අදාළ ඉඩම් හා පොලිස් බලතල මධ්‍යම රජය විසින් රඳවා තබා ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ පළාත් සභා පිහිටු වීම තුළින් බලාපොරොත්තු වූයේ මෙරට උද්ගතව තිබූ ජනවාර්ගික අර්බූදය සඳහා විසඳුමක් නිර්මාණය කිරීමයි. ඒ අනුව 13 වන සංශෝධනය සහ පළාත් සභා පනත හරහා මෙම නව පාළන ව්‍යූහය ගොඩනංවන ලදී. මෙහිදී මධ්‍යම රජයේ විමධ්‍යගතව තිබූ බලය බෙදීමකට ලක් විය. මේ තුළින් අදාළ පළාත තුළ වාසය කරන ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීමද සිදු විය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික අර්බූදය සමනය කිරීම සඳහා වඩාත් සාධනීය යෝජනාවක් වූ අතර ගැටළුව වූයේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ( In Re The Thirteenth Amendment To The Constitution And The Provincial Councils Bill ) තුළින් තීරණය වූයේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හානියක් නොවන පරිදි පළාත් සභා ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකි බවයි. මෙම තීරණය සඳහා අගවිනිසුරු ප්‍රමුඛ නව දෙනෙකු ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් සහභාගී වූ අතර එයින් විනිසුරුවරුන් පස්දෙනෙකුගේ තීරණය වූයේ මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරවණයක් අවශ්‍ය නොවන බවයි. අනෙක් විනිසුරුවරුන් හතර දෙනා ප්‍රකාශ කලේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත් අවසානයේ බහුතර මතය අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවීය.
ව්‍යවස්ථාදායක බලතල සහ විධායක බලතල වශයෙන බෙදීයන මෙම බලය බෙදී යාමේ දී ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හානියක් සිදු වේද යන්න පිළිබඳව සොයා බැලීමේ දී ඉහත අධිකරණ තීරණයට අනුවම මෙමගින් ඒකීය භාවයට කිසිදු හානියක් සිදු නොවන අතර ගරු අගවිනිසුරු ශර්වානන්ද මහතාගේ තීරණය වූයේ පළාත් සභා ක්‍රියාත්මක කිරීම තුළින් ෆෙඩරල් රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය නොවන බවයි.
කෙසේ වෙතත් ලෝකය තුළ බලය බෙදීමේ සිද්ධාන්තය උපයෝගී කරගනුයෙ පාලනය කාර්යක්ෂම කරගැනීමේ අරමුණින් වූවද ශ්‍රී ලංකාව තුළදී එය ජනවාර්ගික අර්බූදයකට පිළියම් වශයෙන් භාවිතා කිරීමට සිදු විය. උදාහරණ ලෙස ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය වැනි රටවල් කෙරෙහි අවධානය යොමු කිරීමේදී එම රටවල බලය බෙදීම තුළින් තවදුරටත් මධ්‍යම රජය වටා ප්‍රාන්ත රාජ්‍යයන් ඒකරාශී වීම දැකිය හැකිය. එමගින් පෙනී යන්නේ බලය බෙදීම තුළින් වෙන්වී යාමකට වඩා එක්සත් වීමක් ගෝලීය නිදර්ශණ තුළින් පෙන්වා දෙන බවයි. එම නිසා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම තුළින් ඒකීය භාවයට හානියක් වන බවට වූ සමාජය තුළ ප්‍රචාරය වන මතයන් තුළ හරයාත්මක ගැඹුරක් නොමැති බව පැහැදිලි කරුණකි.
ගැටළුව ඇත්තේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වර්ථමානය වන විට එවකට යෝජිත සංශෝධනය සහ වර්ථමානය තුල ක්‍රියාත්මක වෙමින් පවත්නා ක්‍රම වේදයන්හි පවත්නා වෙනසයි. උදාහරණ ලෙස පොලිස් බලතල පළාත් සභා සඳහා ලබා දීමේදී පළාත් සභා ලැයිස්තුවේ පොලීසි සහ මහජන සාමය ලෙස දක්වා ඇති 1 වන වගන්තිය අනුව ගැසට් පත්‍රයේ පළකර ජනාධිපතිවරයා විසින් සීමාවන් නිශ්චය කොට නිර්නය කරනු ලබන තදාසන්න නගර ප්‍රදේශයන් හැර පළමු පරිශ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට පළාත ඇතුළත මහජන සාමය පැවැත්වීම සහ පොලිස් බලතල ක්‍රියාත්මක විය යුතුය.
පළමු පරිශ්ටයට අනුව පොලිස්පතිවරයා පොලිස් හමුදාවේ ප්‍රධානියා වියයුතු අතර ජාතික අංශය සහ එක් එක් පළාත සඳහා පළාත්බද අංශයක් ලෙස පොලීසිය කොටස් දෙකකට බෙදී යයි. ජාතික අංශය සඳහා බඳවා ගැනීම,පළාත් බද නිළධාරීන් ජාතික අංශයට උසස් කිරීම වැනි බලතල සහිත පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවන අතර ඒ සඳහා පොලිස්පති වරයා, ජනාධිපති විමසා රාජ්‍යසේවා කොමිෂන් සභාව පත් කරන තැනැත්තෙක් සහ අගවිනිසුරුගේ නාමිකයෙකු පත්විය යුතු බවට ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව ජාතික අංශයට පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී සහ ජාතික මට්ටමෙන් බඳවා ගනු ලබන වෙනත් නිළ දරන පුද්ගලයන්ගේ සමන්විත වන අතර ඊට අමතරව ජාතික අංශයෙන් ද්වීතියව නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ද පළාත් මට්ටමෙන් බඳවා ගන්නා ලද පලාත් බද සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ඇතුලු නිධාරීන් සඳහා පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා,ජනාධිපතිවරයා විමසා රාජ්‍යසේවා කොමිෂන් සභාව පත් කරන තැනැත්තෙක් සහ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නාමිකයෙක් ඇතුළත් පළාත්බද පොලිස් කොමිෂන් සභාවක් නිර්මාණය කළ යුතුය.
මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පාර්ලිමේන්තු සභාවේ එකඟතාව මත 2020.12.03 දින පත් කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව ක්‍රියාත්මක වන අතර සභාපති සහ ලේකම් ඇතුළුව සමාජිකයින් 08 දෙනෙකු පත්කොට තිබේ. 13 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එක් එක් පළාත සඳහා පොලිස්පත්වරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟතාවය මත නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කළ යුතු අතර ඒ සඳහා එකඟතාවයක් නොමැත්තේ නම් එය ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයාගේ විමසීමෙන් පසුව අදාළ පත්වීම සිදු කළ යුතුය. එහිදී පෙනීයන කාරණය වන්නේ පොලිස් කොමිෂම හෝ රාජ්‍ය සේවා කොමිෂම නොසලකා හරිමින් අදාළ පත් කිරීම සිදු කිරීම සඳහා ප්‍රධාන අමාතයවරයාට හා ජනාධිපතිවරයාට බලය තිබෙන බවයි.ඒ අනුව අදාළ පත් කිරීම් සඳහා වූවද පොලිස් කොමිෂම වෙත බලය පැවරීමේ අවශ්‍යතාවයක් ඉස්මතුව ඇති බව පෙනී යයි. එසේම පළාත් බද අංශයන්හි පොලිස් නිළධාරීන් භුක්ති විඳින වැටුප් පරිමාව තීරණය කිරීමේ බලයද පළාතේ මහ ඇමතිවරයා සතුව පවතී. ඒ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනයින්ම බලාත්මක කිරීම එතරම් උචිත ක්‍රියාවක් නොවන බව අදාළ ප්‍රතිපාදන අනුව පැහැදිලි වන කරුණකි.
ඉඩම් බලතල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී II වන පරිශ්ටයට අනුව රජයේ ඉඩම් ජනරජය සතුව දිගටම පැවතිය යුතු අතර 33 (ඈ) ව්‍යවස්ථාව අනුව එනම් ජනාධිපතිවරයා කරන පැවරුමක් අනුව එම ඉඩම් බැහැර කිරීම කළ හැකිව තිබේ. ඉඩම් සම්බන්ධ ප්‍රතිපාදන ද කොටස් දෙකකින් සමන්විත වන අතර ඒවා රජයේ ඉඩම් සහ අන්තර් පළාත් වාරිමාර්ග කටයුතු සහ ඉඩම් සංවර්ධන ව්‍යපෘති ලෙස වර්ගකොට දක්වා ඇත. අදාළ ව්‍යාපෘති සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුව සතු බවද එම ප්‍රතිපාදන තුළ අන්තර්ගතය.මෙහිදී ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවා ඒ සඳහා රජයේ ඉඩම් පාවිච්චිය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ වගකීම කොමිෂන් සභාවට පවරා ඇත. එහිදී පළාත් සභා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී ජාතික ඉඩම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ජාති ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලකිලිමත්ව අදාළ බලතල ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව පෙනී යන්නේ පළාත් සභා සඳහා ලබා දී ඇති ඉඩම් බලතල වූවද ඉතාමත් සීමිතව ක්‍රියාත්මක කළ හැකි බලතල වන බවයි.
එම නිසා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරිමට පළාත් සභා සඳහා නිසි බලතල ලබා දීමත් එම බලතල නියාමනය කිරීම සඳහා පත්කොට ඇති කොමිෂන් සභා විධිමත් කිරීමත් සිදු කළ යුතු බවයි.මෙම සංශෝධනය තුළින් වූවද බලාපොරොත්තු විය හැකි මට්ටමේ පැහැදිලි බලය බෙදීයාමක් දැකිය නොහැකි බවත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සහිතව පැහැදිලි බලය බෙදීයාමක් සිදු වියයුතු බවත් පෙනී යයි. එවැනි බලතල බෙදීමක් තුළින් අදාළ පලාත් සඳහා ආවේනික ශක්‍යතාවයන් වර්ධනය කරගනිමින් සංවර්ධන ඉලක්කයන් ඉක්මනින සපුරා ගැනීමට හැකිවනු ඇති බව පැහැදිලිය.