පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් බවට මැතිවරණ කොමිසම විසින් පසුගිය දිනෙක නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව පුංචි ඡන්දය සඳහා මේ වන විට නාමයෝජනා බාරගෙන අවසන්. තත්වය එසේ තිබියදීත් තවදුරටත් සමාජය තුළ පැතිරි යන්නේ රජය විසින් ඡන්දය කෙසේ හෝ කල් දමනු ඇති බවටයි. එය තවත් තීව්‍ර වීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන පී.එම්.එස්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් කොමිසමේ සිය සාමාජිකත්වයෙන් ඉවත් වීම යන කරුණ බලපානු ඇති.
කෙසේ නමුත් මැතිවරණය කැඳවීමෙන් අනතුරුව විවිධ ආකාරයේ නව ප්‍රවණතාවයන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ තුළින් දැකිය හැකියි.ඇතැම් අපේක්ෂකයන් සුපුරුදු සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයන් භාවිතා කරන විට තවත් අපේක්ෂකයන් පිරිසක් තමන්ගේ ජීව දත්ත පත්‍රිකාව සමාජ මාධ්‍ය තුළට යොමු කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වනු පෙනෙයි. එම ප්‍රවණතාවයේ සාධනීය හා නිෂේධනීය ලක්ෂන පිළිබඳව විවිධ මතවාදයන් සමාජය තුළින් එල්ලවනු දැකිය හැකියි.
මෙවර පළාත් පාලන මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණයක් තරමටම උණුසුම් ස්වභාවයක් ගන්නා අතර එය පාලක පක්ෂයට ඉමහත් අභියෝගයක් බව පැහැදිලිව පෙනී යයි. එම නිසා වෙනත් මැතිවරණ කාලසීමාවන්ට වඩා වැඩි වශයෙන් මැතිවරණ ප්‍රචාරණය සඳහා පක්ෂ සහ අපේක්ෂකයින් විසින් මුදල් වියදම් කරනු ඇතැයි අනුමාන කළ හැකියි. කෙසේ නමුත් මැතිවරණයක් පිළිබඳව දැඩි උනන්දුවක් පවතින කාල වකවානුවක් තුළදී ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් පුරාවට පළාත් සභා මැතිවරණ පවත්වා නොමැති අතර මේ වන විට පළාත් පාලන සභික සංඛ්‍යාවද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත අනුව 2018 වසරේ දී 4000 කට මදක් වැඩියෙන් සිටි පළාත් පාලන සභික සංඛ්‍යාව 8000ත් ඉක්මවා වැඩිවිය. ඒ අනුව මැතිවරණයක් එපා යැයි හඬ නගන්නන් විසින් හුවා දක්වනු ලබන ප්‍රධානතම හේතුව වන්නේ ද එයයි.එවැනි තත්වයක් නිර්මානය වීම සඳහා 2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධනය මගින් ගෙන එනු ලැබූ සංශෝධනයන් මූලික වශයෙන් හේතු වූ බව ප්‍රකාශකළ හැකියි. ඔවුන් පෙන්වා දෙනු ලබන අනෙක් කරුණ වන්නේ මෙරට පවතින ආර්ථික තත්වය මත එවන් සභිකයින් සංඛ්‍යාවක් නඩත්තු කිරීමේ හැකියාවක් ජනතාව සතුව නොමැති බවයි.
නමුත් එම තර්කයන් සඳහා ප්‍රතිතර්ක ගෙන එනු ලබන පාර්ශවයන්ගේ අදහස වනුයේ පුංචි ඡන්දය තුළින් ආණ්ඩුවට රිදෙන ආකාරයේ පාඩමක් ඉගැන්විය යුතු බවයි. ආර්ථික අර්බූදය පිළිබඳ පෙර පැවැති ආකාරයේ දරුණු ගණයේ දැනීම් ජනතාවට නොදැනුනද අ.පො.ස උසස් පෙළ විභාග සමයේ වූවද තවමත් විදුලිය ඇණහිටීම් සිදු වේ.ඉන්ධන හිඟය පෙර තරම් නොදැනුනත් QR ක්‍රමවේදය තුළින් ඉන්ධන සපයා ගැනීමට සිදු වීම නිසා අර්බූදය අවසන් නැති බව ජනතාවට නිරන්තරව සිහි වේ. ඒ හේතුවෙන් පවත්නා රජයට තරමක් අපහසු මැතිවරණයක් වූවද ජනතා හැසිරීම් පිළිබඳව පෙරැයීම් සිදුකළ නොහැකි නිසා සෑම පක්ෂයකටම මැතිවරණය විවෘත බව පැවසිය හැකිය.
මෙම මැතිවරණය වඩාත් වැදගත් වනුයේ ප්‍රතිපත්ති මූලික කරගත් මැතිවරණ ක්‍රමයකට අනුගත වීම සඳහා ශ්‍රී ලංකාවේ පක්ෂ උනන්දු කරවීම උදෙසාය. මින් පෙර පැවති පොරොන්දු දේශපාලනයෙන් බැහැරවී පක්ෂ ප්‍රතිපත්ති හා තම සභිකයන්ගේ වත්කම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් නව මැතිවරණ ක්‍රමවේදයක් සඳහා අඩිතාලම සැකසීම සඳහා පුංචි ඡන්දය උපයෝගී කරගත හැකිය.