IMG-LOGO
Home බ්ලොග් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවරණයක්.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවරණයක්.

Date : 2022-Nov-29
IMG
දූෂණ විරෝධී පනත පිලිබඳ සාකච්ඡාව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ  පමණක් පැවති පනත් කෙටුම්පතක්. එය පිලිබඳ කතිකාව නැවත කරලියට පැමිණියේ දූෂණ මර්ධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරයාට යොමු කිරීමත් සමගයි. මෙම යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය. මෙම රැස්වීමේ මුලසුන හොබවන ලද්දේ ගරු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසිනි. තවත් මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වූ අතර ලංකාව තුළ පැවති සහ පවතින නීතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතෙහි ප්‍රශංසනීය විධිවිධාන රාශියක් අඩංගු කර ඇති බව නිරීක්ෂණය කළ හැකියි.

නමුත් පවතින ගැටළුව වන්නේ මහජන අදහස් විමසීම සඳහා අවස්ථාවක් මේ වන තෙක් මීට ඇතුළත්ව නොතිබීමත්, සාරවත් නීති සම්පාදනයක් වුව ද, එහි වැදගත් අංග සහ බලපෑම පිළිබඳව මහජන මැදිහත්වීමකට ඇති අවස්ථාව අවම කරමින්, කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ උත්සහයක් දක්නට ලැබීමයි.

 කෙසේ වුව ද, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, එහි  අඩංගු වන ප්‍රධාන ප්‍රතිපත්ති සහ පටිපාටිමය අංග සම්බන්ධන්යෙන් මහජන අදහස් සලකා බැලුවේද යන්න අපැහැදිලිය. මෙම නීතිය මගින් අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය  ආදේශ කිරීමට අපේක්ෂා කරයි. නව යෝජිත පනත් කෙටුම්පත තුළින් අවධානය යොමු කරන ක්ෂේත්‍ර කිහිපයකි.

 1. මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධීනත්වය.  මෙයින් අදහස් වන්නේ අනාගතයේදී කොමිෂන් සභාව පාර්ලිමේන්තුවෙන් සෘජුවම අරමුදල් ලබා ගන්නා අතර විශේෂඥයින් සහ වෙනත් විමර්ශකයින් බඳවා ගැනීමේ බලය ඇති බවයි.

 2. නව කොමිෂන් සභාවට වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට සහ රජයේ දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශයට දූෂණ සිදුවීම අවම වන ක්‍රියා පටිපාටි හඳුන්වා දීමට පියවර ගත යුතු ආකාරය පිළිබඳව මග පෙන්වීමට බලය ඇත.

 3. පුද්ගලික අංශයේ අල්ලස්, ක්‍රීඩා දූෂණ, ලිංගික අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ වැරදි වැනි නව වැරදි හඳුන්වා දී ඇත.

 4. නව විද්‍යුත් වත්කම් ප්‍රකාශ පත්‍රයක් හඳුන්වා දෙනු ලබන අතර රාජ්‍ය සේවකයන් විසින් ඉදිරිපත් කරන වත්කම් ප්‍රකාශය එකතු කර විමර්ශන සිදු කිරීමට බලය ඇති වත්කම් අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇත.

මෙහිදී රටේ පවතින දූෂණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය දීම අගය කළ යුතු බව පැහැදිලි සත්‍යයකි.නමුත්, මේ මොහොතේ පවා අල්ලස සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සතුව වැදගත් නීති සම්පාදනයන් පැවතියද ගැටලුව වන්නේ එම නීති ක්‍රියාත්මක කරන ආකාරය කිසිසේත් ම ප්‍රමාණවත් නොවීමය.විශේෂයෙන්ම මහා පරිමාණ දූෂණ නඩු කටයුතු පැවරීමේ දී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාධනීය ලෙස කටයුතු නොකළ බොහෝ අවස්ථා දැකිය හැකිය.එමෙන්ම නඩු පැවරීමේ දී  තාක්ෂණික දෝෂ නිසා වැදගත් නඩු අත්හිටවූ අවස්ථා මෙන් ම ඇතැම් නඩු ඉවත්කරගත් අවස්ථා ද වේ. එම හේතුව නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය, සම්පත්වල ප්‍රමාණවත් බව සහ විශේෂඥ දැනුම සම්බන්ධයෙන් දැඩි විවේචන ඇති විය.

මෙවැනි තත්වයක් තුලදී පවතින දූෂණ විරෝධී නීති පවා ඵලදායි සහ සමානව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇති පසුබිමක රජය විසින් ඉදිරිපත් කළ නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුළින් යෝජිත දූෂණ විරෝධී කොමිසමේ  පවා ස්වාධීනත්වය තහවුරු කළ හැකි වන්නේ එය විධායකයේ බල රාමුවෙන් මිදී පවතීනම් පමණි.

පනත් කෙටුම්පත සඳහා තවදුරටත් යෝජිත පනත් කෙටුම්පත තුලින් යෝජිතව ඇති කොමිෂන් සභාව සතු විමර්ෂණ බලය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමත් ඒවා අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා සංවරණය සහ තුළනය ක්‍රමවේදයක් සකස් කිරීමත් අත්‍යාවශ්‍ය වේ.එමෙන්ම මහජන නියෝජිතයින් මෙන්ම රජයේ නිළධාරීන් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීම, දඬුවම් වැඩි කිරීම, පෞද්ගලික අංශයේ සිදු වන දූෂණ ක්‍රියාවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීම සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතන  සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාවට අවස්ථාව ලබා දීම, විමර්ශනවල ප්‍රගතිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීම යනාදිය පිළිබඳව මෙම පනත් කෙටුම්පත තුළින් අවධානය යොමුවීම වැදගත් වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය (UNCAC) සඳහා ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා තිබුණද එහි සඳහන්, සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම සහ මැතිවරණ ව්‍යාපාර වියදම් නියාමනය පිළිබඳ ප්‍රතිපාදනයන් පනත් කෙටුම්පත සඳහා ඇතුළත් වීම වැදගත් ය.

One-text Initiative ආයතනය විසින් මෙම පනත් කෙටුම්පත තුළ ඇති මූලික දුර්වලතාවයක් වන දූෂණය පිළිබඳ වරද නිවැරදිව අර්ථ දක්වා නොතිබීම යන්න හඳුනා ගනී. යම් ආකාරයකින් දූෂණය මර්ධනය කිරීම සඳහා දූෂණය යන්නෙන් අර්ථ දැක්වෙන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීම වැදගත් ය. දැනට පවතින පනත තුළ අන්තර්ගත 70 වන වගන්තිය තුළින් වරද ආරෝපණය කර ඇත්තේ රාජ්‍ය නිළධාරියෙකුට පමණි. නමුත් දූෂණය සඳහා දායක වන පාර්ශවයක් තුනක් දැකිය හැකිය. එනම්, රාජ්‍ය නිළධාරියෙකු, දේශපාලඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු යන පාර්ශවයන් ත්‍රිත්වයම බොහෝ විට දූෂණය සඳහා සම්බන්ධ වෙයි. එම නිසා පනත් කෙටුම්පත තුළින් එක් පාර්ශවයක් සඳහා පමණක් වරද පැටවීම සිදු නොකොට පාර්ශවයන් තුනම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුව ඇත.

කෙසේ වෙතත් දකුණු ආසියානු කලාපය තුළ රටවල සංවර්ධන ක්‍රියා දාමය සඳහා බලවත් බාධකයක්ව පවතින දූෂණ අක්‍රමිකතාවයන් හේතුවෙන් දකුණු ආසියා සහ ආසියානු පැසිෆික් කලාපය තුළ දූෂණ විරෝධී වැඩසටහන් ශක්තිමත් කිරීමට අවශ්‍ය විස්තරාත්මක රාමුවක් දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කර තිබේ. මෙම සම්මුති‍යේ විධිවිධාන ප්‍රකාරව කලාපයේ සෑම රාජ්‍යයක් ම ප්‍රධාන ප්‍රතිනිරීක්ෂණ චක්‍ර දෙකකට අනුකූලව කටයුතු සිදු කිරීමට මැදිහත් විය යුතු ය. 

එනම් පළමු ප්‍රතිනිරීක්ෂණ චක්‍රය අපරාධකරණය සහ නීතියේ බලාත්මකභාවයට අදාළව සම්මුතියේ සඳහන් 3වැනි පරිච්ඡේදය සහ ජාත්‍යන්තර සහයෝගීතාවට අදාළව සම්මුතියේ සඳහන් 4 වැනි පරිච්ඡේදයෙන් සමන්විත වේ. දෙවැනි ප්‍රතිනිරීක්ෂණ චක්‍රයට දූෂණය වැළැක්වීමට අදාළව සම්මුතියෙන් සඳහන් 2 වැනි පරිච්ඡේදය සහ වත්කම් ප්‍රතිෂ්ඨාපනයට අදාළව සම්මුතියේ සඳහන් 5වැනි පරිච්ඡේදය අදාළ වේ.

ශ්‍රී ලංකාව තුළ යෝජිත පනත් කෙටුම්පත සඳහා මෙම සම්මුතියේ සඳහන් ප්‍රතිපාදන අතරින් කවර ප්‍රමාණයක දායකත්වයක් ලබාගෙන තිබේද යන්න විමසා බැලිය යුතුය.

ඒ අනුව දූෂණයේ වරද කරුවන් හට එරෙහිව පවතින නීතිය තුළින් ද උපරිම ක්‍රියාත්මක වීම පවත්නා රජය විසින් සහතික කළ යුතුය. මෙම යෝජිත පනත් කෙටුම්පත සඳහා ප්‍රමාණවත් පරිදි මහජන මතය විමසීම සඳහා රජය විසින් පියවර ගත යුතුව තිබේ. එමගින් මෙම පනත සඳහා මහජන විශ්වාසය ගොඩ නැගීමත්, තවත් තාක්ෂණික හෝ කාර්‍යය පටිපාටිමය දුර්වලතා තිබේ නම් එය මගහරවා ගැනීමට ද හැකිවනු ඇත.
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *