IMG-LOGO
Home බ්ලොග් රටේ සුබ සාධන ප්‍රතිපත්තිය ලබාගත යුතු මග

රටේ සුබ සාධන ප්‍රතිපත්තිය ලබාගත යුතු මග

Date : 2022-Nov-08
IMG

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම යම් ආකාරයකින් වැඩි වීමක් පසුගිය දිනයන්හි දී පෙන්නුම් කරන අතර එය දිනකට රු.2000.00 ක් (ඇ.ඩො.5.7) පමණ වේ. නමුත් ඉන්දුනීසියාව,මලයාසියව වැනි රටවල් සමග සන්සන්දනය කිරීමේ දී එම රටවල දෛනික ඒකපුද්ගල ආදායම ඇ.ඩො.200ක් පමණ වන බව නිරීක්ෂණය කළ හැකිය. 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 14.3% කට ආසන්න අගයක් පැවති අතර ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 50.6% ක් පමණ හිමි වනුයේ 20% ක් වන ඉහළ ආදායම් ලබන පිරිස වෙතය. 43% - 44% ක ප්‍රමාණයක් 60%ක් පමණ වන මැදි ආදායම් ලබන පිරිසටත් 5.8%ක් වන අඩු ආදායම් ලබන පිරිසට ඉතිරියත් වශයෙන් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම බෙදී යයි. මෙහි දී වැඩි වශයෙන් අවධානය යොමු කළයුතු වන්නේ අඩු ආදායම් ලබන කොට්ඨාසයයි.

එම අඩුම ආදායම් ලබන කාණ්ඩයේ පරිභෝජන වියදම රු.14,592.00 කි. මෙහිදී අඩුම ආදායම් ලාභී පුද්ගලයෙකු එක් දිනක් රු.131.00 ක මුදලකින් ජීවත් වේ. අනෙක් කාණ්ඩයේ මාසික වියදම රු.23,900.00 ක් පමණ වන අතර එක් පුද්ගලයෙකු සඳහා දෛනික වියදම රු.215.00 ක් වැය කරනු ලබයි. සුබ සාධන ප්‍රතිපත්තියේ දී අවධානය යොමුකළ යුත්තේ ඉතාමත් පහළ ආදායම් ලබන කාණ්ඩ කෙරෙහිය.

ශ්‍රී ලංකාව තුළ මිලියන 1.7ක් පමණ සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් සිටින අතර එයින් 72,000ක පමණ වූ ආබාධිත ප්‍රජාවක් ද 621,000ක පමණ විශ්‍රාමික ප්‍රජාවක්ද සහන භුක්ති විඳිනවා. එමෙන්ම වැඩිහිටි දීමනා ලබන 414,000 – 90,000 ක් අතර ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ ලබා ගනී.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිලාභ ලැබිය යුත්තන්ගෙන් 54.7 % කට පමණ ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබාදෙන අතර මෙරටට ඉහළින් රුඳී සිටින්නේ තායිලන්තයයි. එරට ප්‍රතිලාභ ලැබිය යුත්තන්ගෙන් 60%ක ප්‍රමාණයකට ලබා දෙනු ලබයි. නමුත් එම ප්‍රමාණය සුභ සාධනය සඳහා වෙනත් රටවල රජයන් වියදම් කරනු ලබන ප්‍රමාණයට සාපේක්ෂව පහළ අගයක් ගනී.එම අගය ශ්‍රී ලංකාව තුළ පවතිනුයේ 3.2% ක ප්‍රමාණයක් වශයෙනි. රජයක් විසින් සෘජුව ලබා දෙන ඉහත සහනයන්ට අමතරව වක්‍රව ලබා දෙනු ලබන සහන ද පවතී.2021 වර්ෂයට අදාළව වර්තන සහනාධාර බිලියන 684ක් වෙන්කර ඇති අතර එයින් බිලියන 51ක් සමෘද්ධි සහනාධාර වශයෙන් ලබා දී තිබෙනු දැකිය හැකියි. විශ්‍රාම වැටුප්, පොහොර සහනාධාර ආදිය සඳහා බිලියන 40කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. ඒ සෘජු සහනාධාර වශයෙනි. එයට අමතර වශයෙන් වක්‍ර සහනාධාර මගින් වැඩි වාසි හිමිකර ගන්නේ ධනවත් පිරිසයි. රුපියල් බිලියන 4500 කට ආසන්න ප්‍රමාණයක් වක්‍ර සහනාධාර වශයෙන් ලබා දී ඇත.

මෙහිදී දැකිය හැකි ප්‍රධානතම ගැටළුව වන්නේ සහනාධාර හිමිවිය යුතු කාණ්ඩය තෝරාගෙන ප්‍රතිලාභ ලබා නොදීමයි. සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා අදාළ නිර්ණායක ලෙස අධ්‍යාපනය,සෞඛ්‍යය, පවුලේ ආර්ථික තත්වය,වත්කම්, නිවසේ තත්වය සහ වෙනත් කරුණු වශයෙන් වූ නිර්ණායක සළකා බලන අතර ඒ සඳහා පත් කරන ලද කමිටුවක් පවතී.එම කමිටුවට ආගමික නායකයින්, පළාත් පාලන ආයතනවල නියෝජිතයින්, ආර්ථික සංවර්ධන නිළධාරීන්, ග්‍රාම නිළධාරීන් කෘෂි පර්යේෂණ නිළධාරීන්, පවුල් සෞඛ්‍යසේවා නිළධාරීන් ඇතුළත්වේ. නමුත් එම කමිටු තුළින් පවා සහනාධාර ලැබියයුතු පිරිස් නිවැරදිව තෝරා ගැනීමක් සිදුනොවිය හැකියි. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සහනාධාර මත යැපෙන කොට්ඨාශයක් බිහිවී තිබෙනු දැකිය හැකියි. මෙම දරිද්‍රතාවය නඩත්තුකරන සහනාධාර ප්‍රතිපත්තිය 2019ට පෙර කාලය තුළ සිට පැවති අතර එම නිසාම මෙම කාණ්ඩය නිශ්චිතව හඳුනා ගැනීම සිදුකළ යුතුයි. එම හඳුනා ගැනීම නිශ්චිත ඉලක්කයක් සපුරා ගැනීම දක්වා පමණක් සිදුකළ යුතුව පවතින අතර විශේෂයෙන්ම රජයේ නිළධාරීන්ට යම් ගමක රැකියාවක් කිරීමට හෝ වෙනත් ආදායමක් උපයා ගැනීමට නොහැකි පිරිස් හඳුනා ගත හැකි විය යුතුව පවතී.මෑත කාළීනව මහාචාර්ය ගුණවර්ධන ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද අධ්‍යයනයක් මගින් පවසා තිබෙන්නේ මෙම හඳුනා ගැනීම සඳහා විදුලි උපයෝගීතා බිල (Electricity Bill) වැනි සාධයකයක් මත පදනම්ව සිදුකළ හැකි බවයි.

අවධානය යොමුකළ යුතු කාරණයක් වන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ අන්තර්ගත තොරතුරු පවතින්නේද 2009 දක්වා පමණක් වීමයි. එවැනි තත්වයක් තුළ දරිද්‍රතාවය වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම පවා දුෂ්කර තත්වයකට ඇද වැටීම වැළැක්විය නොහැකියි. ආණ්ඩු කරණයකදී  සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම නිවැරදි තොරතුරු ලබා දිය හැකි ක්‍රම වේදයක් අව්‍යශයි.විශේෂයෙන් රටක් ඉදිරියට යාම සඳහා කරණු දෙකක් බෙහෙවින් වැදගත්.

1.       තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම.


2.       විගණනය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම.


නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රභලතම දුර්වලතාවය වන්නේද තොරතුරු නොමැති වීමයි.

සමෘද්ධි ව්‍යාපාරය 1994 වර්ෂයේ ආරම්භ වූවක් වන අතර මේ වන විටත් සමෘද්ධි ප්‍රතිලාභීන් වැඩි කිරීමට කටයුතු කරනවා විනා අඩු කිරීමට කටයුතු කර නැහැ.දරිර්‍දතාවය පිටුදැකීමේ ව්‍යාපාරය තාවකාලික ව්‍යාපෘති විය යුතු නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඊට සම්පූර්ණ වෙනස් තත්වයක්.සාමාන්‍යයෙන් සහන ලැබිය යුතු කාණ්ඩ දෙවර්ගයක් හඳුනාගත හැකියි.

1.       අවුරුදු 70ට වැඩි පිරිස් සඳහා සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි. උදාහරණ ලෙස රක්ෂණ ක්‍රමවේදයන් වැනි උපක්‍රම වෙනත් රටවල භාවිතා කරනු දැකිය හැකියි.

2.       ස්ව ශක්තියෙන් නැගී සිටීමට නොහැකි පිරිස්.මොවුන් සඳහා සුබසාධන ප්‍රතිපත්තියක් තුළ ස්වයං නැගී සිටීමකට ආත්ම ශක්තියක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතුයි.එහිදී නැගී සිටීමට ආධාරකයක් වශයෙන් නිශ්චිත ආකාරයකට සමෘද්ධිය මගින් දීමනාවක් ලබා දීම, වෙනත් ආයෝජන අවස්ථාවන්ට යොමු කිරීමට පසුබිම සැකසීම වැනි ක්‍රම වේදයන් තුළින් මෙම කාණ්ඩය තුළ දරිද්‍රතාවය වසර 10ක් වැනි කාලයක් තුළදී අවසන් කළ හැකි වේවි.

සමාජ ආරක්ෂණය සම්බන්ධ නෛතික තත්වය පිළිබඳව සැළකීමේදී මෑත කාලීනව ගෙන එන ලද සමාජ ආරක්ෂණ බද්ද පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්.රාජ්‍ය මූල්‍ය සම්බන්ධ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන ව්‍යවස්ථාව තුළ අනතර්ගතයි.එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුව පවතී. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 වගන්තිය තුළ පවතින ප්‍රතිපාදන තුළින් රජයේ ආදායමට බලපාන පනත් කෙටුම්පත් පිළිබඳව පවතින සීමා සම්බන්ධව දක්වා ඇත. ඒ අනුව එම පනත් කෙටුම්පත සඳහා යම් අයෙකු විරුද්ධ වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගනතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් ලබා ගැනීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් සැලකීමේදී 1996 අංක 17 දරණ සමාජ සංරක්ෂණ මණ්ඩල පනතින් සම්මත වී 1999 අංක 03 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩල (සංශෝධන) පනත මගින් විෂය තවත් පුළුල් වී තිබේ.සමාජ සවිබල ගැන්වීම, සුබසාධනය හා කන්ද උඩරට උරුමය පිළිබඳව අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.  

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 13-14ක් පමණ වන අතර එයින්ද සියළු දෙනාට ව්ශ්‍රාම වැටුපට හිමිකම් කිව නොහැකියි. ලක්ෂ 70ට වැඩි පුද්ගලික අංශයේ සේවක පිරිසත් ඇතුළුව ලක්ෂ 70ට වැඩි සේවක සංඛ්‍යාවක් සේවක අර්ථ සාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්වය දක්වනු ලබයි. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කාර්යය වන්නේද රාජ්‍ය විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් නොමැති පුද්ගලයින් සඳහා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහතික කිරීමයි.

වර්ෂ 2002 දී අංක 24 දරණ දරණ සුබසාධන පනත මේ මොහොත වනතුරුත් බලාත්මක නැහැ. මෙවර අතුරු අයවැයෙන් එම අඩුපාඩු මග හරිමින් මෙම පනත ක්‍රියාත්මක කෙරෙනු ඇති.මෙම පනතේ 7(1) වගන්තිය වැදගත් වගන්තියක්. එම වගන්තියට අනුව සුබ සාධන ප්‍රතිලාභ ලබාදීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීම සඳහා රජය ක්‍රියා කරන අතර සමෘද්ධි, වැඩිහිටි, ආභාධිත, වකුගඩු රෝගීන්, සහ ආධාර අපේක්ෂාකරන පවුල්වල අය හඳුනා ගැනීමක් සිදු වේ.සාමාන්‍යයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර 06ක් යටතේ මෙම ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සිදු වේ.අයදුම්පත් කැඳවීම,එම තොරතුරු සුබදසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම,ගම්මාන වලට ගොස් පවුල් වලින් දත්ත එක්රැස් කිරීම.( 2021 දත්ත ආරක්ෂණ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිසා මෙම දත්ත දේශපාල කටයුතු සඳහා යොදා ගැනීමෙන් රුපියල් මිලියන 05ක වන්දියක් සඳහා යටත් වීමට සිදුවේ) ආදී ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර එය සඳහා මුදල් ආර්ථික සථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් පාලන,කාන්තා හා ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම්,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික කාර්යාලය, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදී ආයතන කටයුතු කරනු ඇත.

මෙම සමාජ ආරක්ෂණ බදු පනත යටතේ සාමාන්‍ය ජනතාව සඳහා වැඩි බරක් යොදන නමුත් සමාජය තුළ ඉහළ ආදායම් ලබන පුද්ගලයින් සඳහා කිසිදු හානියක් සිදු නොවන බවයි පෙනෙන්ට ඇත්තේ.මෙම බදු පනත හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ද සිදුවන බවක් පෙනෙන්ට ඇත.මෙම බදු පනත තුළින් වාර්ෂිකව මිලියන 120ට වැඩි පිරිවැටුමක් ලබන ආනයනකරුවන්/නිෂ්පාදන/සිල්ලර වෙළෙන්දන්ටත් බදු ගෙවීමට සිදුවන බවක් පෙනීයයි. රජය මෙමගින් බලාපොරොත්තුවන සමස්ථ බදු ආදායම රුපියල් බිලියන 140ක මුදල අවසානයේ සාමාන්‍ය ජනතාව මත පැටවීම පමණක් සිදුවේ.

මෙම බදු පනතේ 44 වන වගන්තිය තුළ දක්නට ලැබෙනුයේ වැරදි හා දණ්ඩණයි. එහිදී රහස්‍යභාවය පිළිබඳව දිවුරුමක් ලබා දීම, බදු නොගෙවා සිටීනම් රු.25,000.00 ක් නොඉක්මවන දඩයක් හෝ මාස 06ක බන්ධනාගාරගත කිරීමක් යන දෙයාකාරයකින් එක් ආකාරයක දඩුවම් ලැබිය හැකි අතර එය ඉතාමත් සුළු දඩුවමක් බව පෙනීයන කරුණක්.එමෙන්ම පනතේ 48 වන වගන්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පනත යටතේ යම් වරදක් සිදුකරන ලද්දේ යම් අවස්ථානුගත කරුණු යටතේ ද එම කරුණු සැළකිල්ලට ගෙන කොමසාරිස් ජනරාල්වරයා විසින් විසින් පාර්ශවයන්ගේ කැමැත්ත ඇතිව වරද සඳහා වන දඩුවම උපරිම දඩ මුදලෙන් 1/3ක් නොඉක්මවන මුදලක් සඳහා එම වරද සමථයකට පත් කරනු ලැබිය හැකිය.ඒ අනුව මෙම පනත ඉතාමත් දැඩි බවක් පෙන්වනු ලැබුවද බොහෝමයක් කරුණු ලිහිල් බවක් දැකිය හැකිය. එමෙන්ම පනතේ 51(1) වගන්තිය අනුව කොමසාරිස් ජනරාල්ට වැඩි බලතල ප්‍රමාණයක් ලබා දී ඇති බවක් පෙනී යයි.කෙසේ නමුත් මෙම සමාජ ආරක්ෂණ බදු පනත මගින් සමාජය තුළ පීඩාවට පත්ව සිටින සමාජ ආරක්ෂණයක් නොමැති පුද්ගලයන් පීඩාවට පත්වන ආකාරයක් දැකිය හැකියි.

සමාජ ආරක්ෂණය සඳහා හඳුන්වා දෙනු ලැබූ බදු ප්‍රතිපත්තිය ආර්ථික විද්‍යාත්මකව සළකා බැලීමේ දී මෙම සමාජ ආරක්ෂන බද්දකින් සිදු විය යුත්තේ ආදායම් උපයන පිරිස් වෙතින් මුදල් ගෙන ආදායම් ඉපැයිය නොහැකි පිරිස් වෙත හුවමාරු කිරීම වූවත් මෙම බදු පනත තුළින් එම කාර්යය   ඉටු නොවන බව පෙනී යයි.මෙම පනත තුළින් පනවන් බද්ද දුගී ජනතාව වෙත පනවනු ලැබූ බද්දක් ලෙස හැඳින්විය හැකියි.උදාහරණයක් ලෙස යම් නිෂ්පාදකයෙකුගේ පිරිවැටුම රුපියල් මිලියන 120ට වැඩි නම් බදු ලෙස 2.5%ක් වෙනු ලබන අතර ඔහු විසින් එය තම පිරිවැයට එකතුකොට තොග හො සිල්ලර වෙළෙන්ඳාට අලෙවි කරන අතර තොග හෝ සිල්ලර වෙළෙන්දාගේ පිරිවැටුම රුපියල් මිලියන් 120ට වැඩි නම් එය පාරිභෝගිකයා මත පැටවීමක් සිදු වේග අවසානයේ පාරිභෝගිකයා විසින් 5%ක බදු මුදලක් ගෙවනු ලබයි.මේ තුළින් ඇතිවන උද්ධමන ප්‍රතිවිපාකය 5%-10%ත් අතර අගයක් ගනී.

දෙවන කාරණය වන්නේ පාරිභෝගිකයා අතර දෛනිකව රු.1000.00 පමණ උපයන ඉතා අඩු ආදායමක් උපයන පිරිස් ද මෙම බද්දට යටත්, එමෙන්ම අවුරුදු 70ට වැඩි පුද්ගලයන් ද මෙම බදු මුදලට යටත්. එවැනි විටකදී සමාජ අරක්ෂණයක් ඇතිවේ ද යන්න ගැටළු සහගත තත්වක්.මෙහිදී සිදු වී ඇත්තේ ජාතිය ගොඩනැගීමේ බද්ද නැවත ගෙනඒමයි. මෙමගින් සිදුවන්නේ සමාජ ආරක්ෂණයක් නොව සමාජ ආරක්ෂණය නැති වීමයි. යම් ව්‍යාපාරයක් සඳහා තීරණ ගත යුත්තේ තාර්කික පදනමක් සහිතවය.මෙම පනත අනුව එම ව්‍යාපාරිකයින්ට කරණු දෙකක් තීරණය කළ හැකිය එනම් මාස 6ක් සඳහා රුපියල් ලක්ෂ 05ක ගෙවීමට ඇත්නම් එම මුදල ගෙවීම හෝ පසු කාලීනව රු25,000ක් ගෙවීමයි. ඇතැම් විටෙක එම මුදල රු.25,000ට වඩා අඩු වීම වුවද සිදුවිය හැකියි. එම නිසා මෙවැනි වක්‍ර බදු හැර රජයට ආදායම් ඉපැයීම සඳහා තවත් බොහෝ ක්‍රමවේදයන් පවතී. සමස්ථයක් ලෙස රු.1000- රු.1500 ක් දෛනික ආදායම් උපයන පුද්ගලයෙක් රු.350ක් රජයට බදු ගෙවනු ලබයි.අඩුම ආදායම් උපයන පවුලක් රු.675.00ක් බදු ලෙස රජයට ගෙවනු ලබයි.නමුත් එම පව්ල සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දෙනු ලබන්නේ රු.4500 ක් පමණයි.

රජයක් සතුව බෙහෙවින් විධිමත් ආදායම් ඉපැයීමේ කුමවේදයන් පවතී. එම ක්‍රමවේදයන් පිළිබඳව පෙන්වා දී ඇති අතර ගැටළ්ව ඇත්තේ ඒවා රජය විසින් ක්‍රියාවේ නොයෙදවීමයි.මෙම ගැටළුවෙන් මිදීම සඳහා රජය විසින් සෘජු බදු වෙ. යොමුවිය යුතුයි.එය එක් එක් පුද්ගලයන් විසින් උපයන ආදායම් ප්‍රමාණය අනුව තීරණය විය යුතුයි.එනම් ආදායම් මට්ටම ඉහළ පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වන ලෙද සකස් වියයුතුයි.

මෙරටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලි විසඳුම්ය. උදාහරණ ලෙස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ වගා නොකරන ඉඩම් සොයා බලා යම් සීමාවක් තුළ වගා කිරීමටත් එසේ නොකරන්නේ නම් එම ඉඩම් හිමියන්ට දඩයක් පැනවීමටත් කටයුතු කළ හැකිය. එමගින් ආහාර සුරක්ෂිතතාවයත් රජයට ආදායම් හිමිවීමත් යන කරුණු ද්විත්වයම තහවුරු වේ.

ආර්ථික විද්‍යාත්මකව සැළකීමේ දී මූල්‍ය සහ පිස්කල් ලෙස ප්‍රතිපත්ති වර්ග දෙකක් පවතී.ඒ පිළිබදව තීරණ ගැනීම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව විසින් සිදුකරනු ලබයි.නමුත් නව වසරක ආරම්භයට පෙර පෙර වසර පිළිබඳ සමාලෝචනයක් නිසි ආකාරයෙන් සිදුවනු දැකිය නොහැකියි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මායිම පසුගිය ජූනි මාසය වන විට රු.13,130.00 ක් පමණ අගයක්. එයින් පෙනී යන්නේ එක් පුද්ගලයෙක් සඳහා ජීවත් වීමට එම ප්‍රමාණය අවශ්‍යවන බවයි.ඒ අනුව නීති හැදීමෙන් නොනැවතී එම නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.නිසි විගණනය, නිවැරදි තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම, ක්‍රමවත් සැලසුම් සහගත ක්‍රියාවලියක් තළ කටයුතු කිරීම මගින් බොහෝ ගැටළු විසඳා ගැනීමට හැකිවනු ඇත.  


මෙය 2022 ඔක්තෝබර් මස 01 වන දින One -Text initiative ආයතනය මගින් පවත්වන ලද Zoom සාකච්ඡාව පාදක කරගනිමින් සකස්වූ වාර්තාවකි.මෙම වැඩසටහන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සම්පත් දායකයින් වශයෙන් සහභාගී විය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *