IMG-LOGO
Home බ්ලොග් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමේ වැදගත්කම

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමේ වැදගත්කම

Date : 2022-Oct-21
IMG

22 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ජනාධිපතිවරයා සතු බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාද්‍ය ශක්තිමත් කිරීමයි.එම අරමුණ පෙරදැරි කරගනිමින්  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සඳහා කොන්දේසි සහිතව සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාණය කර තිබේ.නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ආණ්ඩුව පාර්ශවය තුළ අර්බූදයක් නිර්මාණය වී තිබේ.

"අද ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් තියෙනවා. වැදගත් සංශෝධනයක් ගේනකොට අද කීදෙනා ද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ආණ්ඩුවට 150 නැහැ. නමුත් අපි සහයෝගය දෙනවා. ඒ සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ.රට බේර ගන්න සහයෝගය දෙනවා." ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කළේ, නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් මෙරටට අවශ්‍ය බවයි.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය "ද්විත්ව පුරවැසියන් එපා." යනුවෙනි.

නමුත් පොදුජන පෙරමුණ මේ සම්බන්ධව දක්වන අදහස් විමසීමේදී පක්ශයක් වශයෙන් 22 වන සංශෝධනය සඳහා සහය දැක්වීම සිදු කළ නොහැකි බව එම පක්ෂයේ මහලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා පවසා තිබුනා. 

ඒ අනුව පාර්ලිමේන්තුව තුළදී මෙම සංශෝධනය සම්මත වීමට ඇති ඉඩකඩ පිළිබඳව ඇත්තේ වැට උඩ බව පෙනී යන කරුණක්.මෙම සංශෝධනය පිළිබඳ විවාදය පැවත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් මස මුල් සතිය තුළ වූවත් එය ඔක්තෝබර් 20 සහ 21 දින දක්වා කල් යාම තුළින් යම් අර්බුදකාරී තත්වයක් පවතින බවයි නිගමනය කළ හැක්කේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය අවධානය යොමු කරන මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත කිරීමයි.එමගින් අපේක්ෂිත කාර්‍යය ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවයි.

ව්‍යවස්ථාදායක සභාව සඳහා කතානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්වෙති.

එමෙන්ම ජනාධිපතිවරාය පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂනායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ද ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වීමට යෝජිතව තිබේ.

මෙම සංශෝධනයේ තවත් එක් අරමුණක් වනුයේ අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමයි.

ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.

මැතිවරණ කොමිෂන් සභාව,රාජ්‍යසේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිෂන් සභාව,මානව හිමිකම් කොමිෂන් සභාව,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනු ලබන්නේ කොන්දේසි 3 ක් මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම කොන්දේසි වන්නේ,

•ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් තෝරා ගැනීම.

•ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම

• පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කිරීම පිළිබඳ ප්‍රතිපාදන කිසිසේත්ම වෙනස් විය නොහැකි බවයි.එසේ වෙනස් කිරීමකට ලක් කරන්නේ නම් මෙම සංශෝධනය සඳහා සහය ලබා නොදෙන බවයි විපක්ෂනායකරයා ප්‍රකාශ කළේ.

ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් තවදුරටත් ප්‍රකාශ කළේ, "ආණ්ඩුව තුළ මේ සම්බන්ධයෙන් පරස්පරයන් තියෙනවා නම් අපිට අමාරුයි මේකට සහයෝගය දෙන්න."

22 වැනි සංශෝධනයේ මූලික අරමුණු සම්බන්ධව අවධානය යොමු කිරීමේදී,

•විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම.

•විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානාකවරයා අතුලු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම.

•අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම

•ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.

•මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.

•ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරීම.

•යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීම.

•දුෂණයට එරෙහිව පනවන නීති දැඩි කිරීම. - දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.

•අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය

•අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.

•ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.

•ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.

•ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් පිරිස් ප්‍රකාශ කරන්නේ 22 වැනි සංශෝධනය ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට බවයි.පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේද මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම බවයි.එම මතය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ද තහවුරු කරන ආකාරයක් දැකිය හැකියි.

නමුත්, සමස්ථයක් වශයෙන් ගත්කළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම තුළින් විධායකය වටා ඒකරාශී වී ඇති අසීමිත බලතල තුළින් සිදුවන අත්තනෝමතික ක්‍රියා පාලනය වීමක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කළ විධායකයේ බලතල 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවතියාටත් වඩා ඉහළ දැමීමක් සිදු වූ අතර එයින් සිදු වූ අනිටු පලවිපාක පිළිබඳව මෑතකාලීන උදාහරණ බොහෝමයක් දැකිය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් බැහැරට යන විධායක බලතල අසීමිතව වැඩි වීම, ද්විත්ව පුරවැසියන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා විධායකයේ අතපෙවීම් ඉහළ යාම වැනි ගැටළු සඳහා මෙම සංසංශෝධනය මගින් යම් පිළිතුරක් සපයා ඇති බැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වීම අතිශය වැදගත් වනු ඇත.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *