IMG-LOGO
Home බ්ලොග් රාජ්‍ය සේවය යළි පිබිදවීමට...

රාජ්‍ය සේවය යළි පිබිදවීමට...

Date : 2022-Oct-10
IMG

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් නැවතත් කසු කුසුවකි.රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් විසින් සිදුකරනු ලබන නාස්තිය සහ වෙනත් වංචනික ක්‍රියා නිසා රට ගොඩගන්න බැරි බවත් එහෙන් මෙහෙන් අසන්නට ලැබෙනවා. රාජ්‍ය සේවය සම්බන්ධව විවධ අවස්ථාවන් වලදී විධිමත් කතිකාවක් ගොඩ නැංවීම සඳහා One - Text Initiative ආයතනය උත්සහ දරණු ලැබූ අතර  ඒ පිළිබඳව වැඩසටහන් පවා සංවිධානය කර දැනුවත් කරනු ලැබුවා.ඒ රාජ්‍ය සේවය වඩා පලදායී ආකාරයෙන් රටේ උන්නතිය සඳහා යොදා ගැනීම උදෙසා කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික හා දේශපාලනික අර්බූදයන්ට පිළියම් සෙවීම පහසු කාර්යයක් වේවි යන බලාපොරොත්තු පෙරදැරිවයි.


 ශ්‍රී ලංකාව තුළ මේ වන විට රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් රාජකාරී කටයුතු සිදු කරනු ලබනු අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද සමග එම ප්‍රමාණය ලක්ෂ 18ක් පමණ වෙනවා. මිලියන 22ක් පමණ වන ජනගහනයට සාපේක්ෂව මෙරට රාජ්‍ය සේවය සම්බන්ධව ගැටළුවක් පැවතීමත් ඇතැම් රාජ්‍ය ආයතන තුළ සැළකිය යුතු අන්දමේ කාර්යක්ෂමතාවයක් දක්නට නොලැබීමත් යන හේතු නිසා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ එතරම් යහපත් ආකල්පයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම පසුගිය දිනෙක කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් හෝ  රජය සතුව නොමැති බවයි. තත්වය එසේ තිබියදීත් දියුණු රටවලට සාපේක්ෂවත් රටේ ජනගහනයට සාපේක්ෂවත් ඉතා වැඩි ප්‍රමාණයක හමුදා සංචිතයක් පවත්වාගෙන යාමත් මෙරට රාජ්‍ය සේවය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් ප්‍රමාණය මෙතරම් ඉහළ අගයක් ගැනීම සඳහා ප්‍රධානතම හේතුව ලෙස දේශපාලන පොරොන්දු සහ සංග්‍රහයන් පෙන්වා දිය හැකියි. කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කළ යුතුව පවතින බව අනිවාර්යයෙන් පිළිගත යුතුව පවතිනවා.


පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය කතාවේදී ගෙන ආ යෝජනාවක් අනුව අවුරුදු 60ට වැඩි සෑම රාජ්‍ය සේවකයෙකුම 2022 දෙසැම්බර් මස අවසානය වන විට විශ්‍රාම යායුතුයි. ඒ අනුව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගණන 25,000ක් පමණ වෙනවා. එමෙන්ම 2023 වසරට අදාළව රාජ්‍ය සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකිරීමටත් තීරණය කර තිබෙනවා. නමුත් විවිධ අංශයන් හි අත්දැකීම් බහුල විශාල පිරිසක් එකවර රාජ්‍ය අංශයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ඇතිවන ගැටළු වළක්වා ගැනීම සඳහා  වෘත්තිකයන්‌ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන්‌ සමන්විත කමිටුවක් පත්‌ කිරීමට තිරණය කර ඇත. බඳවාගත යුතු ප්‍රමාණය හා වෘත්තිකයන්ගේ සුදුසුකම්‌ අදාළ කමිටුව විසින්‌ තිරණය කරනු ලැබේ. දේශපාලකයන්‌ මේ බඳවා ගැනිම්වලින්‌ ඈත් කර තැබිය තැකි නම්‌ එය සැලකිය යුතු ජයග්‍රහණයකි.මන්ද යත් පෙර ප්‍රකාශකළ පරිදි රාජ්‍ය සේවය සඳහා විශාල අතිරික්තයක් ගොඩ නැගීම සඳහා දේශපාලන බලපෑම් හේතු වී ඇත.මෙම අතිරික්තය ගොඩ නැගී තිබෙන්නේද ආදායම් උපයන අංශයන් තුළය. වරාය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, දුම්රිය, රේගුව වැනි ආයතන මෙහිදී විශාල බලපෑමකට ලක්ව ඇති බව දැකිය හැකිය.


නමුත්, එක් එක් රාජ්‍ය නිළධාරීන් තමන්ට නියමිත කාර්යයන් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ඉටු කරන්නේ නම් රාජ්‍ය සේවය මෙතරම් ගැරහීමට ලක් නොවනු ඇත. රාජ්‍ය සේවය සතුව පවතින දක්ෂයන් සඳහා අවස්ථාව ලබා දීම සහ ඔවුන්ට දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස මෙන්ම අයිතියත් ලබා දීම අනිවාර්යයෙන් විය යුත්තකි. එමෙන්ම තවත් අවධානයට ලක්වියයුතු කරණක් වන්නේ රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ජ්‍යේෂ්ඨත්වයට හානියක් නොවන පරිදි වෙනත් රැකියාවක නියැලීම සඳහා වසර 5ක කාලයක් සඳහා නිවාඩු ලබා දීමට කටතු කිරීමයි. මේ සියල්ල තුළින් රාජ්‍ය සේවය නිසි පරිමාව තෙක් කැඳවාගෙන ඒම අපේක්ෂාව බව පෙනී යයි. විශේෂයෙන්ම රජය විසින් IMF සහය ලබා ගැනීම සඳහා කටයුතු කරන මේ මොහොත තුළ ඔවුන්ගේ ප්‍රමුඛතම යෝජනාවක් ලෙස රාජ්‍ය සේවය කප්පාදු කිරීම පෙරට එනු ඇත.එහිදී අධික පරිමාවකින් යුතු ත්‍රිවිධ හමුදාව අඩු කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධවද රජයේ අවධානය යොමු වීම වැදගත්වනු වනු ඇත.


අවසාන වශයෙන් මෙරට සෑම පුරවැසියෙකුටම වැදගත්වනුයේ වෙනුවෙන් කටයුතු කරනු ලබන ගෞරවනීය රාජ්‍ය සේවයක පැවැත්මයි. ඒ සඳහා කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව නිරන්තරව තහවුරු විය යුතුය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *