IMG-LOGO
Home බ්ලොග් රෝද තුනේ තෙල් නැව් ගැන ආස හිතෙන කතා...

රෝද තුනේ තෙල් නැව් ගැන ආස හිතෙන කතා...

Date : 2022-Sep-06
IMG
දුප්පත් පොහොසත් භේදයකින් තොරව ළඟ හෝ දුර ගමන් සඳහා බොහෝ දෙනාගේ තේරීම තමයි ත්‍රී රෝද රථය කියන්නෙ.ශ්‍රී ලංකාවේ මුල් කාලීනව කුලී කාර් රථ භාවිතා වූවත් පසු කාලීනව ඉන්දියාවේ නිෂ්පාදිත ත්‍රී රෝද රථ මාර්ගයට පැමිණීමත් සමග කුලී කාර් වලට වඩා ජනතාවට ඉක්මනින් සමීප වීමට ත්‍රී රෝද රථ සමත් වෙනවා.ආරක්ෂාකාරී බව අතින් අවම මට්ටමක පැවතියත් අවම මිල අවම සහ නඩත්තු වියදම නිසා මේ වන විට ලංකාව පුරා ත්‍රී රෝද රථ ලක්ෂ 10කට වඩා පවතින බව සංඛ්‍යාලේඛන තුළ සඳහන්.එයිනුත් ලක්ෂ 08ක් පමණ මගී ප්‍රවාහනය සඳහා දායක වෙමින් පවුල් ලක්ෂ 08ක දෛනික ආදායම සරි කරන බවත් සඳහන්.ඒ අනුව විශාල බලපෑම් කණ්ඩායමක් ලෙස සමාජය තුළ බලය හිමිකර ගන්න ත්‍රී රෝද රථ හිමියන්ට හැකිවෙලා තියෙනවා. 

බොහෝ විට පාසල් අධ්‍යාපන හමාර කරන සිසුන් ඉදිරි අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ත්‍රී රෝදරථයේ රියැදුරු ආසනයට ගොඩ වෙන්නෙ රට තුළ තවත් ගැටළු කිහිපයක් නිර්මාණය කරමින්.එයින් එක් ගැටළුවක් වන්නෙ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත අහිමි වීමයි. තවත් ගැටළු කිහිපයක් මේ නිසා ඇති වෙනවා.ඒ අතරට මාර්ග තදබදය,ඇතැම් අවනීතික ක්‍රියා සිදුකරන කල්ලි කණ්ඩායම් බිහිවීම,අධ්‍යාපනයට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව අවම වීම,මිල කළ නොහැකි මිනිස් පැය ගණනක් නාස්ති වීම ආදී ලෙස පෙළ ගස්වන්න පුළුවන්.මේ නිසා ත්‍රී රෝද රථ ක්ෂේත්‍ර තුළ යහපත් වගේම අයහපත් ලක්ෂණත් අපිට දැක ගැනීමෙව් හැකියාවක් පවතිනවා.විශේෂයෙන්ම ඕනෑම පුද්ගලයෙකු අපහසුතාවකට පත්වූ විගස උදව්වට පැමිණෙන ත්‍රී රෝද රථ රියැදුරන් දුලබ නැහැ.ඔවුන්ට අනිවාර්යයෙන් තුති මල් මිටක් හිමිවිය යුතුමයි.

මෙම ලිපිය තුළින් මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රී රෝද රථ නිසා ඇතිවන යහපත් හෝ අයහපත් බලපෑම් නෙවෙයි.පවතින ඉන්ධන අර්බූදය නිසා ත්‍රී රෝද රථ හිමියන් අත්කරගත් ඉරණම පිළිබඳවයි.මීට මාස කිහිපයකට පෙර ලංකාවෙ ඉන්ධන පෝලිම් සංස්කෘතියක් දක්නට ලැබුණේ නැහැ. පාලකයින්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ පාලිතයින්ගේ නොසැලකිලිමත් තෝරාගැනීම නිසා අවාසනාවට ශ්‍රී ලංකාවේ පෝලිමක් නැති සේවා සපයන තැනක් සොයා ගැනීමට නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා.ත්‍රී රෝද රථ සේවාව පෝලිම් රහිත යුගයේ දී සහ පෝලිම් සහිත යුගයේ දී දැඩි පෙරළියට ලක් වූ බව බොහෝ දෙනාගේ මතය වුණා.එහි යම් සත්‍යතාවයක් තිබුණත් පවතින තත්වය සමග සෑම පුද්ගලයෙකුටම පාහේ පවතින ආර්ථික අපහසුතා ඔවුන්ටත් පොදු බව පළමුව සිහියේ තබා ගත යුතුයි.සාමාන්‍යයෙන් මේ වනවිට මෙරට ජීවත් වීම සඳහා දෛනික ආදායම රුපියල් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඉපැයිය යුතුව පවතිනවා.එම තත්වයේ ආදායමක් උපයා ගැනීම බහුතරයකට සිහිනයක් පමණක් වනවා සේම ත්‍රීරෝද රථ රියැදුරන්ටත් ඒ තත්වය පොදුයි.පවතින ඉන්ධන අර්බූදය නිසා ත්‍රී රෝද රථ සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයත් සීමා කොට ඇති වටපිටාවක ඔවුන් විසින් ලැබෙන අවම ඉන්ධන ප්‍රමාණය භාවිතයෙන් ඉහත ආදායම උපයාගත යුතුයි.එවැනි තත්වයකදී ත්‍රී රෝද රථ රියැදුරන් අවම වශයෙන් කිලෝමීටර් 30ක පමණ දුරක් කිලෝමීටරයකට ආසන්න වශයෙන් රුපියල් 170.00 ක පමණ අය කිරීමක් සහිතව ධාවන කළ යුතු වෙනවා.මෙය මේ මොහොත තුළ පවතින සාමාන්‍ය තත්වයයි.මෙවැනි අවස්ථාවකදී ඔවුන්ගේ මිල අය කිරීම ඉහළ අගයක් ගැනීම සැලකිය යුතු සහ සිතා බැලිය යුතු තත්වයක් වූවත් එය සාමාන්‍ය වැටුපක් ගන්නා තැනැත්තෙකුට දරාගත නොහැක්කක් නිසා සාමාන්‍ය මගීන් ත්‍රී රෝද රථයෙන් දුරස් වීම දැකිය හැකියි.මෙහිදී සලකා බැලිය යුතු කරුණ වන්නෙ අර්බූදය විසින් ත්‍රී රෝද රථ රියැදුරන් මෙන්ම මගී ජනතාවද දැඩි පීඩාවට පත්කර ඇති බවයි.එම නිසා අධික මිළ සම්බන්ධව ත්‍රී රෝද රථ රියැදුරන්ගේ කරමතම සියළු දොස් පවරා පලක් නැහැ.

මෙහිදී අවධානය යොමු කළ යුතු අනෙක් කාරණාව වන්නේ දුෂ්කරතා මධ්‍යයේ සහ අධික මිළ ගණන් මධ්‍යයේ වුවත් ත්‍රී රෝද රථයට ගොඩ වීම සඳහා සූදානම් මගීන් පිළි ගැනීම සඳහා ත්‍රී රෝද රථ රියැදුරන් සූදානම් නොවීමයි.ඔවුන් විසින් අහිමිවන ආදායම උපයා ගැනීම සඳහා ඔවුන්ට වඩා පහසු නමුත් අනෙකුත් සියළු දෙනාම වඩාත් අපහසුවට පත් කරනු ලබන උපායක් සොයා ගනු ලැබුවා.එම උපාය සම්බන්ධව සියළුම ත්‍රී රෝද රථ හිමියන්ට චෝදනා කළ නොහැකි වූවත් වෙනදාට රථගාල තුළ ධාවනයට සූදානම්ව සිටින ත්‍රී රෝද රථ බොහෝමයක් මෑත කාලය තුළ අදාළ ස්ථානයේ නොසිටීමත්,සේවා නොසැපයීමත් මෙන්ම කිසිදු සේවයක් නොසපයන තත්වයක් වූවද ඉන්ධන පිරවුම්හල් අසල සිටීමත් යන කරුණු කරණා හේතුවෙන් බහුතරයක් ත්‍රී රෝද රථ රියැදුරන්ට අදාල චෝදනාව එල්ලවනු දැකිය හැකියි.ඉන්ධන පිරවුම්හල් අසල සිටිමින් පෙට්‍රල් ලබාගෙන වැඩි මිලට අලෙවි කිරීම තුළින් දෛනික ආදායම සොයා ගැනීමට ඔවුන් කටයුතු කිරීම මගින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මැර කණ්ඩායම් සහ ඉන්ධන ජාවාරම අධිකව ක්‍රියාත්මක වීමට හේතුවක් වුණා.මේ හේතුවෙන් ඔවුන්ට මෙතුවක් කල් ජනතාව තුළ තිබූ හිතෛෂී භාවය ඉතාමත් ඉක්මනින් අහිමි කර ගැනීමටත් කෙටි දුරක් යාමට ත්‍රී රෝද රථයකට ගොඩ වූ පුද්ගලයන් පවා එම දුර පයින් යාමට පුරුදු වීම නිසා එම පාරිභෝගිකයින් අහිමි කරගැනීමටත් ඔවුන්ට සිදුවෙලා තියෙනවා. QR කේතය හඳුන්වා දිම මගින් අදාල අක්‍රමිකතා සිදු කිරීම අපහසු වීම, ත්‍රී රෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුමහල් වෙන් කිරීම මෙන්ම සතියකට ඉන්ධන ලීටර 5 ක ප්‍රමාණයක් පමණක් ලබාදීමට රජය විසින් තීරණය කර ඇති තත්වයක දි ළඟ දුරකට යාම සඳහා ත්‍රී රෝද රථයේ සේවය ලබා ගන්නා පුද්ගලයින් අහිමි කර ගැනීම තුළින් ඔවුන්ට දැඩි අලාභයක් අත් විඳීමට සිදුවනු ඇති.

ඇතැම් ත්‍රී රෝද රථ රියැදුරන් විසින් කලදුටු කළ වල ඉහ ගැනීමට යාමෙන් සාධාරණව කටයුතු කරනු ලැබූ පුද්ගලයින් හටද අත්වී ඇත්තේ නරක ඉරණමක්.මෙම තත්වය සඳහා රජය විසින් වහාම මැදිහත් වී ඔවුන්ට සහනයක් ලබාදිය යුතුයි.අවම වශයෙන් ත්‍රී රෝද රථ සඳහා ලබා ම්දෙනු ලබන ඉන්ධන සීමාව වැඩි කිරීම හෝ කළ යුතුයි.එසේ නොවීමෙන් ත්‍රී රෝද රථ රියැදුරන් වෙනත් විශමාචාර සඳහා යොමුවීමට වැඩි ඉඩක් පවතිනවා.එමගින් තවදුරටත් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවමයි.රජය විසින් සිදු කරනු ලබන අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩා විඳිය යුතු නැති බව පාලකයින්ද ඉතාමත් ඉක්මනින් අවබෝධකර නොගැනීමෙන් අර්බූදයේ විපාකයන් ඉතාමත් ඉක්මනින් ඔවුන් සොයා පැමිණේවි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *