IMG-LOGO
Home බ්ලොග් අරගලයේ දිශානතිය කොයිබටද ?

අරගලයේ දිශානතිය කොයිබටද ?

Date : 2022-Jul-12
IMG
අරගලය නිසා ශ්‍රී ලංකාවේ අරාබි වසන්තයක් ඇතිවෙයි වගේ කියමන් ප්‍රචාරය වූවත් ජනතා නැගිටීම්වලින් සංවර්ධනය ලඟා කරගත් රාජ්‍යයක් ලෙස ප්‍රංශය හැඳින්විය හැකියි. ප්‍රංශයේ 18 වන සියවසේ 16 වන ලුවී රජුගේ පාලනයට එරෙහිව ඇතිවූ ජනතා නැගිටීමෙන් පසුව ප්‍රංශය විසින් සංවර්ධනය ළඟා කරගත්තෙ එක පාරම නෙවෙයි, ටිකෙන් ටික."පාන් නැත්නම් බ්‍රියෝෂ් කාපල්ලා" කියලා Marie Antoinette බිසව කිව්වෙ ජන අරගලය ඇති වීමට පෙර.ප්‍රංශයේ ජනතා නැගිටීමෙන් පසුව එරට තුළ නොයෙකුත් ව්‍යාකූලතා ඇති වූවත් උගත් පාඩම් තුළින් ප්‍රංශයට ගැලපෙන පාලන ක්‍රමයක් සකස්කරගන්න කටයුතු කරනවා.ඉන් පසුව ඔවුන් ක්‍රමිකව තමන්ගේ රට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යනවා.

ඒ වගේම පසුගිය ජූලි 09 වන දින ශ්‍රී ලාංකික ජනතාවගේ එතෙක් පැවති දැවැන්ත පීඩනයක් පුපුරා ගිය දිනයක් ලෙස ඉතිහාසයට එකතු වේවි.මෙතෙක් පැවති පාලනයට එරෙහිව විශාල ජන ගඟක් කොළඹ දෙසට ඇදුනේ දෙස් විදෙස් ජනමාධ්‍යයන් හි ප්‍රධාන පුවත ශ්‍රී ලංකාව බවට පත් කරමින්. එදින පැමිණි ජනතාවගේ මූලික බලාපොරොත්තුව වන ජනාධිපතිවරයා ගෙදර යැවීම තව දුරටත් පමා වන්නේ කථානායකවරයා පැවසූ පරිදි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ජූලි මස 13 වනදා සිදු කිරීමට අදහස් කරගෙන ඇතැයි දැන්වූ බව ප්‍රකාශ කිරීමත් සමගයි.ඒ අනුව අපට උපකල්පනය කළ හැක්කේ ජනාධිපතිවරයාට තවමත් සිය ධූරය අත් හැරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

උතුරු ඉතාලියේ ප්ලෝරන්ස් නගරයේ 1469 වර්ෂයේ දී උපත ලබන නිකොලොයි ඩි බර්නාඩෝ මැකියාවෙලීව නූතන දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා. ඔහු විසින් 1513 වර්ෂයේ දී රචනා කරන ලද " කුමාරයා" (The Prince) ග්‍රන්ථය එදා මෙදාතුර පාලකයෙකු විසින් කියවිය යුතුම ග්‍රන්ථයක් ලෙස බොහෝ දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරන දෙයක්.එයට හේතුව වන්නේ දේශපාලන විද්‍යාවේ එක් සංකල්පයක් වන බල වාදය හෙවත් දේශපාලනය යනු බලය ලබා ගැනීම, බලය පවත්වා ගැනීම සහ බලය පැතිරවීම යන ක්‍රම වේදයන් භාවිතා කිරීම බව පෙන්වා දීම නිසයි.බොහෝවිට ජාතිය,ආගම,සදාචාරය,සංස්කෘතිය වැනි අයිසින් වලින් ආවරණය කර ඇති දේශපාලනයේ දුගඳ හමන බොහෝ දෑ නිරුවත් කොට තිබීම මෙහි දැකිය හැකි විශේෂ දෙයක්.ඔහුට අනුව පාලකයා සිංහයෙකු මෙන් එඩිතරද නරියෙකු මෙන් කපටියෙකු ද වියයුතුයි. මේ මොහොත තුළ පාලකයින්ගේ සිංහ ස්වභාවය දැකිය නොහැකි වූවත් නරියෙකු සතු කපටි ස්වභාවය දැකිය හැකි වේවි.

" තම සුබ සිද්ධිය ගැන සිතන මිනිස්සු පාලකයින් වෙනස් කරති" යනුවෙන් ප්‍රකාශ කරන ඔහු ජනතාව එක් පාලකයෙකු ඉවත් කර තවත් පාලකයෙකු පත් කරගැනීමට හේතුත් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය Lord of the Ring චිත්‍රපට මාලාවේ බලමුදුව හා සමානයැයි සැලකුව හොත් ජනාධිපති ධූරය නමැති බලමුදුව හේතුවෙන් එය දරන්නාට තම බලය දරාගත නොහැකිව තමා හා තමාගේ සහයකයින්ද සමග දේශපාලනික වශයෙන් විනාශ වීමට බොහෝ ජනාධිපතිවරුන්ට සිදු වූ බව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී පෙනීයන කරුණක්.බලයට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙක් බලමුදුවට ලෝභීව ගිණි කන්දට පනිනා ගොලම් සේම එහි බලයට ඇති ආශාව නිසා තම අවසානය සටහන් කරගන්නා බවක් පෙනී යයි.එම හේතුව නිසාම ජනාධිපති ධූරය නමැති බලමුදුව විනාශ කිරීමට විශේෂ උපාය මාර්ග අනුගමනය කළ යුතු බවට සැකයක් නැහැ.එම බලතලයන්හි රස වැටීම නිසාවෙන් පාලකයින් තමන්ගේ තනතුරු අත් හැරීමට කැමැත්තක් නොදක්වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

ජනතාවට මෙම කාර්‍යය ඉටු කිරීමට යාමේදී විවිධ බාධක ඇති වීම සාමාන්‍ය කරුණක්. විශේෂයෙන් මැකියවෙලී ගේ කුමාරයා ග්‍රන්ථය අනුව පාලකයා නරියෙකු මෙන් කපටි බව නිරන්තරව සිහි තබා ගත යුතුයි.ඔහු විසින් තමන්ගේ බලය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට පසුබට නොවේවි.එම නිසා සෑම අවස්ථාවකදීම තමන් මීළඟට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලැස්මක් හා දැක්මක් ඔවුන් සතුව තිබිය යුතුයි.නමුත් විවිධ අවස්ථාවන්හි දි ජනාධිපති ඉවත් කිරීමෙන් පසුව මීළඟට සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යනුවෙන් ප්‍රශ්ණ කරන විට නිරුත්තර වීම ජනතාව තුලින් දැකිය හැකිවීම ඇතැම් පාර්ශවයන්ට ගැටලුවක් වූ බව දැකිය හැකියි.ඒ අනුව ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියා මාර්ගයන් පිළිබඳව යම් අවබෝධයක් තිබීම වැදගත්.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ඉවත් වූ අවස්ථාවක අනුගමනය කළ යුතු ප්‍රතිපාදන පිලිබඳව දක්වා තිබෙනවා. ඒ අනුව,ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වූවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතරින් එක් මන්ත්‍රී වරයෙකු ඉතිරි ධූරකාලය සඳහා ජනාධිපති ලෙස තෝරා පත්කරගත යුතු බවත්, 40 (ආ) ව්‍යවස්ථාව අනුව එම තෝරා පත්කරගැනීම ධූරය හිස් වීමෙන් මාසයකට අඩු කාලයක් තුල පාර්ලිමේන්තුවේ රහස් චන්දයක් මගින් විය යුතු බවත් දක්වා තිබෙනවා.එසේම 40 (ඇ) ව්‍යවස්ථාව මගින් දක්වා ඇත්තේ ජනාධිපතිධූරය හිස් වීමත් නව ජනාධිපති ධූරය බාරගැනීමත් අතර කාලය තුළදී වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයාද අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුද තෝරාපත්කරගත යුතු වෙනවා.එසේ වූවත් එම අවස්ථාව වන විටදී අග්‍රාමාත්‍ය ධූරය හිස්ව පැවතියේ නම් කථානායකවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලීම සිදු කළයුතුයි.මීට පෙර ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාවලිය සඳහා පූර්වාදර්ශයක් ලෙස පවතින්නෙ හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත් වූ අවස්ථාවයි.එසේම තමාගේ ඉවත් වීම අගමැතිවරයාට නොව කථානායකවරයාට දැනුම් දියයුතු බවයි ව්‍යවස්ථාව තුළ සඳහන් වන්නේ.
මේ වනවිට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යන දෙදෙනාම ඉල්ලා අස්වන ලෙස පක්ෂනායක රැස්වීමේදී තීරණකල බව කතානායකවරයා දැනුම් දී තිබුණද තවමත් එය ක්‍රියාවට නැංවී නොමැති පසු බිමක සහ ජනතාව විසින් අරගලය අවසන් කර නොමැති පසුබිමක ඉදිරිය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත ස්වභාවයක්.කෙසේ නමුත් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයක ගිලී පවතින හෙයින් එම තත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා.එවැනි මොහොතක ස්ථාවර රාජ්‍ය පාලනයක් පැවතීම අත්‍යාවශ්‍ය කරුණක් වූවත් එම අත්‍යාවශ්‍ය සාධකය දක්නට නොමැති නිසා ස්ථාවර පාලනයක් ඉතාමත් ඉක්මනින් ළඟා කරගතයුතුව පවතිනවා. ඒ සඳහා රාජ්‍ය නායකයින් දෙපල ඉවත් වූ විගස සියලුම පක්ෂ එකතුව සකස්කරගනු ලබන සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබා දීම හෝ ඉක්මනින් චන්දයක් පැවැත්වීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් සිදු කල යුතුයි.නමුත්, ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අහේනිය නිසා චන්දයක් පැවැත්වීමට අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය සතුව පවතීද යන්න පිළිබඳව ඇත්තේ සැකයක්. එම නිසා කැමැතෙන් හෝ අකමැත්තෙන් පවතින පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් ලබාගැනීමෙන් අනතුරුව දෙවන තෝරාගැනීම වෙත යාමට සිදුවන බවයි පෙනෙන්නට තිබෙන්නෙ.එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයත්,ඉවසීම මෙන්ම විමසිල්ලත් අවශ්‍ය වේවි.


Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *