IMG-LOGO
Home ලිපිය ළිංමැඬියාවට එරෙහිව දශක හතක අරගලයක් කළ එඞ්වින් ආරියදාස

ළිංමැඬියාවට එරෙහිව දශක හතක අරගලයක් කළ එඞ්වින් ආරියදාස

Date : 2021-Jan-31
IMG

අපේ ආසන්නම තාරකාව වන සූර්යයා වටා එක කක්ෂයක් හෙවත් වටයක් සම්පූර්ණ කිරීම අවුරුද්දක් ලෙස සැලකෙනවා. කක්ෂ වාර 98ක් හමාර කොට 99 වතාවටත් හිරු වටා යමින් සිටියදී තමයි එඞ්වින් ආරියදාස සූරීන් නොබෝදා අප අතරින් නික්ම ගියේ.


අපේ ළාබාල කාලයේ හිරු, සඳු සහ තරු ගැන මෙන්ම වෙනත් බොහෝ දේ ගැනත් ළයාන්විත සරල සිංහලෙන් අපට නව දැනුම බෙදා දුන් ආරියදාසයන් ගැන ගුණ සමරු රැසක් මෑත දිනවල අසන්නට ලැබුණා.


එඞ්වින් ආරියදාස (1922-2021) මෙරට ජීවමානව සිටි වයෝවෘද්ධම මාධ්‍යවේදියායි. එසේම බොහෝ ඇසූ පිරූ තැන් තිබූ ඔහු ඥානවෘද්ධ බවින් ද ඉහළින් සිටියා.


දියමන්තියක පැතිකඩ නොයෙක් දෙනා නන් අයුරින් දකින්නා සේ, ආරියදාසයන්ගේ මෙහෙවර විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. අද මගේ උත්සාහය ආරියදාස ජනමාධ්‍ය මෙහෙවර ගැන කථා කිරීමයි.


ඔහු දශක 7ක් පමණ තිස්සේ මුද්‍රිත සහ විද්යුත් ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රවල හපන්කම් රැසක් කළා. අපේ රටේ සරසවි මට්ටමින් ජනසන්නිවේදන අධ්‍යාපනයේ පුරෝගාමියෙක්. ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයේ හා පරිසර සන්නිවේදනයේ නව මං එළිපෙහෙළි කළ අයෙක්. අතීත උරුමය හා නූතනත්වය මනා ලෙස තුළනය කර ගත් විද්වතෙක්. තම ආගමට සේවය කරන අතර අන් සියලූ ආගම් හා සංස්කෘතීන් සමගද සුහදව ගනුදෙනු කළ, කිසිදා අන්තවාදී නොවූ චරිතයක්.


1960 දශකයේ ඉපිද 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ අයට ඔහු වඩාත්ම හොඳින් මතකයේ රැුඳෙන්නේ විශ්ව දැනුම සාගරයට අප කැඳවා ගෙන ගිය, අපේ මනස නිතිපතා කුල්මත් කළ දැනුම ගවේෂකයා හැටියටයි.


මුල් යුගයේ පත්තර හා රේඩියෝ හරහා ඔහු කළ මේ දැනුම ගවේෂණය, පසු කලෙක දක්ෂ ලෙස ටෙලිවිෂන් මාධ්‍යයෙන් කිරීමටද සමත් වුණා. මෙසේ බහුවිධ මාධ්‍යයන්ගෙන් බහුවිධ විෂයයන් ගැන හරබරව හා සිත් ගන්නා සුලූ අයුරින් සන්නිවේදනය කළ හැකි අය එදත් අදත් දුර්ලභයි.


ලේක්හවුසියේ දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට අමතරව මිහිර, නවයුගය, සරසවිය වැනි සතිපතා පත්තරවලටත් ඒ ආයතනයේම ෘ්සකහ භැඅි සහ ධඉිැරඩැර ඉංග‍්‍රීසි පත්තරවලටත් ඔහු විශේෂාංග ලිපි දහස් ගණනක් රචනා කළා.


ඒ හැම එකකම ඔහුට ආවේණික බස හැසිරවීම තිබුණා. එය ලිහිල්වූත්, මිත‍්‍රශීලීවූත් ශෛලියක්. මහා දැනුම් ගබඩාවකට අප රැගෙන ගොස්, එහි අතරමං වන්නට නොදී, තෝරා ගත් කාලීනව වැදගත් තොරතුරු සහ විශ්ලේෂණ තේරෙන භාෂාවෙන් කියා දීම ඔහුගේ සුවිශේෂී හැකියාව වුණා.


ඔහුගේ නිතිපතා පාඨකයෙක් ලෙස කලක් ගතවීමේදී ආරූඪ නම්වලින් ඔහු ලිපි ලියන විටත් රචකයා කවුදැයි මට නිවැරදිව අනුමාන කළ හැකි වුණා. ‘ජනක’ ඔහුගේ ප‍්‍රියතම ආරූඪ නමක්.


දැනුම ගවේෂණය සමග ඔහු සිංහල භාෂාව පෝෂණය කිරීමත් කළා. විද්‍යාව, තාක්ෂණය සහ පරිසරය පිළිබඳව අලූත්ම තොරතුරු සිංහලෙන් කියද්දී මෑතදී භාවිතයට පැමිණි ඉංගී‍්‍රසි වචන සඳහා ඔහු නව සිංහල යෙදුම් හදා ගත්තා.


සහෝදර මාධ්‍යවේදී සෝමවීර සේනානායක වරෙක ආවර්ජනය කළ හැටියට: ”සඳ ගමන වැනි අලූත් සිදුවීම් ඉංග‍්‍රීසි පත‍්‍ර මගින් පළකිරීම එතරම් අසීරු නැත්තේ අලූත් වචන හා යෙදුම් රොයිටර් (පුවත් සේවය) විසින්ද ඉංග‍්‍රීසි සඟරා හා පුවත්පත් විසින්ද ලබා දුන් නිසාය. එහෙත් අලූත් යෙදුම් හා වචන සිංහලට නැගීම ලේසි පහසු නැත. අලූත් වචන නිපදවිය යුතුය. මෙය ඉතා ශීඝ‍්‍රයෙන් කළයුත්තේ පුවත්පත පමා කළ නොහැකි බැවිනි. එම වේගවත් කාර්යය ඉටු කළ එක් මාධ්‍යවේදියෙක් වූයේ එඞ්වින් ආරියදාසයි.”


යම් විදෙස් මූලාශ‍්‍රයකින් තොරතුරු ටිකක් අහුලා ගෙන, එය අවිචාරශීලීව සහ ගොරහැඬි ලෙසින් සිංහලට පෙරළන මාධ්‍ය ලේඛකයෝ බහුලව සිටින අපේ රටේ, ආරියදාසයන් කළ හපන්කම කුමක්ද?


මීට පෙර අවස්ථාවක (2019 අගෝස්තු 18 වනදා ලිපියෙන් මා සඳහන් කළ පරිදි, ”ඔහුගේ විශිෂ්ටත්වය වන්නේ ඔහු කළ කිසිවක් හුදු පරිවර්තන නොවීමයි. බහුවිධ මූලාශ‍්‍රයන්ගෙන් නව දැනුම උකහා ගෙන, සිංහල පාඨකයන්ට ගැළපෙන පරිද්දෙන් සහ අමතර විග‍්‍රහයන් එකතු කරමින් ඔහු ලිපි ලියනවා. අභ්‍යවකාශ ගවේෂණ, තොරතුරු තාක්ෂණය, පුරාවිද්‍යා ගවේෂණ, පරිසර සංරක්ෂණය සහ ජාත්‍යන්තර සබඳතා ආදී පුළුල් ක්ෂේත‍්‍රයන් ගැන පූර්ව ඉන්ටර්නෙට් යුගයේ ඔහු කළ සන්නිවේදන නිසා, දූපතකට සීමා වූ ළිං මැඬියන් නොවී මනසින් ලෝකය සහ විශ්වය සරන්නට අපට හැකි වුණා.”


තවත් විදියකට කිව්වොත් ඔහුගේ ලිපි කියවීම හරහා ‘ළිංමැඬියාව’ නැමැති නිදන්ගත මානසික තත්ත්වයෙන් බේරී සිටීමට නිතිපතා පාඨකයන්ට හැකි වුණා.


‘ළිංමැඬියාව’ යන යෙදුම මා මුල්වරට දැනගත්තේ සමාජ විද්‍යා පර්යේෂක ආචාර්ය උදන් ප‍්‍රනාන්දුගෙන්. ලේඛකයෙක් සහ කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවකු ද වන ඔහු, 2013-14 වකවානුවේ මා ලියූ ‘සිවුමංසල කොලූ ගැටයා’ තීරු ලිපි 44 ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ සඳහා පෙරවදනක් ලියමින් මෙසේ පැවැසුවා: ”දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ළිංමැඬියාව. එය ලෙඩක් නොව ඉහළ තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ…”


ළිං මැඬියාව යනු කුමක්ද? ළිඳේ සිටිනා මැඩියන් මෙන් ඉතා සීමිත දැනුම සහ දැක්ම පරාසයකට කොටු වී, එහෙත් ලෝකෙන් උතුම්ම වන්නේ තමන්ගේ ළිඳ බවට උදම් අනමින් එහිම ඇලී ගැලී සිටීමේ පටු මානසිකත්වයයි.


ළිං මැඬියාව ඇති බොහෝ දෙනකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය දැනගත්තද ඒ ගැන අහංකාර වනවා. ලෝකය ගැන තමන්ට වඩා දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.


කොරෝනා වැනි බෝවන රෝග මර්දනය තරම්ම ප‍්‍රයත්නයක් ළිංමැඬියා මර්දනය සඳහාත් අපේ රටට අවශ්‍යයි. එසේ වුවද ආණ්ඩුවලින් සහ බහුතරයක් ජනමාධ්‍යවලින් වැඩිපුරම කැරෙන්නේ ළිංමැඬියා මර්දනය නොව ප‍්‍රවර්ධනයයි!


මේ සන්දර්භය තුළ ආරියදාසයන් ළිංමැඬියා මර්දනයේ දැවැන්තයකු වූ බව මගේ වැටහීමයි. සිංහල හා ඉංග‍්‍රීසි ද්විභාෂිකත්වය නිසා දෙස් විදෙස් දැනුම හා අදහස් හුවමාරුවට මුල් වූ සංස්කෘතික පාලමක් ලෙස ද ඔහුව දැකිය හැකියි.


ලංකා විශ්වවිද්‍යාලයේ මුල්ම ඉංග‍්‍රීසි මහාචාර්ය ඊ.එෆ්.සී. ලූඩොවයික් (1906-1985) වෙතින් ඉංග‍්‍රීසි උගත් ආරියදාසයන්ට, එම භාෂාව පමණක් නොව එයට බද්ධ වූ සාහිත්‍යය හා සභ්‍යත්වය මැනවින් ඇසුරු කිරීමට ලැබුණා.


සිංහල භාෂාව, බෞද්ධ ධර්මය, ලංකා ඉතිහාසය සහ මේ දිවයිනේ බහුවිධ සංස්කෘතික උරුමය ගැඹුරින් අධ්‍යයනය කරන අතරම, ඉහළ පෙළේ ඉංග‍්‍රීසි භාෂා හැකියාව නිසා දූපත් මානසිකත්වයට නතු නොවී පෙරදිග සහ අපරදිග වෙනත් සංස්කෘතීන්ගේ හරයන් සහ දැනුම් පද්ධතීන් සමීපව ඇසුරු කරන්නට ඔහු සමත් වුණා.


ඉන්ටර්නෙට් නැති කාලේ, විශ්ව දැනුම අපට ගෙනෙන්නට ඔහු පුස්තකාල නිතර පරිහරණය කළ සැටි සහ අලූත්ම විදෙස් පොත්පත් සඟරා සොයා ගෙන ගිය සැටි ගැන සමකාලීනයෝ ලියා තිබෙනවා.


”අපි කරන්න ඕන දෙයක් තමයි ලොව පුරා සිදු වන දේ අපේ පාඨකයන්ට හැකි තරම් ඉක්මනට, සරලව කියා දෙන එක. එය පත‍්‍රකලාවේදීන් වන අපෙන් කෙරෙන්න ඕන යුතුකමක්,” යයි ආරියදාසයන් නිතර කී බව ඔහු සමග දිගු කලක් දැනුම ගවේෂණයේ සහ ළිංමැඬියා මර්දනයේ යෙදුණු පර්සි ජයමාන්න සූරීන් කියනවා.


දූපත් මානසිකත්වය අභිබවා යන්නට දූපත් වාසීන්ට උදව් වන අතරේ ආරියදාසයන් ලක් සමාජයේ විවිධ ස්ථරයන් අතර අනේ‍යාන්‍ය අවබෝධය වැඩි කර ගන්නටත් මාධ්‍ය කලාව හරහා අත්වැලක් සැපයුවා.


ඔහු සිංහල සාහිත්‍ය, නාට්‍ය කලාව සහ වෙනත් සහ වෙනත් සංස්කෘතික කටයුතු ගැන ඉංග‍්‍රීසි පුවත්පත්වලට ලියමින් උසස් මධ්‍යම පාන්තිකයන්ට ඒ ප‍්‍රවණතා හඳුන්වා දුන්නා. සිංහල කෙටිකතා ඉංග‍්‍රීසියට පරිවර්තනය කළා. අලූත් සිංහල ලේඛකයන්. සිනමාකරුවන් සහ නාට්‍ය ශිල්පීන් දෙස් විදෙස් ඉංග‍්‍රීසි පාඨකයන්ට හඳුන්වා දුන්නා.


සෝමවීර සේනානායක උපමිතියකින් එය මෙසේ පැහැදිලි කළා: ”එඞ්වින් ආරියදාස මහතා මහල් තුනක නිවසෙහි මැද මහලේ මිනිසෙකි. ඔහු උඩු මහලේ එනම් ඉහළ සමාජයේ තොරතුරු පහළ මහලට කියන්නේය. පහළ මහලේ එනම් සාමාන්‍ය ජනයාගේ තොරතුරු ඉහළ මහලට කියන්නේය. ඒවා ඕපාදූප නොවේ. වැදගත්, අර්ථාන්විත, නුවණ-දැනුම-විනෝදය ගෙන එන තොරතුරුය.”


ආරියදාසයන්ටත් විවේචකයන් ටික දෙනක් සිටියා. ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනකු මෙන් ඔහු වාමවාදී නොවීම සමහරුන්ට ලොකු ගැටලූවක් වුණා. එමෙන්ම අප දන්නා තරමින් ඔහු මාධ්‍ය වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍ය නිදහස සඳහා වීදි අරගල කරන චරිතයක් වූයේ ද නැහැ.


පක්ෂ දේශපාලනය කිසිදා නොකළ ආරියදාසයන්, 1949-1973 වකවානුවේ ලේක්හවුස් ආයතනය පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පැවති කාලයේත්, රජයට පවරා ගත් පසු 1973-1984 කාලයේ ආණ්ඩු දෙකක් යටතේත් වැඩ කළා.


තමා වැඩ කරන ජනමාධ්‍ය පරමාදර්ශී නොවූවත්, ඒවා හරහා පාඨකයන්ට හැකි තරම් සේවය කිරීමයි ඔහුට වුවමනා වූයේ. තනතුරු හා වරප‍්‍රසාද බලාපොරොත්තු වුණේ නෑ.


සමාජවාදී මෙන්ම ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති රාමු තුළ රට ආණ්ඩු කැරෙන වකවානුවල ඔහු රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය හරහාද රටේ ජනතාවට හැකි තාක් දැනුම සහ අවබෝධය ලබා දෙන්නට වෙහෙසී ක‍්‍රියා කළා.


මාධ්‍ය ආයතනවල ලොකු පුටුවලට පොරකෑම, කේළාම් කීම, කල්ලි ගැසීම, ඕපාදූප කතා කිරීම ආදී කිසිවකටත් හවුල් නොවූ මේ ශාස්ත‍්‍රකාමී පුද්ගලයා තමන්ගේ පාඩුවේ පොතපත කියවීමේ සහ ලිවීමේ යෙදුණු බව ලේක්හවුස් සමකාලීනයන් ගණනාවක්ම කියනවා.


1977 ජූලි මහ මැතිවරණයට පසුව ලේක්හවුස් පාලනාධිකාරිය එසැනින් වෙනස් වුණා. නව පාලකයන් ඔහුගේ සේවය දිගටම ලබා ගත්තත්, දේශපාලනීකරණය වූ වෘත්තීය සමිති විසින් ආයතනයේ මාධ්‍යවේදීන් හා සෙසු සේවකයන්ව නිල්පාට සහ කොළපාට ලෙස වර්ග කරනු ලැබුවා. නිර්දේශපාලනිකයන්ටද ‘විරුද්ධවාදී’ ලේබල ඇලවුණා.


දෙනගම සිරිවර්ධන ලියූ, 2019 සරසවි ප‍්‍රකාශනයක් වන ‘පොදු ජනයාගේ පත්තරකාරයා: දයාසේන ගුණසිංහ චරිතාපදානය’ පොතේ 25 වන පරිච්ෙඡ්දය විස්තර කරන්නේ මේ සංක‍්‍රාන්තියයි.


1977 මහ මැතිවරණයට පෙර දිනමිණ පත්තර ගැසීම නතර කරන්නට ඉලක්ක කොට දියත් වූ වැඩවර්ජනයට සම්බන්ධ නොවීමේ ‘වරදට’ ආරියදාසයන් ඇතුළු මාධ්‍යවේදීන් කීප දෙනකුට කන්තෝරුව තුළම පහර දුන් සැටි එහි විස්තර කැරෙනවා.


ඔහු ප‍්‍රගුණ කළ උපේක්ෂා ගුණය නිසාදෝ ආරියදාසයන් එම අවාසනාවන්ත සිදුවීම්වලින් නොසැලී දිගටම තම මෙහෙවර කළා. විශේෂයෙන්ම 1978-1982 නවයුගය කතුවරයා ලෙස ඔහු කළ සේවය විශිෂ්ටයි.


ඒ.ඞී. රංජිත් කුමාර, දයාසේන ගුණසිංහ, රාජා ටී. බස්නායක, තුසිත මලලසේකර, පර්සි ජයමාන්න ඇතුළු දක්ෂයන් රැුසකගේ දායකත්වය ලබා ගනිමින් සාර දැනුම සංග‍්‍රහයක් ලෙස මාසයකට දෙවතාවක් නවයුගය පළ කළා.


සරත් ජයසිංහ සහ සරත් කුමාර පෙරේරා 1996 සංස්කරණය කළ ‘අනාගතය විනිවිද දුටු මහා ප‍්‍රාඥයා: එඞ්වින් ආරියදාස’ නම් පොතෙහි ඔහුගේ සහෘදයන් සහ ශිෂ්‍යයන් රැුසකගේ ආවර්ජනා හසුකර ගෙන තිබෙනවා.


කාලයක් ආරියදාසයන් සමග ලේක්හවුසියේ වැඩ කළ ලක්ෂ්මන් ජයවර්ධන මාධ්‍යවේදියා ඔහුව හැඳින්වූයේ ‘ඒකපුද්ගල මාධ්‍ය ආයතනයක්’ හැටියටයි! සිංහලෙන් සහ ඉංග‍්‍රීසියෙන් පත්තර, රේඩියෝ සහ ටෙලිවිෂන් හරහා නව දැනුම සමාජගත කරනවාට සමාන්තරව සෙසු මාධ්‍යවේදීන්ට, වෙනත් වෘත්තිකයන්ට මෙන්ම පාසල් සහ සරසවි ශිෂ්‍යයන්ට බොහෝ විෂයයන් ගැන කරුණු සොයා දීමට සහ පහදා දීමට ආරියදාසයන් සැම විටම සැදී පැහැදී සිටියා.


”උඩිනුත් යටිනුත් කැපිලි කෙටිලි අඩුවක් නැති මාධ්‍ය ලෝකයේ මාධ්‍යවේදීන් දැන සිටියත් අවශ්‍ය ඕනෑම විටක ගුරුහරුකම් දෙන්නට සමත්කමක් ඇති” අසාමාන්‍ය චරිතයක් ලෙස ලක්ෂ්මන් ජයවර්ධන ඔහුව හඳුන්වා තිබෙනවා.


ලේක්හවුස් ආයතනය 1995 සැප්තැම්බරයේ ලාංකික පුවත්පත් දෙකක් (Daily News සහ Sunday Observer) මුල් වරට වෙබ්ගත කරන විට එයට බොහෝ උපදෙස් දෙමින් දිරිමත් කළේ ආරියදාසයන් බව එවකට ලේක්හවුස් සභාපති වූ ලක්ෂ්මන් ජයවර්ධන කියනවා.


මේ රට ප‍්‍රශස්ත ජනමාධ්‍ය කලාවක් බිහි කරන්නට දිගු කලක් තිස්සේ මාධ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් පුහුණුවීම් සහ මගපෙන්වීම් කළ ආරියදාසයන්, මෑතකාලීනව වඩාත් අයාලේ යන ජනමාධ්‍ය ගැන වික්ෂිප්තව සහ කම්පාවෙන් සිටියා. එහෙත් සුබවාදීව ජීවිතය දෙස බැලූ ඔහු, අවසානය දක්වාම යහපත් මාධ්‍ය කලාවක් වෙනුවෙන් උත්සාහය අතහැරියේ නෑ.


ලාංකික ජනමාධ්‍ය නමැති පරිසර පද්ධතිය තුළ විවිධාකාරයේ ජීවීන්ට සහ භූමිකාවන්ට ඉඩකඩ තිබෙනවා. ආරියදාසලා බිහිවන්නේ පරම්පරාවකට එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණයි.


එසේම ආරියදාසයන් පරමාදර්ශීය වූවා යයි මා කියන්නේ නැහැ. ඒත් ඔහු අවවාදයෙන් නොව ආදර්ශයෙන් යහපත් මාධ්‍යකරණයක් කළ හැකි එක් ප‍්‍රවේශයක් පෙන්වා දී නිහඬවම සමුගෙන ගොසින්. ඔහුට සුබ රාත‍්‍රියක්!


-නාලක ගුණවර්ධන-

රාවය


Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *