IMG-LOGO
Home ලිපිය “කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කිය

“කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කිය

Date : 2020-Dec-19
IMG

නොවැම්බර් 29 වන දින ආරම්භ වූ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළේය. දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව නිල වශයෙන් නිකුත් කර නොමැති නමුත් එහි පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ලියුම්කරු සමඟ බෙදා ගන්නා ලදී. කමිටුව පවසන පරිදි, මහර බන්ධනාගාරය තුළ  මුලු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර, මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා තිබූ බවට හෙලිදරව් වූ අතර මේ අතරින් සියයට 77 ක් හෝ 2,148 ක් සැකකරුවන්‍ ය (රිමාන්ඩ් සිරකරුවන්). වෙනත් රෝග වලින් පෙලුණු එහෙත් Covid-19 රෝගය වැළඳි නොතිබුණු  රෝගීන් 112 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ද, නීරෝධායන මද්‍යස්ථානයක් ලෙස සිරකරුවන් රඳවා තබා ගැනීමට විවෘත කරන ලද පැරණි බන්ධනාගාර මධ්‍යස්ථානයක් වන බෝගම්බර බන්ධනාගාරයෙන් පිරිසක් ද මහර බන්ධනාගාර රෝහල වෙත ගෙන එන ලදි.


ඇප ලබා දී සහ එය ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමට ප්‍රමාද වීම යන්න මෙහිදී කමිටුව විසින් සටහන් කොට ඇති  අතර ඔවුන් නිර්දේශ කර සිටියේ නීතිපතිවරයා විසින් පොලිසියට දුන් උපදෙස් මත දඩයක් හෝ ඇපයක් ගෙවීමෙන් පසු නිදහස් කළ හැකි රැඳවියන් නිදහස් කිරීම කඩිනම් කිරීම කළ හැකි බවයි. ඇප තබාගැනීමට නොහැකි රැඳවියන් බන්ධනාගාරය මඟින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ව පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙසද කමිටුව විසින් මෙහිදී නිර්දේශ කොට තිබේ. එසේම සිර දඬුවම් විඳිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින් පිට වීමට ක්‍රමවේදයක් වහාම ක්‍රියාවට නැංවිය යුතු බව ද ඔවුන්ගේ නිර්දේශය විය.


සිද්ධිය වූ විගසම එවකට බන්ධනාගාර භාරව සිටි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පුද්ගලයන් 11,000 ක් පමණ රඳවා තබා ගැනීමේ හැකියාව ඇති නමුත් 32,000 ක් පමණ නවාතැන් ගෙන ඇති බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන වලට අනුව, 2019 දී බන්ධනාගාරවලට වැරදිකරුවන් ලෙස පැමිණි අයගෙන් 20,420 ක් ( 70 % වඩා වැඩි පිරිසක්) දඩ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් වැරදිකරුවන් වූ අය වේ. එසේම 2015 සිට 2019 දක්වා කාලය තුළ බන්ධනාගාරවලට ඇතුළත් කර ගත් අයගෙන්  78 % ත් 82 % ත් අතර සංඛ්‍යාවක්, සැකකරුවන් (රිමාන්ඩ් සිරකරුවන්) බව ද සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දෙයි. සමහරුන් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ ඇප සඳහා මුදල් තැන්පත් කිරීමට නොහැකි වීම නිසා වන අතර තවත් සමහරු රිමාන්ඩ් භාරයේ පසුවන්නේ පොලීසිය සහ මහේස්ත්‍රාත්වරුන් විසින් රිමාන්ඩ් භාරය සම්මතයක් ලෙසත්, ඇප ලබා දීම ව්‍යතිරේකයක් ලෙසත් තෝරාගැනීම නිසාවෙනි.


කමිටුව සඳහන් කලේ ප්‍රතිඵල පිළිබඳ ප්‍රවෘත්ති නිල නොවන මාධ්‍යන් මඟින් රැඳවියන්ට සහ බන්ධනාගාරයෙන් පිටත සිටින අයට ලැබී ඇති බවත්, මෙය ඔවුන් අතර තම ජීවිතයට ඇති අවදානම පිළිබඳ නොසන්සුන්තාව සහ බිය ඇති කළ බවත්ය.


කමිටුව නිගමනය කළේ මෙම විරෝධතාව ඔවුන් විසින් තම ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉල්ලීම් කරමින් කල සාධාරණ විරෝධතාවයක් බවයි. මෙහි ප්‍රධාන ඉල්ලීම් හතර වූයේ ඇප ලබා දී ඇති අය නිදහස් කිරීම, පරිභෝජනයට සුදුසු ආහාර සැපයීම, සියලු රැඳවියන් සඳහා PCR පරීක්‍ෂණ සිදු කිරීම සහ වැළඳී ඇති බවට පරික්‍ෂණ මඟින් තහවුරු වූ අයව බන්ධනාගාරයෙන් ඉවත් කිරීමයි. කමිටුව පවසා සිටියේ විරෝධතාවයේ තීව්‍රතාවය රැඳුනේ බන්ධනාගාරයේ නිලධාරින්ගෙන් කඩිනම් විසදුම් ලබා ගැනීමට රැඳවියන් අතර වූ දැඩි අපේක්‍ෂාව මත බවයි.


මෙම වාර්තාවේ සඳහන් වන්නේ කිසිදු රැඳවියෙකු අත ගිනි අවි නොතිබු බවත් ඒවා රැඳවියන් විසින් භාවිතා නොකළ  බවත් එසේම ගිනි අවි තිබි ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් අත පමණක් බවත් ය. එසේම නිලධාරීන් විසින් මෙම ගිනි අවි භාවිතා කර ඇත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ අහසට වෙඩි තැබීමෙන් පසුව බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. 29 වන දින දහවල්, වෙඩි තැබීම්වල ආරම්භක අවස්ථාවේදි රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදි තුවාල සිදුවූ අතර ඉන්පසු රැස්ව සිටි පිරිස දෙපසට විසිරී ගොස් ඇත. 30 වන දින ජලය හා ආහාර සැපයුමේ ගැටලු ඇති වූ අතර ජලය සඳහා වූ ඉල්ලීම් ද නිසා, සවස් කාලය වන විට වඩාත් නොසන්සුන් තත්වයක් ඇතිවිය. මෙම තත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් විසින් රැඳවියන්ට පහර දී සහ වෙඩි තබා ඇති අතර වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබිමක් සිදු කළාද යන්න නිගමනය කල හැකි වන්නේ පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් පසුව වන බව වාර්තාවේ සඳහන් වේ, එම නිසා පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කරන තුරු සිරුරු භූමදාන කිරීම හෝ ආදාහනය නොකළ යුතු බවත් වාර්තාවේ සඳහන් විය.


කමිටුව විසින් හඳුනා ගත්, විරෝධතාවයේ සාධාරණ ඉල්ලීම් අතර එකක් වූයේ රැඳවියන්ට කෑමට සුදුසු ආහාර ලබා දීම වන අතර ඔවුන් විසින් එය අතුරු වාර්තාවේ නිර්දේශයක් ලෙස ද ඇතුලත් කොට තිබේ. එමෙන් ම රැඳවියන්ගෙන් බොහෝ පිරිසකට ආහාර ලැබෙන්නේ ඔවුන්ව බැලීමට එන අමුත්තන්ගෙන් යන කරුණ සැලකිල්ලට ගෙන කමිටුව විසින් නිර්දේශ කොට ඇත්තේ ,අමුත්තන් මුණගැසීමට ඉඩ නොදෙන කාල සීමාවේදි සුභ සාධක මධ්‍යස්ථාන හරහා ආහාර ඇතුලු අවශ්‍ය දේ රැඳවියන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කොට දිය යුතු බව ය. කෙසේ වෙතත්, 2019 දී සිරකරුවෙකුගේ ආහාර සඳහා දිනකට සාමාන්‍ය මිල රු. 151 වන බැවින් අතුරු වාර්තාව අයවැය දෙස අවධානය යොමු නොකර ඇති බවද මෙහිදී  පෙනි යයි. 


මෙම සිද්ධියට පෙර උණ රෝගය වැළඳී සිටි රැඳවියන් පරීක්‍ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලට ගෙන නොගිය බව කමිටුව සඳහන් කොට තිබේ. එහෙත්, මෙම සිද්ධියෙන් පසු තවත් PCR පරීක්‍ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂණ වැඩි වශයෙන් සිදුකරන බවත්, Covid-19 වැළඳී ඇති බවට තහවුරු වූ අයව බන්ධනාගාරයෙන් ඉවත් කර ඇති බවත් එහි සඳහන් වේ. මුදා හරින රැඳවියන් සඳහා හැකි ඉක්මනින් PCR පරීක්‍ෂණ සිදු කිරීම, රෝගය වැළඳී ඇති බවට තහවුරු වූවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීම සහ තහවුරු නොවූවන් නිවසේදී නිරෝධායනය සඳහා යොමු කිරීම ද මෙහි නිර්දේශ වූහ. කෙසේ වෙතත්, කමිටුව සියලුම රැඳවියන් සඳහා PCR පරීක්‍ෂණ සිදු කිරීම නිර්දේශ නොකළ අතර එය මහර සිද්ධියට සති දෙකකට පමණ පෙර සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ කමිටුව විසින් ද ඉදිරිපත් කරන ලද ඉල්ලීමකි. එසේම, Covid-19 රෝගය හැර වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙලෙනා රෝගීන් සඳහා සුදුසු සෞඛ්‍ය සේවාවක් ද පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇත.


කමිටුව දෙසැම්බර් 3 වන දින මහර බන්ධනාගාරයට ගිය විට රැඳවියන්ට ඥාතීන් සමඟ සම්බන්ධ වීමට දුරකතන පහසුකම් වලින් අවස්ථාව ලබා දෙන ලෙසට ඔවුන් අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තාවේ සඳහන් වේ. එහෙත්, දෙසැම්බර් 5 වන දින පවා, බන්ධනාගාර ගේට්ටුවෙන් පිටත මංමුලා වී පවුල් සිටි අතර, ඔවුන්ගේ ආදරණීයයන් ගැන දැනගැනීමේ අපේක්ෂාවෙන් ඉල්ලා සිටියේ දිවි ගලවා ගත් අය වේ නම් ඔවුන්ට දුරකථන ඇමතුමක් හෝ ලබාදෙන ලෙසයි. පශ්චාත් සිදුවීම් නිරීක්‍ෂණ වල මෙම සැලකිය යුතු අසාර්ථකත්වය කමිටුව විසින් සටහන් නොකළ නමුත් ඔවුන් රැඳවියන් සහ පවුල් අතර දුරකථන ඇමතුම් සඳහා වැඩි අවස්ථාවන් දිය යුතු බව නිර්දේශ කළ අතර රැඳවියන් සහ පවුල් අතර වඩා හොඳ සන්නිවේදනයක් සඳහා මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇති බව නිරීක්‍ෂණය කළහ.


බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් විවිධ පෙති වර්ග රැඳවියන් විසින් පානය කර තිබූ බවට කමිටුව විසින් නිරික්‍ෂණය කර තිබුනත් රැඳවියන්ගේ හැසිරීමට මෙය බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට ඔවුන් විශේෂඥ මතයක් ඉදිරිපත් වන තුරු සිටින බව අනාවරණය කළහ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, මනෝචිකිත්සක පුහුණුව සඳහා භාවිතා කරන ඖෂධ ප්‍රචණ්ඩකාරි හෝ ආක්‍රමණශීලී හැසිරීම් වලට වගකිව යුතු නැති බවත්, එවැනි ඖෂධ බොහෝමයක් සන්සුන් භාවය සහ සමහර අවස්ථාවල නිදිබර ගතිය ඇති කරන බවත් දෙසැම්බර් 2 වන දින ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය පැහැදිලි කිරීමයි.


සමහර රැඳවියන් එකිනෙකාට පහර දීම සඳහා නොසන්සුන්තාව භාවිතා කර ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු යම් වේලාවක් පුරාවට ප්‍රාණ ඇපයේ තබාගෙන ඇති බවත්, ගොඩනැගිලි, දේපළ හා ලියකියවිලි විනාශ වී ඇති බවත් කමිටුව සඳහන් කළේය. එසේම රැඳවියන් සතුව යකඩ දඬු, පිහි, ගිණිකූරු සහ කඩු තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත්, මෙම ආයුධ රැඳවියන් වෙත ගෙන යාමට අවසර දුන් සහ රැඳවියන්ට ඒවා තබා ගැනීමට අවසර දුන් බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව වාර්තාවේ කිසිඳු සඳහනක් නොතිබුණි. බන්ධනාගාර නිලධාරීන්ගේ මූලික වෙඩි තැබීමෙන් පසු රාත්‍රියේදී රැඳවියන් අතර සටනක් පැවති බව වාර්තාවේ දැක්වේ. නමුත් එය දහවල් හෝ සවස් කාලයේ වූ බව පෙනී යයි. රැඳවියන් එකිනෙකා සමඟ රණ්ඩු කරමින් සිටියදී පවා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව වාර්තාවේ දැක්වේ.


අතුරු වාර්තාවෙන් තහවුරු වූයේ බන්ධනාගාරය තුළ ආහාරමය ගැටලු, පවුල් සමඟ සන්නිවේදනය සම්බන්ධ ගැටලු හා සියලුම බන්ධනාගාර රැඳවියන් සඳහා PCR පරීක්‍ෂණ කර නොමැති වීමේ ගැටලු පවතින අතරම මහර බන්ධනාගාරයේ Covid-19 රෝගය වැලඳුණු බවට තහවුරු වූ රෝගීන් ප්‍රමාණය රටේ ඉතිරි ප්‍රදේශ වලට වඩා වැඩී වීම හා බන්ධනාගාරය තුළ දැරිය හැකි ධාරිතාවයට වඩා තුන් ගුණයක් සිටින බවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීම වාර්තාවෙන් සනාථ කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කරන තුරු මළ සිරුරු භූමදාන කිරීම හෝ ආදාහනය නොකිරීමට නිර්දේශ කර ඇත.


අතුරු වාර්තාව මඟින් රජයේ දේපළ වලට හානි කිරීම අතුරු වාර්තාව මඟින් රජයේ දේපළ හා වෙනත් අපරාධවලට වගකිව යුතු රැඳවියන්ට එරෙහිව විමර්ශන සහ නඩු පැවරීම කඩිනම් කිරීමට නිර්දේශ කළ නමුත් නිලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට කමිටුවට නොහැකි නමුත් වැඩිපුර විස්තර සමඟින් සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බවට පොරොන්දු වී තිබේ.


අධිකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට අප බලා සිටින අතර, ඒ සඳහා මෙම අතුරු වාර්තාව වැඩිදුර අධ්‍යනය කිරීම සුදුස ය. ඒ සමඟම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද වඩාත් සවිස්තරාත්මක වාර්තාව සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ කමිටුව විසින් සකස් කරන ලද සටහන අධ්‍යනය කිරීම ද  සුදුසු වේ.


සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න : Mahara Prison incident interim report-07Dec202


උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවියේ රුකී ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියකි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *