IMG-LOGO
Home ලිපිය අද ජාත්‍යන්තර සංක්‍රමණික දිනය

අද ජාත්‍යන්තර සංක්‍රමණික දිනය

Date : 2020-Dec-19
IMG
1990 වසරේ දෙසැම්බර් මස 18 වෙනිදා සියලුම සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ  පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ යෝජනාවක් සම්මත විය. ඒ අනුව මේ දෙසැම්බර් 18 දිනය පාදක කරගනිමින්  2000 වසරේදි, මෙවැනි දිනයක් නම් කිරීමේ  යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත විය.
මෙම  දිනය සැමරීමේ අරමුණු කිහිපයකි.


01. සංක්‍රමණිකයින්ගේ මානව හිමිකම් සහ මූලික දේශපාලන නිදහස පිළිබඳ තොරතුරු බෙදා හැරීම
02. සංක්‍රමණිකයින්ගේ මානව අත්දැකීම් හුවමාරු කර ගැනීම
03. සංක්‍රමණිකයින්ගේ මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම
04. සංක්‍රමණිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට රජයන්ගේ අවධානය යොමු කිරීම
05. සංක්‍රමණිකයන් මිලියන ගණනක් ඔවුන්ගේ සත්කාරක සහ මව් රටවල ආර්ථිකයන් සඳහා කරන ලද දායකත්වය හඳුනා ගැනීම


ලෝක සංක්‍රමණික දිනය සැමරෙන වර්තමානයේ  පමණක්  නොව, ශිෂ්ටාචාරයන්හි මූලාරම්භයේ සිට සංක්‍රමණය සැලකුණේ ආර්ථික හා සමාජීය දෙඅංශයේම වර්ධනය පිණිස වන ක්‍රියාවලියක් ලෙසිනි. ශ්‍රී ලංකාවේද විරැකියා අනුපාතිකය අඩු කිරීම සහ ආදායම  ඉපයීම මගින්  දරිද්‍රතාව  අවම කිරීම සඳහා කෙරෙන සැලකිය යුතු  කාර්භාරයද පෞද්ගලික ප්‍රේෂණ  විදේශ  විනිමය ඉපයීමේ ප්‍රධාන මූලාශ්‍ර වලින් එකක් වීමද නිසා විශේෂයෙන්  විදේශ රැකියා සඳහා සංක්‍රමණය ලාංකික සමාජය වෙත ඉමහත් බලපෑමක් ඇති කරයි.


2019 මහ බැංකු වාර්තාවට අනුව තවමත් සමස්ත පිටව යෑම්වලින් 85.0%ක්මැද පෙරදිග කලාපය ඉලක්ක කරගන්නා අතර,  ස්ත්‍රී පුරුෂ සමාජභාවය සැලකූ විට පුරුෂයන්ගෙන් 80% ක් ද කාන්තාවන් 92.5% ක්ද මැද පෙරදිග වෙත රැකියා සඳහා සංක්‍රමණය වෙන බව අනාවරණයව තිබේ.


මෙරට නුපුහුණු ශ්‍රමිකයන්  විදේශ  රැකියා සඳහා සංක්‍රමණය වීම  අවම වී තිබෙන අතර  විධිමත් පුහුණුවකින් හෙබි වෘත්තිකයන්ට පිලිපීනය ,බංග්ලාදේශය ,ඉන්දියාව ,පකිස්ථානය,චීනය වැනි අන්‍ය ආසියාතික රටවල් අභිබවමින් ජාත්‍යන්තර වෙළදපොළ ඉල්ලුම සපුරාලීමට  ඔවුන් සතු නිපුණතාවය මෙම ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේදී වෙසෙසින්  අවධානයට ලක් කළ යුතුය.


රැකියා සඳහා සංක්‍රමණය වීමේදී බාලවයස්කාර කාන්තාවන් වංචනික ලෙස යොදාගැනීම අවම කිරීමද, රැකියා සඳහා වෙනත් රටවලට සංක්‍රමණය වන්නන්ට වාසි සහගත වන පරිදි පහසුකම් සැපයීම, විදේශ සේවා නියුක්තිය නියාමනය මෙන්ම, මානව ජාවාරම පාලනයට නව පනත් හඳුන්වාදීම කෙරෙහි තවදුරටත්   අවධානය යොමු විය යුතුය.


සංක්‍රමණික සේවයේ යෙදී ඇති පිරිස විසින් රටේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන්නේ සුවිශාල දායකත්වයකි. මෙම සේවක පිරිස අතරින් වැඩි දෙනා ස්‌ත්‍රීන් වේ. මෙයින්ද බහුතරය රටේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන්නෝ වන අතර තම පවුල් මුහුණ දී සිටින අධික ආර්ථිකමය ගැටලු නිසාම විදේශ රැකියා සොයා යන්නෝද වෙති. විදේශ රැකියා සඳහා මෙම ස්‌ත්‍රීන් ඇදී යන්නේ සිය පවුලේ සියලු බර කරට ගනිමින් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි.


වර්තමාන සමාජයේ බහුතරයකගේ මතය වී තිබෙන්නේ පවුලක මව විදේශ ගත වූ පසු එම පවුල විනාශ වන බවත් මෙම මවුවරුන් තම දරුවන් පිළිබඳව කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන බවත්ය. එහෙත් පවුලේ සියලු බර කරට ගනිමින් මව විදේශගතවන විට එම දරු පවුලේ වගකීම පියාටද ඇති බව මුළු මහත් සමාජයටම අමතක ගොස්‌ ඇති කරුණකි. පියවරු විදේශගත වූ පසු තම දරු පවුල් නිසියාකාරව රැකබලා ගන්නා දියුණුවෙන් දියුණුවට රැගෙන යන මවුවරු පිළිබඳව කතා කිරීමට කිසිවකුත් නැත. විදේශ රැකියා සඳහා යන මවුවරුන් හෝ සුවිශේෂ තත්ත්වයන්ට මුහුණ දී සිටින ස්‌ත්‍රීන් පිළිබඳව නොතකා විදේශගත රැකියා සඳහා යන ස්‌ත්‍රීන් සම්බන්ධයෙන් මෙලෙස කතා කිරීම සුදුසු නොවේ.


එමෙන්ම නිරතුරුව කතාබහට ලක්‌වන්නේ ද සංක්‍රමණික සේවයේ අසාර්ථක හෝ දුක්‌ඛදායී සිදුවීම් සම්න්ධයෙන් පමණක්‌ වීමද කනගාටුදායකය. සංක්‍රමණික සේවක ප්‍රජාවට විවිධාකාර වූ හිංසන සහ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව සත්‍යයකි. නමුත් ඒ සියලු වධ වේදනා විඳ දරා ගනිමින් සිය පවුල් සාර්ථකව ගොඩනගා ගත් සංක්‍රමණික සේවිකාවන් හමුවේ. සිය බිරිඳ හෝ ඥතියා විදේශගතව සිටියදී දරුවන් නිසි ලෙස රැකබලා ගනිමින් පවුල ගොඩනගා ගන්නා පියවරුන් මෙන්ම ඥතීන්ද සිටී. මේ සම්බන්ධයෙන් ද නිසි ඇගයීමක්‌ සිදුවිය යුතුවේ. ස්‌ත්‍රීන් සංක්‍රමණික සේවයට යොමුවීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵල දැකිය හැක්‌කේ එවැනි අගය කිරීම් ඔස්‌සේ පමණි.


නිරන්තරයෙන්ම ඝෘණාත්මක සිදුවීම් පමණක්‌ ගෙනහැර දක්‌වමින් තමා කැමැති රැකියාවක්‌ කිරීමට සහ ඔබ මොබ යෑමට කාන්තාවන්ට ඇති අයිතියට බාධා පමුණුවමින් ගෙනෙන නව නීතිවලට අපි විරුද්ධ වෙමු. මෙලෙස නීති ගෙන එනවාට වඩා  කළ යුතුවන්නේ රටට විදේශ විනිමය උපයා දෙන මෙම ශ්‍රමික ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මනෝ සමාජයීය යහපැවත්ම ආරක්‌ෂා කිරීම වෙනුවෙන් සක්‍රීය වූ ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ ගොඩ නැගීම සහ ඒවා විධිමත්ව ක්‍රියාත්මක කිරීමය.


රජයේ වගකීම වන්නේ රටේ ආර්ථිකයේ වැඩි බරක්‌ දරන මෙම පුරවැසියන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය නීති රීති අණ පනත්, ප්‍රතිපත්ති, රෙගුලාසි, ද්විපාර්ශ්වීය එකඟතා ඇතිකර ගැනීම සහ දැනටමත් තිබෙන ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීමය. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක්‌ මෙරට ගෙන එන ලාංකීය සංක්‍රමණික ස්‌ත්‍රීන්ට ආරක්‌ෂාකාරීව සිය රැකියාවන්හි යෙදීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම සහ ඔවුන් ආපසු පැමිණි පසු විධිමත්ව යළි සමාජගත කිරීම රජයේ ප්‍රධාන වගකීමකි.
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *