IMG-LOGO
Home ලිපිය සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් ඔහු ගැන හෙළිකිරීම සාධාරණද?

සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් ඔහු ගැන හෙළිකිරීම සාධාරණද?

Date : 2020-Dec-15
IMG
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 11 වන වගන්තිය :"දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම, නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පුවන තෙක් නිර්දෝෂියකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලු අවශ්‍යතා නොඅඩුව ලැබීමටත්, හිමිකම් ඇත්තේය. යම් වරදක් හෝ ප්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදු වූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර්ජාතික නීතියෙහි එම වරද හෝ ප්‍රමාද දෝෂය දණ්ඩනය වරදක් සේ නොසඳහන්ව පැවති නම් එම වරදට හෝ ප්‍රමාද දෝෂයට ඔහු වරදකරුවකු ලෙස නොසැළකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දඬුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය."
මෙම කාරණය ලොව පිළිගත් නීතිමය සිද්ධාන්තයක්.


''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව (5 වන වගන්තිය) අනුව නිර්දෝෂී පුර්ව නිගමනය මත අපරාධ නඩුවක චෝදනා ලැබු සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් නීතිය විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට පුර්ව නිගමනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වශයෙන් ඒ බව දක්වා ඇත්තේ,නීතියේ නිසි ක්‍රියාදාමයට පරිබාහිරව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට සිදුවන අසාධාරණයන් වළක්වාලීමටය.


මෙම නීතිමය සිද්ධාන්තයන් පිළිබඳව මේ දිනවල සමාජයේ වැඩිවශයෙන් කතාබහක් ඇතිව තිබෙන්නේ,ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සිදුකළ ප්‍රකාශය හේතුවෙන්.


මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇතිකිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය.


118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනෙම කෙනෙකුට අමතන්න. එය තුළින් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පහසුකම් සමග, අපරාධයක් වෙනවා නම් එසැණින් එතැනට ගිහිල්ලා ඒ අපරාධකරුවන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමයකුත් දැන් සකස් වෙනවා" යයි අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේය.


කෙසේවුවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසන්නේ පොලිසිය බාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළහොත් එය නඩු විභාගයේදී සැකකරුට අවාසිදායක ලෙස තින්දුවීමට බොහෝදුරට ඉඩතිබෙන බවයි.


''උදාහරණයක් වශයෙන් ජුරි සභාවක් ඉදිරියේ විභාගවන නඩුවක දී සැකකරු සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනගතකර ඇති මතය අනුව ජුරී සභිකයින් පුර්ව විනිශ්චයක සිට තීන්දු දෙන්න පුළුවන්.
ඇමතිවරයා කියන විදියට සැකකරුවකුගේ ඡායාරූප සහ විස්තර රජයේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කළහොත්, විනිසුරුවන්ගේ මනස වෙනස්වෙන්න වුනත් එය බලපෑමක් විය හැකියි.
මෙලෙස රජය මැදිහත්ව ප්‍රචාරයක් ලබාදීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සිද්ධාන්තයන් බිඳ දැමීමක්. '' යයි ද නීතිඥ උපුල් කුමාරප්පෙරුම වැඩිදුරටත් පවසයි.


කෙසේවෙතත් අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වශයෙන් නීතිය ඉදිරියේ තහවුරු නොවුණු හුදෙක් සැකකරුවන්ගේ විස්තර මෙසේ මාධ්‍ය වෙත නිදහස් කිරීමට අමාත්‍යවරයා සහ රජය ක්‍රියා කරන්නේ කවර නීතිමය පදනමක් යටතේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එම සැකකරුවන් අධිකරණය හමුවේ නිදොස්කොට නිදහස් වුවහොත් රජය විසින් ඔවුන්ට එරෙහිව සිදුකරන ලද සාවද්‍ය ප්‍රචාර පිළිබඳ සිදුවන්නේ කුමක්ද යන්න ගැටළුවකි.


ශ්‍රී ලංකා පොලිසිය ගෙනයන සරල ක්‍රියාදාමයන් අනුව මෙසේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ ඇති භයානකත්වය තේරුම් ගැනීමට සේයා දැරිය ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ පාසල් සිසුවා සහ කොණ්ඩයා නම් තරුණයා ගැන සිහිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇති. එමෙන්ම මෙය පොලිස් නිලධාරීන් තමන්ගේ පෞද්ගලික පළිගැනීම් සඳහා ද යොදවා ගැනීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි හෙයින් තත්වය තවත් දරුණුවනු නියතය.

වධහිංසා වලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට ලක්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත.එවැනි ක්‍රියා සිදුකරන්නන් හෙළාදැකීමත්,ඊට හැකිපමණින්  දඩුවම් පැමිණවීමත් සිදුකළ යුතු වේ.එබැවින් ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 1994 අංක 22 දරන වධහිංසා වලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනතේ සඳහන් දඩ මුදල් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.ඒ අනුව එකී පනත සංශෝධනය කිරීම සඳහාත්,ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


මෙම පනතේ 02 වන වගන්තිය අනුව,මෙවැනි නඩුවකින් වරදකරු වන පුද්ගලයෙකු, අවුරුදු 07 ට නොඅඩු, අවුරුදු 10 ට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීම සහ, රුපියල් දස දහසකට නොඅඩු, රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් කළ හැකිය.


වධහිංසාව


වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංඝනය කල නොහැකි අනුඋල්ලංඝනීය අයිතියකි. එසේත් නැතිනම් එය ජීවත් වීමට ඇති අයිතියේම තවත් ප්‍රකාශනයකි. ජීවත්වීමට ඇති අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර නොමැත. නමුත් 11 වන ව්‍යවස්ථාවේ වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය, 13 (4) වන ව්‍යවස්ථාවේ කියවෙන නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට මිස කිසිම තැනැත්තකුට මරණයට ලක් නොවී සිටීමට ඇති අයිතිය මගින් සහ 12 ව්‍යවස්ථාවෙන් කියවෙන සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම මගින් ජීවත්වීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් තහවුරු කර තිබෙන්නේය.

01. වධහිංසාව කියන්නේ මොකක්ද..?

1994 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ වධහිංසාව යනු කුමක්ද යන්න පැහැදිලි කර තිබේ.
පනතේ අර්ථ නිරූපණය අනුව, ‘වධදීම’ යන්නෙන්,
■ වෙනත් අයෙකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙන දෙන්නා වූ ක්‍රියාවක් ද, 
■ යම් පුද්ගලයෙකුගෙන් යම් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා හෝ, 
■ යම් පුද්ගලයෙකු කරන ලද හෝ එසේ සැක කරන ක්‍රියාවකට දඬුවම් කිරීම සඳහා හෝ, 
■ එවැනි පුද්ගලයෙකුව බිය ගැන්වීම, ඔහුට බල කිරීම සඳහා හෝ, 
■ වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා, 
■ රජයේ නිලධාරියෙකු හෝ නිල තත්ත්වයෙන් කටයුතු කරන වෙනත් අයෙකු විසින් හෝ, 
■ එම නිලධාරියාගේ හෝ වෙනත් අයෙකුගේ මුල් වීම මත හෝ, කැමැත්ත ඇතිව හෝ, 
■ එම නිලධාරියාගේ හෝ වෙනත් අයෙකුගේ විරුද්ධ නොවීම මත කරන්නා වූ යම් ක්‍රියාවක් 
අදහස් වේ.


02. වධහිංසාවට ලක්වෙන්නේ මොන වගේ අයද..?


වැඩි වශයෙන් වධහිංසාවට ලක් වන්නන් වශයෙන් හඳුනාගෙන සිටින්නේ පහත දැක්වෙන අයයි.
■ පොලිස් සැකකරුවන්
■ බන්ධනාගාර රැඳවියන්
■ අත්අඩංගුවට පත්වූවන්
■ පරිවාසගතව සිටින්නන්
■ ලිංගික ශ්‍රමිකයන්
■ අඩු ආදායම් ලාභින්
■ සුළු ජාතික සහ ආගමික කණ්ඩායම්
■ වෙනස් ලිංගික වරණයක් සහිත කණ්ඩායම්
■ ආබාධිත පුද්ගලයන්
■ කාන්තාවන්
■ සංක්‍රමණික සේවකයින්
■ සරණාගතයින්
■ අවතැන්වූවන්


03. වධහිංසාවන්ට එරෙහිව පවතින ජාත්‍යන්තර නීතින් මොනවාද..?


■ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය
5 වන වගන්තිය – කිසිම පුද්ගලයෙකු වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට හෝ දඩුවමකට හෝ භාජනය නොකළ යුතුය.

■ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය
7 වන වගන්තිය – කිසිම පුද්ගලයෙකු වධහිංසාවකට හෝ කෲර අමානුෂික පහත් සැලකීමකට හෝ දඬුවමකට හෝ ළක් නොකළ යුතුය. විශේෂයෙන්ම කිසිවෙකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදාබැලීම් වලට භාජනය නොකළ යුතුය.

■ වධහිංසාවලට සහ වෙනත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය


04. වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පවතින නීතින් මොනවාද..?


■ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 
11 ව්‍යවස්ථාව
කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.

■ 1994 අංක 22 දරන වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත

■ අපරාධ නඩු විධාන සංග්‍රහය
23 වන වගන්තිය – සිරභාරයට ගනු ලබන තැනැත්තෙකු එම සිරභාරයට ගැනීම සම්බන්ධයෙන් වචනයෙන් හා ක්‍රියාවෙන් අවනත වන්නේ නම් එම පුද්ගලයාගේ ශරීරය ස්පර්ශ කරමින් ඔහු රඳවා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකළ යුතුය.

28 වගන්තිය – සිරභාරයට ගනු ලැබූ තැනැත්තෙකු ඔහු පැනයාම වැළැක්වීමෙහිලා අවශ්‍ය ප්‍රමාණයට වැඩි මැඩපැවැත්වීමක් නොකළ යුතුය.

30 වගන්තිය – ස්ත්‍රියක සෝදිසි කිරීමට සැලැස්වීම අවශ්‍ය වන කවර අවස්ථාවකදී වුවද ඒ සෝදිසිය වීනීතතාව කෙරෙහි ඉතාමත්ම සැලැකිලිමත්ව වෙනත් ස්ත්‍රියක් විසින් කළ යුතුය.

111 වගන්තිය – යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා නගා ඇති පුද්ගලයකුගෙන් එම චෝදනාව සම්බන්ධව යම් ප්‍රකාශයක් සිදු කරන ලෙසට ඒ තැනැත්තා පෙළඹවීම, තර්ජනය කිරීම හෝ පොරොන්දුවක් දීමට සැලැස්වීම යම් පරීක්ෂකවරයෙකු විසින් හෝ පොලිස් නිළධාරියෙකු විසින් නොකළ යුතුය.

123 වගන්තිය – විමර්ශන කාර්යය සදහා වරද ගැන සැකකරනු ලබන පුද්ගලයෙකුගේ යම් ඇගිල්ලක, අත්ලක හෝ පාදයක සලකුණක් හෝ ශරීරයේ යම් කොටසක සලකුණක් හෝ ඒ තැනැත්තාගේ ලේවල. කෙළවල, මුත්‍රාවල, හිසකෙස්වල හෝ නියපොතුවල ආදර්ශකයක් හෝ නියපොතුවලින් සූරා ගන්නා ලද යම් කොටසක් ගැනීම අවශ්‍ය වේ නම්, ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව එය සිදු කළ හැකිය. 

අදාළ සැකකරු එය ලබාදීමට කැමති නොවන්නේ නම්, අදාළ අධිකරණ බල සීමාව ඇතුළත මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් ඉල්ලීමක් කර, මහේස්ත්‍රාත්වරයාගේ ආඥාව පරිදි පමණක් එය සිදු කළ හැකිය.

අත්අකුරු වල ආදර්ශකයක් ලබාදීම සම්බන්ධයෙන් නෛතික තත්ත්වයද ඉහත පරිදිමය.

281 වගන්තිය – වයස අවුරුදු දහ අටට අඩු තැනැත්තන් සඳහා මරණීය දණ්ඩනය වෙනුවට රදවා තැබීමේ දඬුවම ප්‍රකාශ කළ යුතුය.


■ දණ්ඩ නීති සංග්‍රහය
312 වගන්තිය – යම් තැනැත්තෙකුට තුවාල සිදුකිරීමේ අදහසින් හෝ යම් තැනැත්තෙකුට තුවාල සිදුවිය හැකිය යන දැනුමෙන් යම් ක්‍රියාවකක් කොට ඉන් යම් තැනැත්තෙකුට තුවාල සිදුකරන තැනැත්තා ‘කැමැත්තෙන්ම තුවාල සිදු කල ලෙස’ සලකනු ලැබේ
.

313 වගන්තිය – සිදුකිරීමට අදහස් කරනු ලැබුයේ නැතහොත් සිදුවිය හැකි බව දැන සිටියේ බරපතල තුවාල වූ විට, හා තමා විසින් සිදුකරනු ලැබූ තුවාල බරපතල වූ විට එලෙස කැමැත්තෙන්ම තුවාල සිදු කරන තැනැත්තා ‘කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කල ලෙස’ සලකනු ලැබේ.


314 වගන්තිය – කැමැත්තෙන්ම තුවාල සිදුකරන තැනැත්තෙකු අවුරුද්දක් දක්වා කාලයක්ද දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් එක්දහස දක්වා දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.


317 වගන්තිය – වෙඩි තැබීම, පිහියෙන් ඇනීම හෝ කැපීම සදහා භාවිතා කරන උපකරණයකින් පහරදීම. මරණය සිදුකළ හැකි උපකරණයකින්, ගින්නෙන්, රත්කරනු ලැබූ දෙයකින්, විෂ වර්ගයකින්, පුපුරන ද්‍රව්‍යයකින්, යම් සතෙකුගේ මාර්ගයෙන් බරපතල තුවාල සිදු කර ඇත්නම් අවුරුදු දහය දක්වා කාලයක් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකටද යටත් විය යුතුය. බරපතල තුවාල සිදු කරනු ලැබීමට යටත් වු තැනැත්තා ස්ත්‍රියක හෝ දරුවෙක් නම් ඔහුට අතිරේකව කස පහර දීමකින්ද දඩුවම් කළ හැකිය.


321 වගන්තිය – වරද කියාපෑමක් බලෙන් කරවීමට හෝ දේපලක් නැවත ගැනීම බලකරවීමට කැමැත්තෙන්ම තුවාල සිදු කරන තැනැත්තෙකුට අවුරුදු හත දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය.

322 වගන්තිය – වරද කියාපෑමක් බලෙන් කරවීමට හෝ දේපළක් නැවත ගැනීම බලකරවීමට කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කරන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු අතර දඩයකටද යටත් විය යුතුය.


05. වධහිංසාවට ලක්වූ වින්දිතයෙක් කළ යුත්තේ කුමක්ද..?


■ නෛතික ප්‍රවේශ වීමකට ඉඩ ලැබුණු වහාම තමාට සිදුකර ඇති වධහිංසා සම්බන්ධයෙන් රජයේ රෝහලකින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරවා ගෙන අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්තාවක් ලබා ගැනීම. (මේ සඳහා නීිතිඥවරයෙකුගේ සහය ලබා ගැනීම සුදුසුය)


■ තමාට සිදුවූ වධහිංසාවන් තහවුරු කරමින් දිවුරුම් ප්‍රකාශකයක් සකස් කිරීම. (මේ සඳහා නීිතිඥවරයෙකුගේ සහය ලබා ගැනීම සුදුසුය)


■ මානව හිමිකම් කොමිසමට සිදුවූ වධහිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කිරීම.


■ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු කිරීම සහ පොලිස්පතිට එම පැමිණිල්ලේ පිටපත් යොමු කිරීම.
Police.lk වෙබ් අඩවිය හරහා පොලිස්පති සහන මැදිරිය වෙත Online ක්‍රමයට පැමිණිලි යොමු කිරීමේ හැකියාවද පවතී.


■ වධහිංසාව සිදුවී මාසයක් ඇතුළත මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම.


■ 1994 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීම.


06. වධහිංසාවට ලක්වී නොමැති නමුත් එවැන්නක් සිදුවීමට ඉඩ ඇතැයි හැගෙන්නෙකුට නෛතික සහනයක් තිබෙන්නේද..?


වධහිංසාවකට ලක්වීමට අත්‍යාසන්න යැයි හැගෙන අයෙකුට වුවද ඉහත ක්‍රමවේදය අනුගමනය කරමින් මූලික අයිතිවාසිකම් නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකිය.


07. වධහිංසාවට ලක්වී මිය ගිය තැනැත්තෙකු වෙනුවෙන් වෙනත් අයෙකුට මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කළ හැකිද..?

වධහිංසාවට ලක් වී මියගිය තැනැත්තාගේ ජීවතුන් අතර සිටින ළඟම ඥාතියාට, උරුමකරුවාට, යැපෙන්නන්ට මූලික අයිතිවාසිකම් නඩුකරය ගොනු කිරීමට නෛතික හැකියාවක් තිබේ.


08. වධහිංසාවට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුකරයෙන් ලැබෙන නෛතික ප්‍රතිකර්ම මොනවාද..?

■ මූලික අයිතිවාසිකමක් කඩ වී ඇති බව ප්‍රකාශයට පත් කිරීම
■ රජයෙන් සහ වගඋත්තරකරුගෙන් පෞද්ගලිකව යන දෙයාකාරයෙන්ම වන්දි මුදලක් නියම කිරීම.
■ ඉල්ලීමක් කර ඇත්නම් වධහිංසා පනත යටතේ මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් ලබාදීම.


09. 1994 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ වධහිංසාව සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ අයට ලැබෙන දඬුවම කුමක්ද..?


පනතේ 02 වන වගන්තිය අනුව, මෙවැනි නඩුවකින් වරදකරු වන පුද්ගලයෙකු, අවුරුදු 07 ට නොඅඩු, අවුරුදු 10 ට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීම සහ, රුපියල් දස දහසකට නොඅඩු, රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් කළ හැකිය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *