ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ විවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවන ලදී.
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත. ලිහිසිතෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඊට අදාල පනත් සංශෝධන තත්වයේ පවතී.එලෙසම ජල සේවා හා ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන කටයුතු සඳහා කොමිසම සූදානමින් සිටී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ ගැනීමේදී, පාරදෘශ්‍යය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරයි. මෙහිදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් සපයා ඇති ප්‍රතිපාදන අනුව මහජන උපදේශනය හෝ පාර්ශවකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විධිමත් ක්‍රියාපටිපාටියක් යටතේ තීන්දු තීරන ගනු ලබයි.
වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලිබල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරණු ලැබීය.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. බලපත්‍රලාභීන්ගේ නිසි කාර්යසාධනයට උරදීමද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍ය භාවයකින් අවසාන තීරණ වලට එලඹේ.බලපත්‍රලාභියාගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමට පසුබිම සෑදීම මගින් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කර්මාන්තයේ යහපැවැත්මට කටයුතු කිරීම කොමිසමේ අභිලාශයයි.
කොමිසමේ මූලික හරය, එසේ නැතිනම් අරමුණ වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම බව ඉතාමත් පැහැදිලිව සදහන් කර තිබේ. එසේම පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට නීතිමය බලයක් ඇති ආයතනයක් ලෙස මෙම කොමිසම වෙනත් විදිහකට අර්ථගැන්විය හැකිය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල අයක්‍රම නිවේදනය කරන ලදී.විදුලිබල පනතේ දක්වා ඇති ආකාරයට බලපත්‍රලාභීන් විසින් ගොනුකරන ලද අයක්‍රම මත පදනම්ව විදුලිබල අයක්‍රම පිළියෙල කරන ලදී.පාරිභෝගිකයින් වෙත සේවා සැපයීමේදී බෙදාහැරීමේ බලපත්‍රලාභීන් විසින් තහවුරු කරගතයුතු පරාමිති තීරණය කරන තාක්‍ෂණික පිළිවිතර හා ජාතික විදුලිබල පද්ධති මාර්ගෝපදේශ සහ බෙදාහැරීමේ පද්ධති මාර්ගෝපදේශයන්හි තාක්‍ෂණික සහ ආරක්‍ෂක ප්‍රමිති සකසන ලද්දේ මෙම කොමිසම විසිනි.
කොමිෂන් සභාවේ නියාමන තීරණ ගැනීමේ එක් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ රටේ ජනතාවට විශාල වශයෙන් බලපාන කරුණු පිළිබඳව තීරණයට එළඹීමට පෙර සියලු පාර්ශ්වකරුවන්ගෙන් විමසීමය.කොමිෂන් සභාව විසින් විශ්වසනීය සහ ආරක්ෂිත විදුලිය ලබාගැනීමට ඇති පාරිභෝගිකයන්ගේ හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට, නව සම්බන්ධතාවක් සැපයීමකදී,පාරිභෝගිකයන්ගේ හිමිකම්, සැපයුම පිළිබඳව පැමිණිළි, මනු කියවීමේ පටිපාටි, සේවා ගාස්තු, සේවා සපයන්නන්ගේ මිල ව්‍යුහයන් සහ බිල් ගෙවීම් පටිපාටිය, ආදිය සඳහා යොදා ගනී. තවද විදුලිබල සැපයුම පරිභෝජනයේදී ඒවා පිළිබඳ විරෝධතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ දැනුම වැඩි කිරිම සඳහා කොමිෂන් සභාව කටයුතු කර ඇත.
පාරිභෝගික පැමිණිලි වලට සහන සැලසීමේ කාර්යභාරය තුළ කොමිෂන් සභාව සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන ලදී.මහජනතාවට පැමිණිලි කිරීමටත් කොමිසම ඒවාට සහන ලබාදීමටත් විශේෂයෙන් මැදිහත්වීම මෙම කොමිසමේ විශේෂත්වයක් විය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු (ළ්ණ්ඝ්)බලාගාරයක් ඉදිකිරීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතියි.මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය වියයුතු බවට අග්‍රාමාත්‍යවරයා 2021 වසර සඳහා වූ අයවැය ලේඛණය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් යෝජනා කරන ලදී.
බලශක්ති අංශය නියාමනය කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට පියවර ගන්නා ලෙසත් එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසත් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ලිපියක් මඟින් කර ඇති දැනුම් දීමෙන් පසු එහි සියලුම සාමාජිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එහි සාමාජික මහාචාර්ය කපිල පෙරේරා තහවුරු කරයි.ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් පස්දෙනා ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිත්වය දැරුවේ මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා වන අතර චන්ද්‍ර ඒකනායක එහි උප සභාපති ලෙස කටයුතු කරන ලදි.අනෙක් සාමාජිකයින් වූයේ ආචාර්ය නිෂාන් ද මෙල් සහ සඳුන් ගමගේ ය.පස් දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාව අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පත් කෙරෙන සාමාජිකයන්ගේ එක් වාරයක ධූර කාලය වසර 5 ක් දක්වා බල පැවැත්වේ. ඊට පත්වන සාමාජිකයෙකු ඉල්ලා අස්වුවහොත් හැර සාමාජික ධුරය ඉවත් කළ හැක්කේ කිසියම් විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධ චෝදනා තහවුරුවීමෙන් පසු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමෙන් අනතුරුවයි.
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නොසතුට පළකර සිටියි.අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, එම කොමිසම පවතින්නේ අගමැතිවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේද අගමැතිවරයා විසින් බවයි.ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයිද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.
මේ අතර විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි. එම කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි. යම් නියාමනයක් අවශ්‍ය බව පවසන ඇමතිවරයා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් සදහන් කරයි.එමෙන්ම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේ සංශෝධන පමණක් සිදුවන බවද ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිප දෙනකු විසින්ම විරෝධය පළ කොට ඇත.මෙහිදී ඇමැතිවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ අදාළ කොමිසම පනතක් මගින් පිහිටුවා ඇති නිසා පනතක් මගින්ම එය අහෝසි කළ යුතු බවත්, ලිපියක් යැවීම හරහා එය කළ නොහැකි බවත්ය.