IMG-LOGO
Home ලිපිය බන්ධනාගාර කෝලාහල, මානව හිමිකම් හා දඬුවම් නොලබා සිටීම

බන්ධනාගාර කෝලාහල, මානව හිමිකම් හා දඬුවම් නොලබා සිටීම

Date : 2020-Dec-05
IMG

බන්ධනාගාර කෝලාහල ගෙදර දොරේ කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත් වී ඇත. වාර්තාවලට අනුව, 1980 සිට අපට අවස්ථා පහකදී බන්ධනාගාර කෝලාහල දැක්නට ලැබිණි. මෙම සියළුම කෝලාහල මනුෂ්‍ය සංහාර සහ විනාශයන්ගෙන් අවසන් වුවද, බන්ධනාගාර පරිපාලනය විසින් ඉඩ දෙන ලද ක්‍රෑරත්වයට එරෙහිව කිසිඳු වැදගත් මහජන කථීකාවක් හෝ නිළ වශයෙන් වන විරෝධයක් ඇති නොවීය. එමෙන්ම මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා වන යාන්ත්‍රණයන් හෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව සංවාදයක් ද ඇති වී නොමැත.    


1980 සිට ඇති වූ බන්ධනාගාර කෝලාහල පහ මේසේය: 1983 දී වැලිකඩ (මරණ 35යි), 1997 දී කළුතර (මරණ 03යි), 2000 දී බිඳුණුවැව (මරණ 26යි), 2012 දී වැලිකඩ (මරණ 27ක් හා තුවාලකරුවන් 43යි). ඉතා මෑතදී වාර්තා වූ කෝලාහලය මහර බන්ධනාගාරයේ සිදුවීම වන අතර එහිදී 08 දෙනෙකුගේ ජීවිත අහිමි වී රැඳවියන් 100ට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.   


සියවස් ගණනාවක සිට අපේ රටේ බන්ධනාගාර පැවතියේය. නමුත් වර්තමාන බන්ධනාගාර ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලද්දේ 1844 දී ආඥා පනතකිනි (1844 අංක 18 දරණ පනත). නඩු විභාග පැවැත්වෙන තෙක් සිටින පුද්ගලයින් හෝ මරණ දඬුවම හිමි වූ හෝ රටින් නෙරපා හරින ලද පුද්ගලයන් රඳවා ගැනීම හෝ දඩයක් හෝ ණයක් ගෙවන තෙක් පුද්ගලයන් රඳවා තැබීම සඳහා බන්ධනාගාර ස්ථාපිත කර ඇත. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළ සිරකරුවන් ලෙස හැඳින්වේ. ඇතැම් විට රටට යම් තර්ජනයක් එල්ල කරන පුද්ගලයන්ට දිගු කාලයක් පුරාවට ඔවුන්ගේ නිදහස අහිමි වී තිබිය හැකිය. ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස හැඳින්වේ. අනෙක් සිරකරුවන් වන්නේ රටේ දණ්ඩ නීති මත පදනම්ව දඬවම් නියම වී ඇති සිරකරුවන්ය.          

දඬවමක් ලෙස යම් පුද්ගලයෙකු සිරගත කළ විට එය දඬුවමක් ලෙස සැලකිය හැක්කේ කුමන පදනමක් මතද? අවාසනාවට බොහෝ දෙනෙකුහට මෙවැනි සිරගත කිරීමකට අදාළ තාර්කිකත්වය කිසිදාක අවබෝධ කරගැනීමට හෝ පැහැදිලි කර දීමට නොහැක. අප සැවොම දන්නා පරිදි මනුෂ්‍යයෙකු යනු ස්වභායෙන්ම සමාජ සත්වයෙක් වන අතර සමාජය තුළ බාධාවකින් තොරව හැසිරීමට ඇති නිදහස අහිමි කිරීම දඬුවමක් ලෙස සැලකිය හැකිය.    


සිරකරුවන් යනු රටේ පුරවැසියන් වන අතර ඔවුන් ද මනුෂ්‍යයෝ වෙති. සිරකරුවෙකුට බන්ධනාගාරය තුළ රැඳී සිටීමට සිදු වන්නේ නම් ඔහුට හෝ ඇයට තුවාල සිදු වීමකින් තොරව සිටීමේ අයිතිය හා ජීවත් වීමේ අයිතිය යන මූලික අයිතීන් ද්විත්වය භුක්ති වීඳීමට හිමිකම ඇත (නීතියෙන් එම හිමිකම් අහිමි කර නැති අවස්ථාවලදී). එබැවින්, සිරකරුවන්ගේ මෙම අයිතීන් ද්විත්වය සුරැකීම රජයේ වගකීම වේ.   


නීතියේ මෙම වගකීම අර්ථ දක්වා ඇත්තේ ආරක්ෂාව පිළිබඳ වගකීම ලෙසයි. ආරක්ෂාව පිළිබඳ වගකීම යන්න අර්ථ දක්වා ඇත්තේ අනෙක් පුද්ගලයන්හට තුවාල සිදු වීමට හැකියාව ඇති ප්‍රතිඵල ගෙන දෙන ඕනෑම ක්‍රියාවක් කිරීමෙන් වැළකීම හෝ අත්හැරීමයි. ආරක්ෂාව පිළිබඳ වගකීම සහිත ඕනෑම පුද්ගලයෙකුහට එම වගකීම අත්හැරිය නොහැක. සිරකරුවන් සම්බන්ධයෙන් ගත් කල, එම වගකීම දරනු ලබන්නේ බන්ධනාගාර අධිකාරීන් විසිනි.      


ජීවත් වීමේ අයිතිය යනු අහිමි කළ නොහැකි මානව හිමිකමකි. ඇතැම් හිමිකම් හා නිදහස මානව පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ඒවා සෑම පුද්ගලයෙකුම මනුෂ්‍යයෙකු වීමේ ප්‍රතිඵලයක් ලෙස සහජයෙන් හිමිවන අයිතීන් වන අතර එක් එක් පුද්ගලයාගේ ගරුත්වය හා වටිනාකම වෙනුවෙන් ප්‍රතිස්ථාපිත කර ඇත. ඒවා පාලකයෙකු හෝ රජයක අවශ්‍යතාව මත දෙනු ලබන වරප්‍රසාද හෝ ත්‍යාග නොවේ. ඒවා කිසිඳු අත්තනෝමතික බලයක් මගින් උදුරා ගැනීමටද නොහැක. යම් පුද්ගලයෙකු යම් වරදක් සිදු කිරීම හෝ යම් නීතියක් කඩ කිරීම හේතුවෙන් මෙම අයිතීන් ප්‍රතික්ෂේප කිරීමට හෝ අහිමි කිරීමට නොහැක.


සිය නිදහස නීත්‍යානුකූලව අහිමි වූ පුද්ගලයෝ බන්ධනාගාර වෙත පැමිණෙති. ඔවුන් ආරක්ෂිතව රඳවා තබාගෙන බොහෝ අවස්ථාවල ඔවුන් නැවත ප්‍රජාව වෙත නිදහස් කිරීම බන්ධනාගාරයේ හා බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ වගකීමයි. මෙය එතරම් පහසු කාර්යයක් නොවේ. සමාජය වෙනුවෙන් ඉතාම අභියෝගාත්මක හා පීඩාකාරී කාර්යයන් මීට අදාළවේ. කෙසේ වුවද, සාමාන්‍ය තත්වයන් යටතේ මෙන්ම ආන්තික තත්වයන් යටතේ තම සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මානව හිමිකම්වලට අදාළ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳ දැනගැනීමට හා ඒවා අදාළ කර ගැනීමට බන්ධනාගාර නිලධාරීහු බැඳී සිටිති.            

රටේ නීතිය හැර සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට මග පෙන්විය හැකි ප්‍රධාන උපකරණ තුනක් වේ. මෙම ජාත්‍යන්තර ලේඛන පහත පරිදි වේ:


1.    සිරකරුවන්හට සැලකීම සඳහා වන සම්මත අවම නීති

2.    ඕනෑම ආකාරයක රඳවා ගැනීමක් හෝ බන්ධනාගාරගත කිරීමක් යටතේ සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන මූලධර්ම සමූහය

3.    සිරකරුවන්ට සැලකීම සඳහා වන මූලික මූලධර්ම  


මෙම උපකරණ තුන මගින් රඳවා තබා ගන්නා හෝ බන්ධනාගාරගත කරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන සියල්ල ඇතුළත් වූ සුරක්ෂිතතාවන් රාශියක් සපයනු ලැබේ. 1955 දී ජිනීවාහි පැවැත්වූ අපරාධ වැළැක්වීම හා වරදකරුවන්ට සැලකීම පිළිබඳ පළමු එක්සත් ජාතීන්ගේ කොන්ග්‍රසයේ දී සිරකරුවන්හට සැලකීම සඳහා වන සම්මත අවම නීති පිළිගනු ලැබූ අතර පසුව ඒවා ආර්ථීක හා සමාජීය කවුන්සිලය මගින් අනුමත කරන ලදී. 1988 දෙසැම්බර් මස පැවති මහා මණ්ඩලයේදී ඕනෑම ආකාරයක රඳවා ගැනීමක් හෝ බන්ධනාගාරගත කිරීමක් යටතේ සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන මූලධර්ම සමූහය පිළිගන්නා ලදී. 1990 දෙසැම්බර් මස මහා මණ්ඩලයේ දී පිළිගන්නා ලද සිරකරුවන්ට සැලකීම සඳහා වන මූලික මූලධර්ම සමග ප්‍රමිතීන් 11කින් යුතු සුරක්ෂිතතාවන් සමූහය සම්පූර්ණ විය.    


මහර බන්ධනාගාරය තුළ කෝලාහල සිදු වූයේ රැඳවියන් ගණනාවකට කොවිඩ් - 19 ආසාදනය වීමත් සමගයි. ශ්‍රී ලංකාවේ බොහෝමයක් අනෙක් බන්ධනාගාර මෙන්ම මහර බන්ධනාගාරය ද දැඩි තදබදයක් සහිත රැඳවියන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බන්ධනාගාරයක් බව කියැවේ. මෙම කෝලාහල ඇති වීමට හේතු වූ සාධක අතර එකිනෙකාට ඉතා සමීපව රැඳවියන් රඳවා තැබීම නිසා කොවිඩ් - 19 වැළඳෙනු ඇතැයි යන බිය හා කනස්සල්ල සහ සිය පීසීආර්  පරීක්ෂණ සිදු කරන ලෙස රැඳවියන් විසින් නැවත නැවතත් සිදු කරන ලද ඉල්ලීම් නොසලකා හැරීම වන බවට විශ්වාස කෙරේ.         


මෙය කොවිඩ් - 19 ආසාදිත රැඳවියන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම අසාධාරණ බවත් එමගින් අනෙකුත් සිරකරුවන්හට පහසුවෙන් මෙම වයිරසය ව්‍යාප්ත වනු ඇති බවට රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් පසුව ඇති වූ අවාසනාවන්ත සිදුවීමකි. මෙම කැළඹීමට ප්‍රතිචාර වශයෙන් බන්ධනාගාර නියාමකවරුන් වෙඩි තැබීමත් සමග එය කෝලාහලයක් බවට පත් විය. වෙඩි තැබීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් රැඳවියන් ගණනාවක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.   



මෙවැනි තත්වයක් යටතේ මේ ආකාරයේ සිදුවීමකදී කෝලාහලයක් පාලනය කිරීම සඳහා නිලධාරීන් විසින් අවම බලය යෙදීම පිළිබඳ සඳහන් කිරීම ප්‍රයෝජනවත් වේ. බලය යෙදීම, සිදු වීමට ආසන්න අනතුරට මෙන්ම සිරභාරයේ සිටින රැඳවියන් කෙරෙහි ඔවුන් සතු වගකීම යන කරුණු දෙකටම සමානුපාතික විය යුතුය යන්න නීතිය තුළ පිළිගත් සම්මතය වේ. පසුගිය කාලයට අදාළ වාර්තාවලින් මෙන්ම මහර බන්ධනාගාර කෝලාහලය මගින් පෙනී යන්නේ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ දී අවංක වීමට නොහැකී වූ බවයි. මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වා නිලධාරීන් සිය රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ වන වගකීම පැහැරහැර ඇත්දැයි සොයා බැලීම රජයේ වගකීමයි. එසේ නොවුණහොත් මෙය දඬුවම් නොලබා සිටීම මත පදනම් වූ නරක පූර්වාදර්ශයක් වනු ඇත.       


දඬුවම් නොලබා සිටීම යනු සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නැති වීම හෝ ඒ සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් විසින් සමාව දීමයි. ශ්‍රී ලංකා රජය විසින් මහර බන්ධනාගාර කෝලාහල පිළිබඳ නිවැරදී මානව හිමිකම් දැක්මක් සහිත දැඩි තීරණයක් නොගතහොත් දඬුවම් නොලබා සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පසුගිය කාලයට අදාළ වාර්තා රාශියට මෙයද එක්වනු නොඅනුමානය.


මෙම තත්වය යටතේ බන්ධනාගාර කෝලාහලවල වින්දිතයන්හට ඵලදායී විසඳුමක් සඳහා වන අයිතිවාසිකම තහවුරු කිරීම රජය සතු වගකීමයි. මෙම බැඳීමේ කොටසක් ලෙස විශ්වාස කළ හැකි චෝදනා ඵලදායීව, අප්‍රමාදව, ගැඹුරින් හා අපක්ෂපාතීව විශ්ලේෂණය කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් ඇති කිරීම සහ මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්හට නඩු පැවරීමට යෝග්‍ය අවස්ථාවලදී පියවර ගැනීම රජය විසින් කළ යුතුය. තවද බන්ධනාගාර කෝලාහලවල වින්දිතයන්හට යුක්තිය කෙරෙහි සමාන හා ඵලදායී ප්‍රවේශයක් පවතින බවට වගබලා ගැනීම ද රජය විසින් සිදු කළ යුතුය.       

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

නිර්මල සේනානායක

රිමාන්ඩ් රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි.

Dec - 08

සුදාරක

හොද විස්තරාත්මක ලියවිල්ලක් .සමාජ මාධ්‍ය තුල සුලබ කරන්නේනම් මැනවි

Dec - 14