IMG-LOGO
Home ලිපිය ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය

ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය

Date : 2020-Nov-28
IMG

ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ අයවැයට අදාළව අවශ්‍යතාවක් වේ නම් ඒ ඥාණාන්විත බව හා  නිවැරදි ගමන් මගයි. ඔබ ගමන් කරන ස්ථානය කුමක්දැයි නොදන්නේ නම් ඕනෑම මාර්ගයක් ඔබ එම ස්ථානයට රැගෙන යන්නේ යැයි කියමනක් තිබේ. ප්‍රතිඵල පාදක කළමනාකරණය තුළින් මග හැරීමට අපේක්ෂා කරන්නේ මෙම ගමන් මග පිළිබඳ අවබෝධයක් නොමැති කමයි. පළමුව ඒ තුළින් සිදු කරන්නේ ගමන් මග හා ගමනාන්තය තෝරා ගැනීම, එම ගමනාන්තයට ළඟා වීමට භාවිතා කරන මාර්ගය හා අතරමැද නවතින ස්ථාන පිළිබඳ තීරණය කිරීම, සිතියමක් අනුව ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ අපේක්ෂිත ප්‍රතිඵල (උදා: නිමැවුම්, ප්‍රතිඵල, බලපෑම) ළඟා කර ගැනීමට අවශ්‍ය වන මාර්ගයේ වෙනස්කම් සිදු කිරීම ආදියයි.

1997 දී කොෆී අන්නන්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතීන්ගේ වැඩසටහන් අයවැය යෙදවුම් ගිණුම්කරණය පද්ධතියක සිට ප්‍රතිඵල පාදක වගවීම වෙත මාරු විය. එවැනි ප්‍රවේශයකට පටහැනිව ශ්‍රී ලංකාව තුළ 2021 සඳහා තවත් අයවැය චක්‍රයක් ආරම්භ කරන ලද අතර ප්‍රතිඵල පාදක දෘෂ්ඨිකෝණයක් එයට අදාළ වන බවක් පෙනෙන්නට නොමැත. මෙම තත්වය යටතේ මෙහි දී සිදු කරනු ලබන්නේ අයවැය, ප්‍රතිඵල පාදක වගවීමේ රාමුවක් බවට පරිවර්තනය කිරීම සඳහා අපගේ අයවැය නීතිවලට ඇති හැකියාව කෙතරම් ද යන්න පිළිබඳ පරීක්ෂා කර බැලීමයි. මන්ද යත්, මෙහිදී දහස් ගණනින් හා බිලියන ගණනින් මහජන මුදල් වැය කරන ආකාරය පිළිබඳ තීරණය කරන බැවිණි. 

සමාජ සම්මුතිය

වගවීම පිළිබඳ වන අදහස ඇති වන්නේ පාලකයන් (ජනතා නියෝජිතයන්) හා පුරවැසියන් අතර පවතිනවා යැයි අප විශ්වාස කරන උපකල්පිත “සමාජ සම්මුතිය“ තුළිනි. මෙම මතය  මගින් එක් අතකින් රාජ්‍ය පාලනය නීතියේ ආධිපත්‍යය මත පදනම් විය යුතු බව අවධාරණය කෙරේ. අනෙක් අතට පාලනයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව තහවුරු කිරීමට වගවීම අවශ්‍ය බව විශ්වාස කෙරේ. වගවීම හා පාලනයේ කාර්යක්ෂමතාව අතර නිසග සබඳතාවක් පවතියි.   

එවැනි සන්දර්භයක් තුළ රටක සම්පත් වෙන් කිරීමේ භාවිත මට්ටම මැන බැලීම සඳහා ප්‍රධාන දර්ශකය විය යුත්තේ ප්‍රතිඵලාභිමුඛ සංවර්ධනයයි. මෙහි දී ප්‍රතිඵල පාදක කළමනාකරණය තහවුරු කිරීම සඳහා ප්‍රධාන මූලධර්ම පහක් භාවිතා කරනු ලැබේ. එනම් ප්‍රතිඵල හා බලපෑම් දිශානතිය, සාමූහික ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා වන අන්තර් ක්ෂේත්‍ර ප්‍රවේශය, අන්තර්ග්‍රහනීය හා සහභාග ප්‍රවේශය, විනිවිදභාවය හා අනුවර්තී කළමනාකරණයයි.       

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙරට වාර්ෂික අයවැය වෙන් කිරීමේ ක්‍රියාවලියක් භාවිතා කෙරිණි. ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලිය ජාතික නීති, එනම් ව්‍යවස්ථාපිත අයවැය නීතිය හා මූල්‍ය වගකීමට අදාළ නීතය, මගින් පාලනය වේ. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ අයවැය හා මූල්‍ය වගකීම සඳහා වන නෛතික රාමුව මගින් ප්‍රතිඵල පාදක සංවර්ධන කළමනාකරණය හෝ ප්‍රතිඵල පාදක වගවීමට අදාළ ප්‍රවේශය අදාළ කර ගැනීම සඳහා නිලධාරීන් කෙරෙහි අත්‍යවශ්‍ය වගකීමක් නොපැවරේ. 

ජාතික ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීමේ වගකීම දරණ ප්‍රධාන රාජ්‍ය ආයතන වන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මූල්‍ය කොමිෂන් සභාවයි. ජාතික මෙන්ම පළාත් මට්ටමේ සංවර්ධනය අධීක්ෂණය හා ඇගයීම පිළිබඳ කාර්යයන් ද එම ආයතන වෙත පැවරී ඇත. මෙම ඕනෑම මට්ටමක දී ප්‍රතිඵල ළඟා කර ගැනීම පිළිබඳ වන අපේක්ෂාව එම ආයතනවල දැක්මෙහි ඇතුළත් වන්නේ ද යන්න ගැටළුවකි. 

ශ්‍රී ලංකාව තුළ සංවර්ධන වගවීම බොහෝ විට අවබෝධ කර ගනු ලබන්නේ මූල්‍ය වගවීම ලෙසයි. නමුත් මෙම ප්‍රවේශයට ප්‍රතිඵල මගහැරේ; එනම් වියදම් කිරීමේ නිමැවුම්, ප්‍රතිඵල හා බලපෑමයි. මූල්‍ය රෙගුලාසි 1 අනුව රජයේ මූල්‍ය වර්ෂය සෑම වසරකම ජනවාරි 1 දිනෙන් ආරම්භ වී එම වසරේ ම දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන අතර අයවැය වෙන් කිරීමට අනුව රාජ්‍ය ආයතන මගින් සිදු කළ වියදම් පිළිබඳ අවම වශයෙන් වසරකට එක් වරක්වත් වාර්තා කිරීම අවශ්‍ය වේ. 

මූල්‍ය රෙගුලාසි 124 අනුව සියළු ම ලැබීම් හා ගෙවීම් පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මූල්‍ය හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යය වේ. එබැවින් අමාත්‍යවරයා විසින් දෙපාර්තමේන්තු මූල්‍ය ගණුදෙනු  අධීක්ෂණය කිරීම හා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ පවතින සියළු ම දෙපාර්තමේන්තු ඇතුළුව අමාත්‍යංශයේ මූල්‍ය පරිපාලනය ප්‍රමාණවත් වන බවට වග බලා ගැනීම සඳහා එක් එක් අමාත්‍යංශයේ ලේකම් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස පත් කරනු ලැබේ. 

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විගණකාධිපතිවරයාගේ බලතල ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විසින් තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළව සංවිධානයේ පද්ධිති, ක්‍රියාපරිපාටීන්, පොත්, වාර්තා හා වෙනත් ලේඛන නිසි ආකාරයෙන් හා ප්‍රමාණවත්ව සකස් කර තිබේද යන්න සහ අරමුදල්වලට අදාළ වගකීම් හා එවැනි අරමුදල් භාවිතා කිරීම කාර්යක්ෂමව සිදු වූයේ ද යන්න පරීක්ෂා කිරීමට සීමා වේ. මෙවැනි ප්‍රවේශයක් මගින් යමෙකු වියදම් කිරීමේ ඵලදායීතාව පිළිබඳ දැනුවත් වීම වළවක්වනු ලැබේ.    
මෙම ප්‍රවේශයෙහි පටු ස්වභාවය ඉතා පැහැදිලි වන අතර 2019 අයවැය පිළබඳ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව කියවා බැලීමේ දී එය පෙනී යයි. උදාහරණ ලෙස, අධ්‍යාපනය හා සෞඛ්‍යය පිළිබඳ වාර්තාව මගින් ලබා දී ඇති විශ්ලේෂණය මගින් සැලසුම්කරණය, අයවැය සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ දී අපගේ ජාතික මට්ටමේ දුර්වලතා මනාව පෙන්නුම් කෙරේ.    

2019 දී මධ්‍යම රජය විසින් සෞඛ්‍ය අංශය වෙත වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රු.බි. 188ක් වූ අතර එය අයවැයෙන් 5.63%ක් සහ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.21%කි. 2013 සිට වියදම වසරකට 11.8% ක් පමණ වන සාමාන්‍ය අනුපාතයකින් ඉහළ ගොස් ඇත. එමෙන් ම, ඇස්තමේන්තු පමණට වඩා සුභවාදී වී ඇති අතර 2013 සිට 2017 දක්වා සෞඛ්‍ය අංශයේ වියදම සඳහා 13%ක සාමාන්‍යයකින් වෙන් කළ ප්‍රතිපාදන අඩු වී ඇත.  

2019 දී අධ්‍යාපන අංශය වෙත රජය විසින් ලබා දෙන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රු.බි. 198ක් පමණ වූ අතර එය අයවැයෙන් 5.92%ක් ද නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.27% ක් ද විය. 2013 – 2017 දක්වා කාල සීමාව තුළ වියදම 19% ක සාමාන්‍යයකින් ඉහළ  ගොස් ඇත. 

2018 හා 2019 අධ්‍යාපන අංශය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන රු.බි. 188 – 198 අතර ප්‍රමාණයක් වූ අතර 2017 දී සත්‍ය වශයෙන් ම මෙම අංශයේ වියදම රු.බි. 137ට වඩා අඩු වීම පිළිබඳ සැලකීමේ දී 2018 දී අයවැය ප්‍රමාණවත් අයුරින් වියදම් කළේද යන්න හෝ 2019 දී එය එසේ වේවිද යන්න තීරණය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හැකියාවක් නොමැත. මෙම ගැටළුව පසුගිය කාලයේ ලද අත්දැකීම් මගින් තහවුරු වේ. 2013 – 2017 දක්වා කාල සීමාව තුළ මධ්‍යම රජයේ අධ්‍යාපනයට අදාළ සත්‍ය වියදම සඳහා 21%ක සාමාන්‍යයකින් වෙන් කළ ප්‍රතිපාදන අඩු වී ඇත.   

සංවර්ධනයේ දී අප මුහුණ පෑ ගැටළු, සිද්ධි අධ්‍යයන දෙක පිළිබඳ විශ්ලේෂණය තුළින් මනාව පැහැදිලි වේ. සංවර්ධනයේ දී අප යා යුතු මාර්ගය හා ගමනාන්තය මග හැරී ඇත. මෙම මාර්ගය පිළිබඳ නොදැනුවත් බව පිළිබඳ තවත් උදාහරණයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහනයි. ප්‍රජාවේ සමාජ - ආර්ථික තත්වය නගා සිටුවීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වාර්ෂිකව රු.මි. 10.00ක් වෙන් කිරීමට ප්‍රතිපත්ති තීරණයක් ගන්නා ලදී. ඒ අනුව, 2018 වර්ෂයේ දී විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන සඳහා රු.මි. 2,250ක් වෙන් කරන ලද අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රු.මි. 2,186.78ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 17,514ක් අනුමත කෙරිණි. පසුගිය දශක දෙක තුළ පමණක් විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන සඳහා වෙන් කරන ලද අරමුදල් ගණනය කළහොත් එම ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ගණනක් වේ. කෙසේවතුදු, එම ආයෝජනවල සංවර්ධන ප්‍රතිඵල හා බලපෑම මැන බැලුවහොත් ඒවා මැන බැලීම සඳහා අප දත්ත රැස් කර නොමැති බව පැහැදිලි වේ. එබැවින්, ඒවායේ ප්‍රතිඵල මැන බැලීමට අපට හැකියාවක් නොමැති අතර එසේ මැන බැලුවද එය ඉතා සුළු ප්‍රමාණයක් ද වනු ඇත.    

ඉහත තත්වයන් යටතේ සහ ශ්‍රී ලංකාට මුදල් දැඩි ලෙස හිඟ වූ අවස්ථාවක කාර්යසාධනය මත පදනම් වූ සාම්ප්‍රදායික අධීක්ෂණ හා ඇගයුම් ක්‍රියාවලිය සහ ප්‍රතිඵල පාදක සංවර්ධනය පිළිබඳ නව ආදර්ශනයක් අතර සබඳතා ඇති කරන ප්‍රතිපත්තියක් සකස් කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුය. මෙම නව ආදර්ශනය සංවර්ධනයට අදාළ තීරණ ගැනීම සඳහා නව ප්‍රවේශයකට ඉඩ සලසන්නේය.  

 


Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *