මෑතක දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබීම හේතුවෙන් පෞද්ගලීකරණය කළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමග නැවතත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳ මාතෘකාව කරලියට පැමිණ තිබෙනවා.මේ පිළිබඳව එකිනෙකට පරස්පර වූ මත දැකිය හැකි හෙයින් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපල පිළිබඳව නැවතත් සාකච්ඡා කළ යුතුයි.
ඇඩම් ස්මිත් ඔහුගේ " ජාතීන්ගේ ධනය" කෘතිය තුළින් පෞද්ගලීකරණය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්.
"රජය සතු ඉඩම් පුද්ගලික අංශයට විකිණීම තුළින් විශාල ආදායමක් උපයාගත හැකි අතර පෞද්ගලීකරණය තුළින් ව්‍යාපාරික ආයතනවල ඵලදායීතාවය සහ කාර්‍යක්ෂමතාවය වැඩිකර ගත හැකිය."
පෞද්ගලීකරණය පිළිබඳව 1970 වසරේ ලෝක පුරා පැතිර ගිය ඉන්ධන අර්බූධය සමග කරලියට පැමිණියත් එය ක්‍රියාවට නැංවූයේ 1980 වසරෙන් පසුවය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මන් ෆෙඩරල් සමූහාන්ඩුවේ රාජ්‍ය ව්‍යවසායක් වන සීමා සහිත ඔටෝ මොබයිල් වොක්ස්වැගන් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් එය ආරම්භ වනවා.නමුත් එය වඩාත් ක්‍රමවත්ව ආරම්භවූයේ එංගලන්තය තුළදී බවයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී 1987 වසරේ ශ්‍රී ලංකා රජය විසින් පෞද්ගලීකරණය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.මෙහි අරමුණු ලෙස හැඳින්වූයේ,
ආර්ථික කාර්‍යයක්ෂමතාවය සහ නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීම.
ව්‍යාපාරවල ආයෝජනය වැඩිකර ගැනීම තුළින් නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සහ නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම.
ව්‍යාපාරවල මූල්‍යමය හැකියාවන් සහ ලාභදායීත්වය වර්ධනය කර ගැනීම මගින් ව්‍යාපාර සංවර්ධනය කර ගැනීම.
රජයේ අයවැය මත ඇතිවන පීඩනය අවම කරගැනීම
යන අරමුණුයි.
1987 අංක 22 දරණ රාජ්‍ය සංස්ථා පනත,1987 අංක 23 දරණ රාජ්‍ය සමාගම් පනත් යන පනත තුළින් හඳුන්වා දී ඇති ඇතැම් ප්‍රතිපාදන පෞද්ගලීකරණය සඳහා අවකාශය සලසා දී තිබෙනවා.1987 වසරේ පත් කරන ලද පෞද්ගලීකරණය කරණය පිළිබඳ ජනාධිපති කොමිසම පිහිටුවන ලද අතර එම කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා 1989 රාජ්‍ය ආයෝජන කළමණාකාරීත්ව මණ්ඩලය පිහිටුවනු ලැබුවා.ඒ වගේම 1996 අංක 1 දරණ රාජ්‍ය ව්‍යවාසාය ප්‍රතිසංස්කරණ පනත මගින්ද රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා අවකාශය සලසා දී තිබෙනවා.මේ ආකාරයට පැවති විවිධ රජයන් විසින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
පෞද්ගලීකරණය කිරීමෙන් ඇතිවන ප්‍රතිපල පිළිබඳව අවධානය යොමු කළහොත් මෙහි ප්‍රතිපලයක් ලෙස පෞද්ගලීකරණ ලැබීම් වැඩි වීම හේතුවෙන් රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබෙන ආකාරයක් දැකිය හැකියි.ඒ නිසා රාජ්‍ය අයවැයට ඇතිවන පීඩනයත් අවම කරගන්න හැකිවෙලා තියෙනවා.ඒ වගේම මෙතෙක් පැවති පෞද්ගලීකරණ ක්‍රියාදාමයන් තුළින් රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කරගැනීමටත් හැකියාවක් ලැබිලා තියෙනවා කියලත් නිරීක්ෂණය කළ හැකියි.රාජ්‍ය ව්‍යවසායන්වල කොටස් කොළඹ කොටස් වෙළඳපොල තුළ අලෙවිකිරීමෙන් කොටස් වෙළඳපල ඉහළ යාමටත් හේතුවක් වෙනවා. මෙවැනි යහපත් ලක්ෂණ දැකිය හැකි වුවත් අයහපත් ලක්ෂණත් නැතිවා නොවෙයි.එම දුර්වලතාවයන් සඳහා හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළ පෞද්ගලීකරණය නිවැරදි සැලසුම් සහගතව විනිවිද භාවයකින් සිදු නොවීමයි.විශේෂයෙන් පෞද්ගලීකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන අතපෙවීම් බහුල වීම ඒ සඳහා හේතුවක් උනා.එහෙම නැත්නම් අදාල පෞද්ගලීකරණය සඳහා නිවැරදි තක්සේරු වටිනාකම් ඉදිරිපත් නොකිරීම, මුදල් රෙගුලාසි සහ ටෙන්ඩර් පටිපාටි නිවැරදිව ක්‍රියාත්මක නොවීම වගේ දේවල් මෙම ක්‍රියාවලිය අසාර්ථක වීම සඳහා හේතු සාධක ලෙස හඳුන්වන්න පුළුවන්.ඒ වගේම පෞද්ගලීකරණය කළ ආයතන හදිසියේවත් වහන්න සිදු වුනොත් රට තුළ සේවා වියුක්තියක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.පෞද්ගලීකරණය කළ ආයතනවලට බදු සහන බදු විරාම ආදිය ලබා දීමෙන් දිගු කාලීනව රාජ්‍ය ආදායමට අහිතකර බලපෑමක් වුනත් වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් ඕනෑම කාර්‍යයක් කිරීමේ දී යහපත් සහ අයහපත් ප්‍රතිලාභ භුක්‍ති විදීමට සිදුවෙන එක ස්වාභාවිකයි.සිදුවිය යුත්තේ අයපත් ප්‍රතිවිපාකයන් අවම කරගැනීමට උත්සහ කිරීම පමණයි.කෙසේ වෙතත් විදේශ ණයගැති භාවය වැඩි වීම,ගෙවුම් ශේෂ හිඟය,හිඟ අයවැය ප්‍රශ්ණය වගේ ගැටලුවලට ප්‍රතිකර්මයක් විදියට IMF එක වුණත් නිර්දේශ කරන්නේ පෞද්ගලීකරණ ක්‍රියාවලියයි.එම නිසා ශ්‍රී ලංකාවට පවතින තත්වයෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා නිවැරදි ක්‍රියාවලියකින් පෞද්ගලීකරණය ක්‍රියාත්මක කිරීමට සිදු වේවි.
චතුරංග ඩී. හතුරුසිංහ
Your email address will not be published. Required fields are marked *