IMG-LOGO
Home News 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන

by Editor - Date : 2020-Sep-04
IMG
1. 33(1) වගන්තිය යටතේ ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට, ජාතික ප්‍රතිසන්ධානය සහ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමට, සහ ව්‍යවස්ථාදායක සභාව සහ ඒ යටතේ යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරීත්වය පහසු කිරීමටත් මැතිවරණ කොමිසමේ උපදෙස් මත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක් විය යුත්තේය යන්න ඉවත් කොට තිබේ.

2. ජනාධිපතිවරයා හදිසි නීති පැනවීමේදී ද වෙනත් නීති පැනවීමේදී ද පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දැක්වෙන 33අ වගන්තිය ඉවත් කොට තිබේ.

3. 35 වගන්තිය යටතේ ජනාධිපති මුක්තියට අදාල වගන්තිය ඉවත් කොට ජනාධිපතිට එරෙහිව කිසිම නඩු කටයුත්තක් පැවරිය නොහැකි බව දක්වා තිබේ. ඒ අනුව ජනාධිපතිගේ කාර්ර්යන් සඳහා මානව හිමි කම් නඩුවක් පැවරීමේ බලය ඉවත් කර තිබේ. (19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වා දුන් සීමා කිරීම ඉවත් කර ඇත)

4. 41 වගන්තිය ඉවත් කොට එමගින් 1 වන උප ලේඛණයේ සඳහන් කොමිෂන් සභා සාමාජිකයන් සහ 2 වන උප ලේඛණයේ සඳහන් රාජ්‍ය තනතුරු වලට පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා ඇත.

5. පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව නම් නව ආයතනයක් හඳුන්වා දී තිබේ. එහිදී පෙර පැවති ආකාරයට ඉහත සඳහන් පත් කිරීම් සිදුකිරීමේ දී ජනාධිපතිවරයාගේ නිර්දේශිත නාම අනුමත කිරීමට හෝ නැවත සලකා බලන ලෙස හරවා එවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතුව තිබූ බලතල පාර්ලිමේන්තු සභාවට නොමැති අතර ජනාධිපතිවරයාගේ නාම යෝජනා සම්බන්ධව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමණක් හැකියාව ඇත.

6. එම පාර්ලිමේන්තු සභාවේ සංයුතිය වන්නේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, අගමැති නම් කරන මන්ත්‍රීවරයකු සහ  විපක්ෂනායක නම් කරන මන්ත්‍රීවරයකු වේ. අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායකවරයා එම නම් කිරිම පැහැර හැරියහොත් කථානායකවරයා විසින්  එම මන්ත්‍රීවරුන් පත් කරනු ඇත. 

7. එමෙන්ම අගමැති හා විපක්ෂ නායක පත් කරන මන්ත්‍රීවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට එම දෙපලගෙන් ඉල්ලා සිටිය හැකි අතර එම ඉල්ලීම පැහැර හැරිය හොත් ජනාධිපතිවරයාට එම පත් කිරීම් සිදු කල හැක 

8. පක්ෂ නායකයකුට මෙම පත්කිරීම් සඳහා කථානායක හරහා නම් යෝජනා කල හැක

9. නව 42 වගන්තිය- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය

10. නව 43(1) ජනරජයේ පාලනය හා මෙහෙයවීමට අමාත්‍ය මණ්ඩලයක් පවතින බව

11. 43(2) ජනාධිපති වරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් හා ප්‍රධානියා ද  වන බව

12. 43(3) පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනා ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරන මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ලෙස පත් කරන බව

13. 44 වගන්තිය මගින් 19 සංශෝදනය මගින් අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට අගමැතිට තිබු බලතල ඉවත් කරය අමාත්‍යවරු සංඛ්‍යාව, විෂයයන් තීරණය කිරීම, පත් කිරීමේ සහ ඉවත් කිරීමේ සියලු බලතල ජනපති යටතට පත්කර ගෙන ඇති අතර ජනපතිවරයාට තමා යටතේ පවත්වා ගත යුතු අමාත්‍යංශ සංඛ්‍යාව ද තීරණය කිරීමේ බලය දානය කර ඇත. ඒ අනුව අගමැතිවරයා නාමික අගමැතිවරයකු බවට පත්කොට තිබේ.

14. 45 වගන්තිය මගින් කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.

15. 46 වගන්තිය මගින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.

16. 47 වගන්තිය මගින් අමාත්‍ය මණ්ඩල ලේකම් පත් කිරීමේ බලය ජනපතිට

17. 48 වගන්තිය මගින අමාත්යංශ ලේකම් පත් කිරීමේ බලය ජනපතිට

18. 54 වගන්තිය මගින් 9 දෙනකු ගෙන් සමන්විත රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනාධිපති විසින් පත් කරනු ඇත. ඔවුන් ධූරයෙන් ඉවත් කිරීමේ බලයද ජනපති සතුවේ.

19. 61ඊ වගන්තිය යටතේ ත්‍රිවිධ හමුදාපති වරුද, නීතිපතිවරයාද ජනපති විසින් පත් කරනු ඇත

20. 65 වන වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ මහලේකම් පත් කිරීමේ බලය ජනාධිපති යටතට පත් කර තිබේ. 

21. 70 වගන්තියට අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව තේරීපත්වී වසරකට ඉක්බිතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය දානය කොට තිබේ.

22. ආණ්ඩුවේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වූ කල  පාර්ලිමේන්තුව නොවිසිරුවන්නේය.

23. විසර්ජන පනත පළමුව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව නොවිසුරුවන නමුත දෙවන අවස්ථාවේ  ද පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවනු ඇත

24. 78 වගන්තියට නව උප වගන්තියක් එකතු කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෙටුම් පතක එහි හරයට හා මුලධර්මයන්ට පරිභාහිර සංශෝධන  පසුව ගෙන ඒම වළක්වා තිබේ.

25. 85 වගන්තියට අනුව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරනු ලැබු පනතක් හෝ වගන්තියක්, නව පනත් කෙටුම් පතක් ජනමතවිචාරණයකට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට බලය දානය කර තිබේ.

26. 92 වගන්තියට අනුව ජනාධිපති අපේක්ෂකයකු ගේ අවම වයස 30 වන්නේය

27. 103 වගන්තියට අනුව මැතිවරන කොමිසමට සාමාජිකයන් 3 දෙනෙකු  ජනපති විසින් පත් කරනු ඇත

28. කොමිසම මගින් ලබා දෙන මාධ්‍ය උපමාන භාවිතා කිරීම මාධ්‍ය ආයතනයේ කාර්ර්යක් (අභිමතයක්) වන්නේය.

29. 107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුලු ඉහල අධිකරණවල සෑම විනිසුරුවරයකුම ජනපති විසින් පත්කරනු ඇත

30. 111 වගන්තියට අනුව අධිකරණ කොමිෂන් සභාවට අගවිනිසුරු හැරුණුකොට අනෙක් විනිසුරු දෙපල ජනපති විසින් පත් කරනු ඇත. ඉවත් කිරීමේ බලතලද ජනපති සතුවේ.

31. 122 වගන්තිය මගින් හදිසි කෙටුම් පත් ගැසට් නොකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට  යවා පැය 24 කට පසුව සම්මත කිරීමේ බලය නැවත හඳුන්වාදී තිබේ.

32. 153 වන වගන්තියට අනුව ස්වාධීන විගණන කොමිසම අහෝසි කොට ඇත. විගණකාධිපතිවරයා නම් තනතුර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේය.

33. 154ජ වගන්තියට අනුව මුදල් කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීමේ බලය පූර්ණ වශයෙන් ජනාධිපතිවරයා යටතට 

34. 155 වගන්තියට අනුව සාමජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කොමිසම ජනාධිපති විසින් පත් කරනු ඇත

35. 155 උ වගන්තිය යටතේ පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ ඔවුන් විෂයයෙහි විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවට තිබු බලතල ඉවත් කර ඇත. 

36. 156 වගන්තිය අනුව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා පත් කිරීමේ බලතල පූර්ණ වශයෙන් ජනාධිපතිවරයා වෙත හිමිවේ 

37. 156 අ වගන්තියට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා වූ කොමිෂන් සභාව පිළිබඳව 19 සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද ප්‍රතිපාදන අහෝසි කොට ඇත. 

38. 156 ආ වගන්තිය යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කොට තිබේ. 


ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත සටහනක් මෙයින් ඉදිරිපත් කරනු ලැබතිබේ. මෙම පනත් කෙටුම්පත මගින් පූර්ණ බලැති විධායක ජනාධිපති ධූරයක් ස්ථාපනය කිරීමට යෝජනා කර තිබෙනු දක්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති හෝ නැති හෝ පුරවැසි ඔබ සියලු දෙනාට අපගේ www.onetext.org වෙබ් අඩවිය හා සබැඳි බ්ලොග් පිටුවේ පලකිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රතිසංස්කරණ සහ එහි ඔබ දකින සාධනීයතාවයන් සහ නිශේධනීයතාවයන් පිළිබඳ ඔබේ අදහස් අපවෙත ඉදිරිපත් කරන මෙන් ආරාධනය කරමු. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව හරවත් ප්‍රතිපත්තිමය මහජන සංවාදයක් ගොඩනැංවීම අපගේ අපේක්ෂාවයි. අපගේ email ලිපිනය admin@onetext.org 


Tags: