IMG-LOGO
Home News ‘ඊනියා කොරෝනා භීතිය’ ලක්ෂ 20ක් ධීවර පවුල්වල ජීවිත වනසා දමයි ද ?

‘ඊනියා කොරෝනා භීතිය’ ලක්ෂ 20ක් ධීවර පවුල්වල ජීවිත වනසා දමයි ද ?

Date : 2020-Oct-30
IMG

ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?


මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා.”


හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි.


ධීවරයන් නොසලකාහැරලා


හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. “ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?



ඉනෝකා දිෂානි


ඇයගෙන් මාළු මිලදී ගැනීමට පැමිණි නිහාල් ප්‍රනාන්දු කතාවට එකතු විය. “මම මේ හාල්මැස්සෝ ටිකක් ගන්න ආවේ කුඩා මාළු කෑවම ප්‍රතිශක්තිකරණය වඩනවා කියන නිසයි. නැතුව මට මාළු නැතුව නෙමෙයි. පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න. මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු. ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ. මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි.”



නිහාල් ප්‍රනාන්දු


හලාවත ධීවර වරායේ පිහිටි ප්‍රධාන ජැටියේ “ළහිරු” පුතා බහුදින ධීවර යාත්‍රාව නැංගුරම් ලා තිබිණි. නිහාල් ප්‍රනාන්දු කියා සිටියේ දින පහක කාලයක සිට තම මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින බවය.


ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ


“ධීවර රාජ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේම මාළු ගන්නවා කියලා. නමුත් ඒ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ.” ඔහු දැඩි වේදනාවෙන් මෙසේද කීවේය.


“අද මගේ එක බෝට්ටුවක් කල්පිටියේ වරායේ හිරවෙලා. මට තියෙන ගැටලුව ඒ බෝට්ටුව ඇයි මට මෙහෙට ගේන්න දෙන්නේ නැත්තේ කියලයි. මේ නිසා මට මේ බෝට්ටුව වෙනුවෙන් දවසකට රුපියල් පන්සියයක් දෙන්න වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ මගේ බෝට්ටුව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලයි.”



හලාවත ධිවර වෙළෙඳපොළ වසා දමා ඇති අයුරු


වෙනත් දිනවල හලාවත මාළු වෙළදපොළේ දකින මුහුණු කීපයක් හලාවත විදි දිගේ දකින්නට ලැබිණි. මේරියන් දිලුකා එවැන්නියකි. ඇය කියා සිටියේ තමනට නිවෙසට වී කාලය ගත කළ හැකි නමුත් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දිය යුතු බවය.


“මාළු මාර්කට් එක වැහුවා. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා එතන මීටරේ දුර තියාගෙන වැඩ කරන්න බැහැ කියලා. නමුත් අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!” ඇය වාරකන් යනුවෙන් ප්‍රකාශ කළේ මුහුද රළු වන මාස හයක කාලයයි. වලාල යනුවෙන් හැඳින්නුවේ මුහුදේ ධීවර කටයුතුවලට සුදුසු කාලයයි.


ධීවර සංවිධාන


ධීවර කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රට පුරා ධීවර සංවිධාන මේ වන විට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් පසුගිය 27 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ ධීවර සංස්ථාව ඇත්තේ නමට පමණක් බවය.

       ,
හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ්


“මේ වන විට හලාවත බහුදින ධීවර යාත්‍රාවල හා අනෙක් ධීවර යාත්‍රාවල මාලු කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. දැන් ඒවාට කිසිම විකල්පයක් නෑ. දැන් සුළු පරිමාණ ධීවරයාටත් රැකියාව නෑ. රජය මේ වෙලාවේ ධීවරයාට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න ඕනෑ. දැන් මේ මාළු අලෙවි කරගන්න ක්‍රමයක් තමයි ඕනෑ.”


මේ වන විට රටේ පැතිර යන කට කතා පිළිබඳව ද ඇන්ටන් සුදේශ් මෙහිදී අවධානය යොමු කළේය.


“මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනේත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරු වෙලා නෑ. ජනතාවගේ සැකය දුරු වෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමු වන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනෑ.”


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැටලුව පිළිබඳවද හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් අදහස් පළ කළේය.


“ධීවරයො කොහොමද මේකට මුල් වෙන්නේ? පෑලියගොඩ කියන්නේ ධීවරයෝ ඉන්න තැනක් නෙවේනේ. පෑලියගොඩ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්න තැනක්. පෑලියගොඩට ලංකාවේ හැමතැනකින්ම මාළු ගන්න එනවා. තවම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාගෙන්ද විෂබීජ පෑලියගොඩට ආවේ කියලා. මේක ධීවරයින්ගෙන් හැදුණා කියලා කොහොමටවත් කියන්න බෑ. මාලුන්ට මේක හැදුණා කියලා ලෝකේ කොහේවත් නෑ. මාළු අරගෙන ඇවිල්ලා ගෙවල්වල කනවා. කාටවත් එහෙම කොරෝනා හැදිල තියනවද? ආණ්ඩුව මේ වැරදි මත දුරු කළේ නැත්නම් ධීවර කර්මාන්තය විනාසයි.”


සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක්


ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර පවසන්නේ වහාම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි.


“මුලින්ම රජය මේ මාළු අරගෙන නරක් වෙන්න නොදී ගබඩා කරන්න ඕනෑ. මේ සදහා සුදුසු පියවර ඉක්මණින් ගත යුතුයි. නැත්නම් කරවල සදහා වියළීමට හෝ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. වෙළෙඳුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ඉදිරියට ලැබෙන්න නියමිත මත්ස්‍ය සම්පතට කුමක් කළ යුතුද යන්න. දැනට මුහුදේ ඇති යාත්‍රා ප්‍රමාණය ගොඩබිමට ඒමේදී ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සඳහා වහාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. “


ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර


මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය පැතිරෙනවා යන්න මතයක් ජනතාව අතර පැතිර තිබෙන නිසා මාළු මිලදී ගැනීමට ජනතාව දැඩි බියක් දක්වන බවද හර්මන් කුමාර කියා සිටී.


“මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝ වෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝ වෙනවානම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා.”


ලක්ෂ විස්සකගේ ජීවනෝපාය


පාලුවට ගිය තොටුපොළ


ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්‍රික් ටොන් 439,370 හා මෙට්‍රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත.

2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි.


ධීවරයන් රැකියාව නොමැතිව


ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධ ජාතික ධීවර සහයෝගිතාවයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම දත්ත අනුව ලංකාවේ බහුදින ධීවර යාත්‍රා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර කුඩා යාත්‍රා, එනම් එක් දින යාත්‍රා හතළිස් දහසක් පමණ තිබේ. ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය මෙවර තවත් අඩු විය හැකි බවය.


“ලංකාවේ මුහුද වටේ යන කුඩා බහුදින යාත්‍රා 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයකුත් ධීවර රැකියාවේ නිරත වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කුඩා යාත්‍රා. වැඩියෙන්ම ආදායමක් ලබා දෙන මත්ස්‍ය සම්පත තමයි හුරුල්ලා. අපනයනය සඳහා වන මත්ස්‍ය සම්පත් වන්නේ කෙලවල්ලා සහ ඉස්සා. ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා යැපෙන්නේ කෙලවල්ලන්ගෙන්. බහුදින යාත්‍රාවලින් ගෙනෙන මාළු ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ පෑලියගොඩ, බේරුවල, මීගමුව යන මාළු වෙළෙපලවල්වල. මේ පෑලියගොඩ තත්ත්වයත් එක්ක වෙළෙඳපොළ බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා.


වැරදුණේ කොතැනද?


රට පුරා ප්‍රචාරය වන මාළු හා කොරෝනා සම්බන්ධ පුවත් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසුවෙමු.


“මේ කතාව ගොඩනැගෙන්නේ පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා. නමුත් මාළු වලින් කොවිඩ් 19 පැතිරෙනවා කියලා මේ වන තුරු කවුරුත් අනාවරණය කරගෙනවත් පර්යේෂණ කරලා තහවුරු කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදා ගෙන තියෙන්නේ මාලු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාලු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ.”


“මම මීට කලින් අවස්ථා තුනකදී කාරණා කීපයක් ප්‍රකාශ කළා. පළමු කාරණය තමයි ධීවරයින් ආශ්‍රිතව මෙය ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් කියන එක ඒ වගේම මම කීවා ඉන්දියානු පන්නයේ වෛරසයක් සංක්‍රමණය වෙලා රට තුළ වර්ධනය වෙලා පුපුරා යෑමක් විදිහට වාර්තා වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ප්‍රමාද වැඩියි කියලත් මම කිව්වා. ඒ දෙවැනි අවස්ථාවේදී මම ප්‍රකාශ කළා ඉදිරි සති කීපයේදී වෛරසය පැතිරීම වේගවත් වෙලා රට තුළ ව්‍යසනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රකාශ කළා මේ සතිය තුළ ධීවරයින් අතර පැතිර යෑමක් වාර්තා වෙනවා කියලා. ඒකත් සත්‍ය වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හා වැඩ කරන පුද්ගලයන් විදියට අත්දැකීම් සහ වසංගත පිළිබඳව දැනුමෙන් තමයි එසේ ප්‍රකාශ කළේ.”


මේරියන් දිලුකා


දැනට පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා “ඇල් මැරුණ ස්වාභාවයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්” සක්‍රියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කටයුතු කර නියමිත සැලසුමකට අනුව රාජකාරි කළ යුතු බවද උපුල් රෝහණ පැවසීය.


“දැනට ආරක්ෂක අංශ හා විශේෂයෙන්ම යුධ හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සෘජුවම ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය මේ සදහා ලැබිය යුතු වෙනවා. මේ අංශ තුනම ඒකාබද්ධව ඉදිරි මාසය තුළ සක්‍රියව වැඩ කළොත් විශේෂයෙන්ම සැලැස්මකට අනුව කටයුතු කළොත් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දෙවැනි රැල්ල අපි ජයග්‍රහණය කළත් මේ අවදානම අඩු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි ලෙස පැතිර යෑම හා ලෝකයේ තවමත් මේ අවදානම තියෙන නිසා අපිට ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේක පාලනය කරන්න නම් මේකත් එක්ක අපිට වසර 3 ක් 4ක් ජීවත් වෙන්න වෙයි. වරින් වර පීඩාවට පත් වෙමින් වරින් වර මරණ ඇති වෙමින් වරින් වර රට ලොක් ඩවුන් කරමින් මෙවැනි තත්ත්වවලට අපට ඉදිරියට මුහුණදීමට සිදුවෙයි.”


රජයේ ප්‍රතිචාරය


පවතින තත්ත්වය පිළිබදව කාංචන විජේසේකර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ දැනට ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීම සදහා රජයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.


“අපි දැක්කා පහුගිය කාලයේ නාවික හමුදා පොකුර , බ්‍රැන්ඩික්ස් පොකුර දැන් පෑලියගොඩ පොකුර. ඒ කාල වකවානුව තුළ අපි දැක්කා ජනතාව තුළ ඇති වුණ බිය. ඒක සාමාන්‍ය දෙයක්. මත්ස්‍ය පරිභෝජනයෙන් කිසිම අවදානමක් නෑ. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වාගෙන යන අලෙවිසල්වලින් මේ මත්ස්‍ය සම්පත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ධීවර ජනතාව ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇති මොහොතේ මේ රටේම දේශීය කර්මාන්ත කරන මේ පිරිස අත් හරින්න එපා කියන කාරණය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”


විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන්


මාළුවලින් කොවිඩ් හැදෙන්නෙ නෑ!


“කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ.” රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි.


මහාචාර්ය රුචිරා කුමාරණතුංග


“කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ.”


විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල


මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි.


“කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන.”


ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.


‘ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා’


පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය.

         ,
පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු


“මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයින් 54 දෙනාගෙන් ධීවර වෙළෙඳසල් ආශ්‍රිත අය ඉන්නේ 18 දෙනෙකු පමණයි. මේ අතර ධීවරයන් කිසිවකු නෑ. මාළු වෙළෙඳසල් ආශ්‍රිතව රෝගය පැතිරීමට හේතුව මූලික සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීමයි. මාළු ආශ්‍රයෙන් වෛරසය පැතිර යන බවට පවතින මතයේ කිසිම සත්‍යයක් නෑ. මේ වෛරසය සමග සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මාළු ආහාරයට ගැනීම ඉතා වැදගත්.”


මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ 2020 ඔක්තෝබර් 29 දින පළ වූ ලිපියකි. කාලීන අවශ්‍යතාව සහ ජනතාව දැනුවත් කිරීම සදහා සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලද අතර ශීර්ෂ පාඨය පමණක් යාවත්කාලීන කර ඇත – ප්‍රධාන සංස්කාරක

Tags: