IMG-LOGO
Home News සංශෝධන සහිතව විස්ස තුනෙන් දෙකකින් සම්මත වෙයි

සංශෝධන සහිතව විස්ස තුනෙන් දෙකකින් සම්මත වෙයි

Date : 2020-Oct-23
IMG
විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද ඡන්ද 156 ක් ලබා ගනිමින් ඊයේ (22) රාත‍්‍රියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලැබීය.


සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් (ඡන්ද 150 ක්) අවශ්‍ය වු අතර ඊට වැඩිපුර ඡන්ද 6ක් සමඟින් මුළු ඡන්ද 156 ක් ලැබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ.


ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්ද 65 ක් ප‍්‍රකාශ විය. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ ද්‍රවිඩ පක්ෂ විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.


හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත. 


විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන ඩයනා ගමගේ (සමඟි ජන බලවේගය ), අරවින්ද කුමාර් (සමඟි ජන බලවේගය), ඊෂාක් රහුමාන් (සමඟි ජන බලවේගය ), මොහොමඞ් නසීර් අහමඞ් (මුස්ලිම් කොංග්‍රසයා, මොහොමඞ් හාරිස් (මුස්ලිම් කොංග්‍රසයා, ෆයිසාල් කාසිම් (මුස්ලිම් කොංග්‍රසයා, මොහොමඞ් තවුෆික් (මුස්ලිම් කොංග්‍රසය ), මොහොමඩ අලි සබ්රි (මුස්ලිම් ජාතික සන්ධානය), යන මන්ත‍්‍රීවරු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූහ.


20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙදින විවාදය ඊයේ රාති‍්‍ර 7.30 ට අවසන් වූයේ අධිකරණ ඇමැති අලි සබ්රි විසින් සිදුකළ පිළිතුරු කතාව සමගිනි.


විවාදය අවසන්වූ පසු පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පත්කරනු ලැබීය. එහිදී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් සංශෝධන ඉදිරිපත් කරනු ලැබිණි. ආණ්ඩුව විසින් සංශෝධන 60 ක් ද විපක්ෂය විසින් සංශෝධන 57 ක් ද ඉදිරිපත් කරන ලදි.

Tags: