IMG-LOGO
Home Blogs පවුලක්, රටක් සහ ජාතිකත්වයක් (අනුපිළිවෙළින්)

පවුලක්, රටක් සහ ජාතිකත්වයක් (අනුපිළිවෙළින්)

Date : 2020-Sep-19
IMG
මීට කලින් සති දෙකේ “ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල” මැයෙන් ලිවීමට පටන්ගත්තේ, ජේ. ආර්.ගේ ව්‍යවස්ථාව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තුලනාත්මක කරුණු දැක්වීමක් කිරීමේ අධ්‍යාශයෙනි. එය තව සති කිහිපයක් ඉදිරියට යාම අරමුණු කර පැවතුණි. එහෙත්, යම් අවස්ථාවක රටක සිදුවීම් පෙළගැසීම අසාමාන්‍ය වේගයකින් සිදුවන විට, ලේඛකයෙක් අතරමං වෙයි. කෙනෙකුට දේවල් විස්තර කිරීමට යන කාලයට වඩා වේගයෙන් දේවල් සිද්ධ වෙන්නට පටන්ගනී.


කුරුණෑගල නටබුන් විනාශය, ඊට අදාළ චුදිතයා අත්අඩංගුවට ගැනීම අධිකරණය විසින් වැළැක්වීම, සිංහරාජය මැදින් පාරක් ප්‍රවර්ධනය කිරීම සහ එය නතර කිරීමට පරිසරවාදීන්ට නොහැකි වීම, එල්ලුම්ගසට නියම වූ මිනීමරුවෙකු රටේ නීති තනන උත්තරීතර ආයතනයේ අසුන් ගැනීමට සුදුස්සෙකු බවට අධිකරණය විසින්ම තීන්දු කිරීම ආදි සිදුවීම් එක පිට එක ආවේය. ඒවාට අමතරව, සිනා රසය මුසු මුත් ජාතික කතිකාවක මාතෘකා කරගත යුතු සිදුවීම්වලින්ද අඩුවක් නොවුණි. රටේ ගව ඝාතනය තහනම් කොට හරක් මස් ආනයනය කිරීමට රජය තීරණය කිරීම සහ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ගැරහූ, රජයේ අධ්‍යාපනයෙන් පමණක් පෞරුෂයක් ඇති වෛද්‍යවරුන් බිහි කෙරෙතැයි කී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහ fදාස්තර, කොන්දෙන් පමණක් නොව, දණහිසෙන්ද නැමී ජනාධිපතිවරයාට වැඳ නමස්කාර කිරීමෙන් තමන්ගේ ‘පෞරුෂය’ ප්‍රදර්ශනය කළ අවස්ථාව දැකගැනීමේ භාග්‍යය රටට උදාවීම, ඒවායින් සමහරකි. එවැනි යුග ඕනෑම රටක ඉතිහාසය තුළ සටහන්ව ඇත්තේ ‘අනේ කාලේ වනේ වාසේ’ කාල පරිච්ඡේද වශයෙනි. ලංකාව අද ගමන් ගනිමින් සිටින්නේ එවැනි වකවානුවකයි. ඒ නිසා, තමන් ලියන දේවල් ‘ෆාස්ට් ෆෝවඞ්’ කිරීමට කෙනෙකුට සිදු වෙයි. දැන්, ජේ. ආර්. සහ 19 වැනි සංශෝධනය ගැන නොව, 19 සහ 20 වැනි සංශෝධනය ගැන වහා කතා කිරීමට බල කෙරී ඇත. ඒ තරම් ඉක්මණින්, 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගෙන, මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයටත් පත්කොට අවසන් ය. ගිය සති දෙකේ මේ කොලමේ මාතෘකාව මෙවර වෙනස් කිරීමට සිදු වුණේ ඒ හේතුවෙනි.


හර්මන් ගෝරිං යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියෝජ්‍ය නායකයා ය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු 1946 දී පැවැත්වූ නියුරෙම්බර්ග් නඩු විභාගයේදී මරණීය දණ්ඩනයට නියම වූ ඔහුගෙන් එක් විනිසුරුවරයෙක් ප්‍රශ්නයක් ඇසුවේය. ඒ මෙසේ ය: “මේ තරම් මහා විනාශයක් සිදුවන අතරේ ඒක ඉවසගෙන ඉන්න ජර්මනියේ ජනතාව පුහුණු කෙරෙව්වේ කොහොමද?”


හර්මන් ගෝරිං දුන් පිළිතුර මෙයයි: “ඒක හරි ලේසියි. ඒක, නට්සිවාදය ඇතුළේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තියෙන්නේ මිනිස් ස්වභාවය ඇතුළේ. එහෙම දෙයක්, (ඒ කියන්නේ ජනතාව අහක බලාගෙන සිටීමක්), නට්සි පාලනයක් ඇතුළේ, සමාජවාදී හෝ කොමියුනිස්ට් පාලනයක් ඇතුළේ, රජ ක්‍රමයක් ඇතුළේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ජනතාවක් වහලුන් බවට පත්කරන්න, ආණ්ඩුවකට අවශ්‍ය කරන්නේ එක දෙයයි. ඒ තමයි, බය. ආණ්ඩුවකට පුළුවන් නම් ජනතාව බය ගන්වන දෙයක් හොයාගන්න, ඒ මිනිසුන් ලවා ඕනෑම දෙයක් ඒ මාර්ගයෙන් කරවාගන්න ආණ්ඩුවකට පුළුවන්.” (එල්ලා මැරීමට නියමිත දාට කලින් දවසේ හර්මන් ගෝරිං සයනයිඞ් පාවිච්චි කොට සියදිවි නසාගත්තේය).   


යහපාලනය තුළ ජනතාව බිය වැද්දුවේ පාලකයන් නොව, පාලකයන් වීමට නියමිතව සිටි පිරිස් ය. විල්පත්තුව ගැන මිනිස්සු බිය වූහ. එම්. සී. සී. ගිවිසුම ගැන මිනිස්සු බිය වූහ. fදාස්තර සාෆිලා ගැන මිනිස්සු බිය වූහ. ඒ සියල්ලේ ඒකරාශියෙන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුගේ කර්තෘත්වයෙන් සිදු වූ විට, මිනිස්සු හොඳටම බිය වූහ. ඒ සමස්ත මහා භීතිය, ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙනාවේය. 19 වැනි සංශෝධනය අහෝසි කොට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට දැන් ආණ්ඩුව සැරසෙන්නේ, අර කී භීතිය වපුරා නෙළාගත් තුනෙන් දෙකේ බලයේ ආනුභාවයෙනි. (තුනෙන් දෙක එසේ ලබා දීමට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සපයා දුන් මහාර්ඝ තල්ලුව මෙහිදී සාකච්ඡාවට නොගැනේ).


වචන කිහිපයකින් ලංකාවේ අනාගතය කැටි කළොත්, එය, රට සහ රටේ සියල්ල වෙනුවට පවුල ආදේශ වන යුගයක් වශයෙන් දැන් තියාම ලියා තැබිය හැකිය.  


19 වැනි සංශෝධනය යහපාලන රජය විසින් ගෙනෙන ලද්දේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන බව පොහොට්ටු පාක්ෂිකයන් පුනපුනා කීම තුළම ඒ අවදානම තිබේ. ඒ තරමට පවුල ‘දේශපාලනික පළිගැනීමකට’ (19 තුළින්) ලක්ව ඇත්නම්, ඊට විසඳුම් සෙවීමේදී ඒ පවුල ගලවාගැනීම එකී විසඳුමේ අරටුව බවට අනිවාර්යයෙන්ම පත්වන්නේය. එවැන් ගමනක් සමාප්තියකට පත්වනු ඇත්තේ, රටට, ජනතාවට සහ ජාතිකත්වයට ඉහළින්, පවුල මස්තකප්‍රාප්ත කැරැවීමෙනි. 19 වැනි සංශෝධනයෙන් රාජපක්ෂ පවුල ඉලක්ක කෙරුණු බව කියන්නේ ප්‍රධාන කාරණා කිහිපයක් මුල් කරගනිමිනි. ඒවා නම්: (1) මහින්ද රාජපක්ෂ තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වන පරිදි, ජනාධිපති ධුරය දැරීම දෙවරකට සීමා කිරීම, (2) නාමල් රාජපක්ෂ රාජ්‍යත්වයට පත්වීම වළක්වන පරිදි, ජනාධිපතිවරයෙකු වීමට අවශ්‍ය අවම වයස 35ට සීමා කිරීම, (3) බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වන පරිදි, ද්විත්ව පුරවැසිභාවය රාජ්‍යත්වයට නුසුදුසුකමක් කිරීම ඒවා වෙයි.


වයස් සීමාව 35ට සීමා කිරීම, නාමල් රාජපක්ෂගේ ගමන පමා කිරීම අරමුණු කරගෙන ඇති කළ එකකැයි (සත්‍යය එය නොවූවත්) අවශ්‍ය නම් කෙනෙකුට කිව හැකිය. මන්ද යත්, කෙනෙකු රාජ්‍ය පාලකයෙකු වීමට සුදුස්සෙකු හෝ නුසුදුස්සෙකු කිරීම සඳහා, අවුරුදු 30, 35 හෝ 40 ආදි වයස් සීමාවන් යොදාගැනීම තුළ ඇති, දේශපාලනික හෝ භෞතික අර්ථයක්, ඇඟිල්ලෙන් ඇන නිශ්චිතව කෙනෙකුට පෙන්නුම් කළ නොහැකි බැවිනි. උදාහරණයක් වශයෙන්, වයස 35 ඒ සඳහා හොඳ නම්, වයස 30 නරක් වන්නේ ඇයි කියා කෙනෙකුට ඇසිය හැකිය. එහෙත්, ජනාධිපති ධුරය දැරීම දෙවරකට පමණක් සීමා කිරීම හෝ ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුවට හෝ ජනාධිපති තනතුරට නුසුදුසුකමක් කිරීම, දේශපාලනිකව සහ රාජ්‍ය තාන්ත්‍රිකව, නිශ්චිත අරුත් ඇති, බරපතළ කාරණාවන් ය.


ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් අවධානය යොමු කරන්න. තමන්ගේ පවුල ඉලක්ක කොට යහපාලන ආණ්ඩුව විසින් ඉහත කී කාරණා තුන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළා යැයි චෝදනා කරන වර්තමාන පාලකයන්, තමන් දැන් ගෙන ඒමට යන 20 වැනි සංශෝධනය හරහා එයින් ‘නිවැරදි’ කිරීමට යන්නේ දෙකක් පමණි. එනම්, අවම වයස සහ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමාවන් දෙක පමණි. එහෙත් දෙවරකට වඩා ජනාධිපති ධුරය හෙබවීම වැළැක්වීම ඉවත් කිරීමක් ගැන 20 වැනි සංශෝධනයේ සඳහන් නොවේ. ඒ ඇයි? මුලින්ම, 19 වැනි සංශෝධනය තුළ අඩංගු, පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරීමේ අයිතිය දෙවරකට පමණක් සීමා කිරීම මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් තවදුරටත් බලපාන්නේ නැති බැවිනි. හේතුව, එක පැත්තකින් ඔහුගේ වයසයි. අනිත් පැත්තෙන්, ඔහුගේ සහෝදරයාගේ අතට දැන් බැටන් පොල්ල මාරු කර හමාරව තිබීමයි. ඒ නිසා, කෙනෙකුට දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය හෙබවීමට ඇති නොහැකියාව, 20 වැනි සංශෝධනය තුළ එසේම තිබෙන්නට ඉඩ හැර තිබේ. එහෙත් එවැනි ඉවසීමක්, අනිත් කාරණා දෙක වෙනුවෙන් දැරීමට රාජපක්ෂලා සූදානම් නැත. වයස 35 සීමාව නාමල් රාජපක්ෂට තව කාලයක් ඉදිරියටත් බලපායි. ඒ නිසා, 20 වැනි සංශෝධනය තුළින් වහාම එය වයස 30 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඊළඟට, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමාව තවමත් බැසිල් රාජපක්ෂට බලපායි. එසේ හෙයින් එයත් අහෝසි කිරීමට යෝජනා කොට තිබේ.


දැන් ටිකක් හිතා බලන්න: සත්‍යයට වඩාත් ළං වන්නේ, රාජපක්ෂලාට එරෙහිව 19 වැනි සංශෝධනය සම්පාදනය විණැයි කීමද, නැත්නම්, රාජපක්ෂලා සඳහාම 20 වැනි සංශෝධනය සම්පාදනය වීමට යාමද?


20 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලතල කප්පාදු වෙයි. අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂයි. තමාගේ බලය කප්පාදු වෙන සංශෝධනයකට ඔහු කැමති වන්නේ ඇයිද යන ප්‍රශ්නය කෙනෙකු මතු කළ හැකිය. එය, අප කලින් කී වාර දෙකේ සීමාව 20 වැනි සංශෝධනය තුළ තවදුරටත් පවත්වාගැනීමට තීන්දු කළ හේතුවට සමාන ය. මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලැබෙන්නේ, අනාගතයේ නාමල් රාජපක්ෂගේ භුක්තියට යටත්ව බව අමතක නොකරන්න. කිසිවෙකුට හෝ කිසි ආයතනයකට යටත් නැති ධුරයක්, තමාගේ පුතාට හෝ සහෝදරයෙකුට සහතික කරලීම පියෙකුගේ/වැඩිමල් සහෝදරයෙකුගේ (මහින්ද රාජපක්ෂගේ) අභිලාෂය වීම පුදුමයක් නොවේ. 20 වැනි සංශෝධනයෙන් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බලතුලනය, වර්තමානයේ ගෝඨාභයටත්, අනාගතයේ නාමල්ට හෝ බැසිල්ටත් එක සේ අර්ථදායක වන්නේය. ඒ තිදෙනා වෙනුවෙන් තමන්ගේ වර්තමානයෙන්, බරපතළ වියදමක් නොවන කැප කිරීමක් කිරීම (අගමැති බලතල අඩු කරගැනීම) මහින්ද රාජපක්ෂට ප්‍රශ්නයක් නොවේ. එය, පවුලේ අනාගතය වෙනුවෙන් අද කරන ආයෝජනයකි. එය, පිතෲමූලික කුලදෙටුවෙකුගේ සාමාන්‍ය ස්වභාවයකි.


කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ ජනාධිපති වීමට ඇති බාධාව ඉවත් කිරීම මේ ලියුම්කරුගේ මහත් අමන්දානන්දයට නිමිති වෙයි. හේතුව, ගෝත්‍රික/වැඩවසම් සමාජයක ජාතිකවාදය කෙතරම් පහසුවෙන් පුස්සක්/විකාරයක් විය හැකිද යන්න, ඕනෑම කෙනෙකුට බලාගත හැකි වන පරිදි, එයින් පෙන්නුම් කෙරෙන බැවිනි. ද්විත්ව පුරවැසියෙකු වශයෙන් මේ රටේ ජනාධිපති වීමට කෙනෙකු සිතන්නේ නම්, එම තැනැත්තා තමා උපන් රටට සේම තමාව හදාවඩාගත් පිටදේසක්කාර රටටත් එක සේ ඇලුම් කරන්නෙකු විය යුතුය. එහෙත් ජාතිකවාදය, නෛසර්ගිකවම ඒක-ජාතික වන්නේය. එහි අදහස වන්නේ, එක විට කෙනෙකුට ප්‍රංශ ජාතිකවාදයක් සහ ජර්මානු ජාතිකවාදයක් එක සේ දරාගත නොහැකි බවයි. නැතහොත්, එක විට ලාංකීය සහ ඇමරිකානු ජාතිකවාදයක් එක සේ දරාගත නොහැකි බවයි. ගෝත්‍රික/වැඩවසම් සමාජයක් තුළ ජාතිකවාදය ඊටත් වඩා පටු වන්නේය. එහිදී ඒ ජාතිකවාදය, ඒක-වාර්ගික සහ/හෝ ඒක-ආගමික වන්නේය. එනම්, සිංහල සහ/හෝ බෞද්ධ වන්නේය. ලංකාවේ ජාතිකවාදියා එවැන්නෙකි. එසේ වන කල, බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු/ලාංකිකයාට අදාළව, 20 වැනි සංශෝධනය හරහා පැමිණෙන සිංහල-බෞද්ධ ජාතිකවාදය මට පෙනෙන්නේ මෙලෙසයි:


සන්ධිත මිනිසුන් හෝ එකට යා වූ මිනිසුන් හෝ බද්ධ වූ මිනිසුන් වශයෙන් හැඳින්වෙන නිවුන්නු, බොහෝවිට හැබැහින් දැක නැතත්, පින්තූරවලින් බොහෝ දෙනා දැක ඇතැයි සිතමි. ජාත්‍යන්තර වශයෙන් මුලින්ම ප්‍රසිද්ධියට පත්, එවැනි බද්ධ පුද්ගලයන් වශයෙන් උපත ලද දෙන්නා සියමයෙන් (තායිලන්තයෙන්) වාර්තා වූ නිසා, එවැනි අයවළුන් හැඳින්වෙන්නේ ‘සියම් බද්ධ නිවුන්’ පුද්ගලයන් වශයෙනි. මොවුහු ශරීරයේ විවිධ තැන්වලින් එකිනෙකා හා බද්ධ වී උපදිති. අපගේ සාකච්ඡාවට අදාළ කාරණය පමණක් ගත්තොත්, එක් අයෙකුට නිදාගැනීමට අවශ්‍ය වූ විට අනිත් කෙනාත් ඇඳට යා යුතුය. එක් අයෙකුට වැසිකිළි යාමට අවශ්‍ය වූ විට අනිත් කෙනාත් වැසිකිළියට යා යුතුය. එක් අයෙකුට වත්තේ පැළවලට වතුර දාන්නට අවශ්‍ය වන විට අනික් කෙනාට පොතක් කියැවීමේ හැකියාවක් නැත.


ලංකාව නමැති ජාතික රාජ්‍යයේ ජාතික නායකත්වයට ඇමරිකානු/ලාංකික බැසිල් රාජපක්ෂ කෙනෙකු හෝ වෙනත් ඕනෑම ද්විත්ව පුරවැසියෙකු නෛතික වශයෙන් පිළිගනු ලැබීම, ජාතිකවාදය තුළ ස්වභාවයෙන් පැවතිය යුතු, ‘ඒකීය’ පාරිශුද්ධභාවය, මතවාදීමය වශයෙනුත් ප්‍රායෝගික වශයෙනුත්, ‘සියම් බද්ධ නිවුන්’ තත්වයට පත්කරවයි. විල්පත්තුව සිංහරාජයෙන් අවසන් වූ පසු, එල්ලුම්ගසට නියම වූ මිනීමරුවෙකු පාර්ලිමේන්තු යාමටත් සුදුස්සෙකු වූ පසු, තවත් ‘පිරිසුදු’ දෘෂ්ටිවාදයක් 20 වැනි සංශෝධනය තුළින් එසේ කෝචොක් වීම නරකම නැත.

-ගාමිණී වියන්ගොඩ-
අනිද්දා
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *