IMG-LOGO
Home Articles විපක්ෂය බාරගන්නා වගකීම කුමක්ද..?

විපක්ෂය බාරගන්නා වගකීම කුමක්ද..?

Date : 2020-Sep-23
IMG

කෝකියෙකු නැති කොත්තුවක කෝකියා සොයන විපක්ෂයට කෑමට ඇත්තේ කෝකියා නොව කොත්තුව බැව් අමතකව ඇත. 20 වන සංශෝධනයට රචකයෙකු නොමැති කතාව මොහොතක විහිළුවට ගත්තාට, එය 20 වන සංශෝධනයේ බරපතළ කාරණාවක් බවට පත්කර ගැනීම, විපක්ෂය විහිළුවට පත්වන්නකි. එහි රචකයා ගැන විමසීම් ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් 03 වන දින ජනාධිපති විසින් ගැසට් කරනු ලැබූ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයෙහි ඇති වූ දෙගිඩියාව සමග ය. අගමැති ඒ සම්බන්ධව අතීරණයක සිටියදී, ජනාධිපතිගේ කැමැත්තද ඇතිව, නිශ්චිත දිනයක්ද නැතිව සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දැන් කල් ගොසින් ඇත.


මෙය කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙකු සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද, ජනාධිපතිට සහාය දක්වන පුද්ගලයින් කිහිප දෙනෙකුද දැන් ඒ සම්බන්ධයෙන් වෙනස්කම් දක්වති. අගමැති විසින්ද 20 වන සංශෝධනය සම්බන්ධ අධ්‍යනයක් ලබා ගැනීම වෙනුවෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.


මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මෙවැනි ප්‍රතිචාරයක් තිබී නැත. කෙසේමුත් ආණ්ඩුවේ පටලැවිලි සමග 20 වන සංශෝධනය වඩා ප්‍රජාතන්ත්‍රීය සංශෝධනයක් ලෙස දියුණු කර ගැනීමට විපක්ෂ කණ්ඩායම් සඳහා දැන් අවස්ථාවක් ඇත.


එනිසා විපක්ෂ කණ්ඩායම්වලින් ඇසිය යුත්තේ “ඔවුන්ගේ බාල විහිළු අතහැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් පමණකින් හෝ ප්‍රජා මූල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩු පාලනයක් වෙනුවෙන් සංශෝධනය කරගැනීමට සූදානම්ද නැතිද?” කියාය.


මෙහිදී විපක්ෂයට කිවයුතු ප්‍රධානම හා වැදගත්ම කාරණාව වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබූ බවය. පාර්ලිමේන්තු දේශපාලනයෙහි ඇති බරපතළ පිරිහීම සමග ඊට අවධානය යොමු නොකළ 19න් ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන ආ නොහැකිය. ජනතාවට වග නොකියන, අති දූෂිත දේශපාලන පක්ෂ ඔස්සේ තෝරා පත් කරනු ලැබූ නියෝජිතයින්ගේ අධි මිලැති ආයතනයක් බවට ගෙවී ගිය කාලයේදී පාර්ලිමේන්තුව පත්විය. ජනතාව පත්කරන්නාවූ පාර්ලිමේන්තු වූ හෙයින් ඒවායේ ජනතා පරමාධිපත්‍ය ඇතැයි තර්ක කිරීම හුදු න්‍යායික පුස්තක තර්ක පමණි.


මෙය හැකිතරම් කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, 77 මැතිවරණය දක්වා පැවතියේ මැතිවරණ කොට්ඨාස සඳහා ජනතාවට වගකියන්නාවූ තනි මන්ත්‍රීවරයෙකු තෝරා පත් කෙරෙන පාර්ලිමේන්තුවකි. ඒ සමග විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් පවත්වා ගැනීමට නොහැකි බැව් ජයවර්ධන ජනාධිපති කල් තියා තේරුම් ගත්තකි. එබැවින් ඔහු පාර්ලිමේන්තු ආණ්ඩු පාලනය සතුව තිබූ විධායක බලය ඉවත්කර එය ජනාධිපති ධුරයට පැවරීමේ මූලික වෙනස සඳහා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ය. ඔහු එතැනින් නතර වූයේද නැත. විධායක බලය නොමැති පාර්ලිමේන්තුවෙහිද ජනතා නියෝජනය බාල්දු කිරීම වෙනුවෙන් ඔහු අනුපාත ඡන්ද ක්‍රමය සමග මැතිවරණ කොට්ඨාසය දිස්ත්‍රික්කය දක්වා පුළුල් කළේය. මනාප ඡන්දය අනතුරුව එකතු කෙරිණ.


පිරිහීම් පටන් ගන්නේ එතැන් සිටය. මනාප සමග වන මේ අනුපාත ඡන්ද ක්‍රමයෙහි තරග කිරීමට විශාල මුදලක් අවශ්‍ය විය. එබැවින් නාමයෝජනා ලබා ගැනීමටද දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් වැය කළ හැකි ශක්තිය පෙන්විය යුතු විය. ඒ සමග මනාප දිනා ගැනීමේ තරගයටද මුදල් අවශ්‍ය විය. අපේක්ෂකයින් හා ව්‍යාපාරිකයින් සන්ධානගත වූයේ එබැවින් ය. දේශපාලන පක්ෂ විශාල වශයෙන් ජාවාරම්කාරයින්ගෙන් නඩත්තු වන්නට පටන් ගත්තේද එතැන් සිටය. පාර්ලිමේන්තු හරහා ආණ්ඩු පාලනය හතර අත පිරිහෙන්නට පටන් ගත්තේද ඒ සමගින්ය.
අවුරුදු 90 ට වැඩි කාලයක, පරම්පරා ගණනාවක් පුරා තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තෝරා පත්කර යවන්නේ කුමටදැයි ඉගෙන නොගත් ඡන්දදායකයා, අතිශය තරගකාරී විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි ඉතා පසුගාමී ආත්මාර්ථකාමී පාරිභෝගිකයෙකු බවට පත් වූ පසු, මේ සමාජයේ සියලු දූෂණ හා පිරිහීම් එදිනෙදා ජීවිතයේ කාරණා බවට පත්ව ඇත. අපි දැන් එහි උපරිමයට පැමිණ ඇත්තෙමු. එබැවින් ලියකියවිලිවල මිස මේ පාර්ලිමේන්තු සතු ජනතාවට වගකියන්නාවූ නියෝජනයක් හා ජනතා පරමාධිපත්‍යයක් නැත.


“විධායක බලය” ගැන කතාව කළ යුත්තේ ඒ පසුබිමෙහිය. විධායක බලය නැවත මේ පාර්ලිමේන්තුවට ලබා දීමෙන් කිසිදු සාධනීය වෙනසක් සිදු නොවන්නේ, ප්‍රශ්නය ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ පමණක් නොවන හෙයිනි. ඒ බැව් 19 න් ඉතා මැනවින් ඔප්පු කෙරුවකි. 19 ය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිසිදු පක්ෂ භේදයකින් තොරව හවුල් වූයේ ජනාධිපති සිරිසේනගේ හපන්කමක් නිසා නොවේ. ඔවුන්ටද ආණ්ඩු පාලනයේ පංගුකාරිත්වයක් සමග විධායක බලයට අත පෙවිය හැකිවන හෙයිනි. ඉන් කියැවෙන්නේ විධායක බලය ජනාධිපති ලෙස තනි පුද්ගලයෙකු අත තිබුණත් එය පාර්ලිමේන්තු ආණ්ඩු පාලනයක ඇමති මණ්ඩලයට තිබුණත් ජාවාරම්කාර දේශපාලනය වෙනස් නොවන බවය. 19 හි ස්වාධීන කොමිසම් ක්‍රියාත්මක නොවූයේත් 19 න් පසු මහ පරිමාණ දූෂණ නතර නොවූයේත් එබැවිනි. රාජපක්ෂ යුගයේ විධායක ජනාධිපති යෝධ දූෂණ සඳහා චෝදනා ලැබූ අයුරු යහපාලනයේ වික්‍රමසිංහ අගමැතිවරයාද එවැනිම දූෂණ සඳහා දැන් චෝදනා ලබන්නේත් තවදුරටත් මේ රටේ මූලික ගැටලුව, විධායක බලය ඇත්තේ ජනාධිපති අතද පාර්ලිමේන්තුවේද යන්න නොවන හෙයිනි.


මෑත අතීතය පාඩමට ගන්නේ නම්, විපක්ෂය මැදිහත්විය යුත්තේ 20 වන සංශෝධනයට දුර දිග යන මූලික අතුරු සංශෝධන ඉදිරිපත් කිරීමටය. ඒවා දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රීය කෙරෙන තෙක් ගෙන යා හැකි අතුරු සංශෝධන විය යුතුය. දේශපාලනයෙන් තොරව ස්වාධීන කොමිසම් පිහිටුවීම සඳහාද විය යුතුය. එලෙසින්ම ආණ්ඩු පාලනය ජනතා නියාමනයට නතු කෙරෙන ආකාරයේ අතුරු සංශෝධන විය යුතුය. යහපාලනය සමග හුරතල් වූ දෙමළ ජාතික සන්ධානයේ විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීය නායකයින්ට තවදුරටත් වැදගත් පිළිගැනුමක් දෙමළ සමාජයේ නොමැති හෙයින් බලය හවුලේ බුක්ති විඳීම සම්බන්ධයෙන් දකුණේ ග්‍රාමීය සමාජයටද ආකර්ෂණීය අතුරු සංශෝධන ඉදිරිපත් කිරීම, විපක්ෂය බාර ගත යුතුය.


එහිදී බරපතළම අභියෝගය ඇත්තේ විපක්ෂය නඩත්තු වන ජාවාරම්කාර බලපෑම්වලින් ඔබ්බට ඔවුන් තල්ලු කර ගන්නේ කෙසේද යන්නෙහිය. ඒ සඳහා එක් ප්‍රවේශයක් විය හැක්කේ මාධ්‍යවේදීන් අතර ඉන්නා ස්වාධීන වෘත්තිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හවුලක් විපක්ෂ කණ්ඩායම් හා සංවාදයක් ආරම්භ කිරීමය. ඔවුන්ට විපක්ෂ කණ්ඩායම් වෙත බලපෑම් කළ හැක්කේ 20 වන සංශෝධනය සඳහා ප්‍රතිපත්තිමය කාරණා මත මෙවැනි අතුරු සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සංවාද කිරීමෙනි.


පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ අදාළ වර්ෂය සඳහා වන විගණනය කෙරුණු වත්කම් හා බැරකම් ප්‍රකාශය, නාමයෝජනා බාර දෙන විට බාර දී නොමැති නම් එම වත්කම් හා බැරකම් ප්‍රකාශය මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දින සිට තෙමසක් ඇතුළත මැතිවරණ කොමිසමට බාර දිය යුතු අතර, එතෙක් ඔහුට හෝ ඇයට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකි අතර, තෙමසක් ඇතුළත බාර නොදෙන්නේ නම් මන්ත්‍රී ධුරය අහිමි විය යුතුය. එලෙසින්ම එම තෙමස අවසානයේ මැතිවරණ කොමිසම විසින් සියලු මන්ත්‍රීවරුන්ගේ වක්තම් හා බැරකම් නොපමාව ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර, එතැන් සිට සෑම වසරකම වත්කම් හා බැරකම් ප්‍රකාශ සියලු මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසමට බාර දිය යුතු වන්නේය. අදාළ වසර සඳහා වත්කම් ප්‍රකාශ බාර නොදෙන මන්ත්‍රීවරුන් වේ නම්, ඒ බැව් මැතිවරණ කොමිසම විසින් දෙසතියක් ඇතුළත කතානායකට දැනුම් දිය යුතු අතර, එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය කතානායක විසින් අත්හිටුවිය යුතුය.


අලුත් පාර්ලිමේන්තුවක නවතම සැසිය ආරම්භ කිරීමේදී ආණ්ඩුව විසින් ඉදිරි අවුරුදු 05 සඳහා ඔවුන්ගේ “ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය” පාර්ලිමේන්තුව හමුවේ තබා, එය ජනතා නිරීක්ෂණ වෙනුවෙන් අවම දෙසතියක කාලයක් විවෘතව තැබිය යුතු අතර, අනතුරුව එය අවශ්‍ය සංශෝධන සමගින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතු ය.


ආණ්ඩුව සිය වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, පාර්ලිමේන්තු විවාද ආරම්භ කිරීමට පෙර සති හතරක කාලයක් සමාජ කතිකාවකට හා වෘත්තීය සමිති, වෘත්තිකයින්ගේ සංවිධාන, කාන්තා හා තරුණ සංවිධාන, වාණිජ හා ව්‍යාපාරික සංගම් වැනි පිළිගත් ආයතනගත සමාජයන්ට ඔවුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නට ව්‍යවස්ථාපිත අයිතියක් ලබා දිය යුතු ය.


සියලු පිළිගත් දේශපාලන පක්ෂ ඔවුන්ගේ විගණනය කෙරුණු කලින් වසරේ වාර්ෂික අයවැය මැතිවරණ කොමිසම හරහා මාර්තු මාසය අවසානයට පෙර ප්‍රසිද්ධියට පත් කිරීම ඡන්දදායකයාගේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත් කළ යුතුය.


ස්වාධීන කොමිසම් පත් කිරීම සහ රජයේ ඉතා තීරණාත්මක තනතුරු වන අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තු මහ ලේකම් පත්වීම් සඳහා පූර්ණ බලය ඇති ව්‍යවස්ථා සභාවක් ජනාධිපතිගේ, අගමැතිගේ සහ විපක්ෂ නායකගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු (ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක ව්‍යවස්ථා සභාවට ඇතුළත් නොවේ) සමග ජන සමාජයේ පිළිගත් ස්වාධීන ජ්‍යෙෂ්ඨ වෘත්තිකයින් 07 දෙනෙකු නම් කර (කාන්තාවන් තිදෙනෙකු සහ වාර්ගික නියෝජනයක් සහිතව) සභාගත කිරීමටත් එම නම් කිරීම් පිළිබඳව ජනතාවට තම නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට දෙසතියක කාලයක් ලබාදීමත් ඒ අනුව සැකසෙන ව්‍යවස්ථා සභාව ඉන්පසු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කිරීමෙන් අනතුරුව ජනාධිපති විසින් කතානායකගේ සභාපතිත්වයෙන් දෙවසරක කාලයකට පත් කළ යුතුය. කිසියම් හේතුවක් මත ජනාධිපති විසින් ව්‍යවස්ථා සභාව එසේ පත් නොකරන විටක, දෙසතියකට පසු ව්‍යවස්ථා සභාව නිත්‍යානුකූලව පත් කරනු ලැබ ඇතැයි පිළිගනු ලැබිය යුතුය.


පාර්ලිමේන්තුවෙහිදී මෙන් පළාත් සභාවෙහි පළමු සැසි වාරය ආරම්භයේදී බලය ලබා ගත් පක්ෂයේ මහ ඇමති ඔහුගේ හෝ ඇයගේ ධුර කාලය සඳහා වන පළාත් සංවර්ධන සැලැස්ම පළමුව තම බල ප්‍රදේශයේ ජනතාව හමුවේ තැබිය යුතුය. එම සැලසුම් සඳහා සංශෝධන හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ බල ප්‍රදේශයේ ඡන්දදායකයාට ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය. පළාත් සභාවක නම් දිස්ත්‍රික්කයකට බලපාන්නාවූ කාරණාවකදී එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 5,000 ගේ හෝ පළාතටම බලපාන්නාවූ කාරණාවක් සඳහා නම් පළාතේ ඡන්දදායකයින් 10,000 ගේ අත්සනින් එවැනි සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කළ විට, එකී යෝජනා සමගින් සංවර්ධන සැලසුම සම්මත කළ යුතුය.


ඇමති මණ්ඩලය පත් කිරීමේදී නව පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ආරම්භ වන දින ඇමතිවරුන් හා අමාත්‍යාංශද උපරිම 30 ට සීමාවන අයුරු අමාත්‍ය මණ්ඩලය සංයුක්ත කෙරෙන අයුරු අගමැති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එදිනම ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයකින් පසු සම්මත කරගත යුතුය. නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවද ඒ අනුව උපරිම 30 ට සීමා විය යුතුය.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබාදෙන ඉන්ධන හා දුරකතන පහසුකම් හා බදු රහිත වාහන මිලට ගැනීමේ අයිතිය අහෝසි කෙරෙන අතර, වසර 10 ට වරක් ඔවුන්ගේ මූලික වැටුප සංශෝධනය කිරීම සඳහා යෝජනා ඇතොත් එම යෝජනා ජනතාව හමුවේ තැබීමෙන් දෙසතියකට පසු පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතුය.


විධායක බලය නැවත පාර්ලිමේන්තුවට පැවරීමේදී 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා ලෙස පත්ව සිටි විධායක ජනාධිපතිවරයාට ලබා දී තිබූ මුක්තිය ඇතුළු සීමා සමගින් ජනාධිපති බලතල නැවත තහවුරු කළ යුතුය.


විද්‍යුත් සන්නිවේදන නාලිකා සඳහා මෙතෙක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ලබා දී ඇති විද්‍යුත් සංඛ්‍යාත හා ඒවාට අදාළ කොන්දේසි සමග පූර්ණ වාර්තාවක් මෙම සංශෝධනය සම්මත වීමෙන් සති 04 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එතැන් සිට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලැබෙන ඉල්ලීම් සඳහා විද්‍යුත් සංඛ්‍යාත ලබාදීමට පෙර, ඊට අදාළ සියලු විස්තර පාර්ලිමේන්තු අනුමැති සඳහා ඉදිරිපත් කළ යුතුය.


විධායක බලය නැවත පාර්ලිමේන්තුවට මාරු කිරීමේදී ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා අවශ්‍ය තන්හි ජනතාවට මැදිහත්වීමේ ව්‍යවස්ථාපිත බලයක් තිබිය යුතු යැයි පිළිනොගන්නේ නම්, මේ පාර්ලිමේන්තුවට විධායක බලය ලබාදීමේ කිසිදු අරුතක් නැති බව විපක්ෂය පිළිගත යුතුව ඇත. ඉහත යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අදාළ වගන්ති හා ගළපා අවශ්‍ය පරිදි වෙනස් කරමින් නමුත් මූලික ප්‍රතිපත්තිමය හරය නොබිඳිමින් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් දැයි ඇසිය යුත්තේද එබැවින්ය. විපක්ෂයද ජනතාවගේ ඡන්දයෙන් පත් ජනතා නියෝජිතයින් වන හෙයිනි.


-කුසල් පෙරේරා-

Tags: