IMG-LOGO
Home Articles ආචාර ධර්ම නැති රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් (සංශෝධන) ඇති ඵලය කුමක් ද?

ආචාර ධර්ම නැති රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් (සංශෝධන) ඇති ඵලය කුමක් ද?

Date : 2020-Sep-22
IMG
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනටමත් විවිධ පාර්ශ්වවල අදහස් හා උදහස් පළ වී ඇත. ආණ්ඩු පක්ෂයේ දේශපාලන මහාචාර්යවරුන් මෙන්ම විවිධ අපරාධ චෝදනාවලට ලක්වූවන් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මෙම සංශෝධනවල අත්‍යවශ්‍යතාව දැක්වූ අතර 19 වැනි සංශෝධනය ගෙන ඒමට මුල් වූ දේශපාලන පක්ෂවලට අමතරව සිවිල් සමාජයේ විවිධ තලවලට අයත් පුද්ගලයන් මෙන්ම සංවිධානද සමස්තයක් වශයෙන් ජනතාවද විශේෂයෙන්ම නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක අවශ්‍යම වූ ආයතනයක් වන පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරන අයුරු මැනවින් පෙන්වා ඇත. මෙම විවේචනවල ප්‍රබලත්වය නිසාම එම සංශෝධන අනුමත කළ කැබිනෙට්ටුවම නැවත වරක් එය සලකා බැලීමට අනු කොමිටියක් පත් කෙළේය.


යෝජිත විසිවැනි සංශෝධනයෙන් බලරහිත කරන අගමැති විසින් පත් කර ඇති මෙම අනුකමිටුවේ සංයුතිය අනුව ජනතාවාදී පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු තැබීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමටත් වඩා අසීරු කටයුත්තකි. තනතුරු හා වෙනත් වරදාන ඉදිරියේ ජනතා විශ්වාසය පසෙක තබා තම ආත්ම ගරුත්වය හෝ රැක ගැනීමට අසමත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. දශක ගණනාවක් පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කළ දේශපාලනයේ දැවැන්තයන් මෙන් පෙනී සිටි අය සොච්චම් ඇමතිකමක් ලබා ගැනීමට දණ නැමීම ඔවුන්ගේ චරිතය මෙන්ම දේශපාලනය ගැන ද සලකුණකි. ඉවතට විසි කළ ඇමතිකම් ඇහිඳ ගැනීමට පෙළඹෙන්නේ ප්‍රතිපත්තිවලට වඩා තම වරප්‍රසාද වැදගත් වන නිසා විය හැකිය. එවන් පසුබිමක විසිවැනි සංශෝධනය නොව ඊටත් වඩා ජනතාවට අහිතකර ව්‍යවස්ථාවක් වුවද පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම කිසිම ආයාසයක් නැතිව කළ හැකි වනු ඇත.


මෙම ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළකම ගැනත් එය දහනම වැනි සංශෝධනයෙන් ජනතා ඉල්ලීම අනුව පනවා තිබූ සමහර ව්‍යවස්ථා ඉවත් කිරීම ගැනත් සඳහන් කිරීමට අමතරව මූලික වශයෙන්ම එක පුද්ගලයෙකුට සියලු බලතල ඒකාරාශි කර ගැනීමේ උත්සාහයක් මේ තුළ පවතින බව පැහැදිලිය. ඇමති මණ්ඩලය පත් කිරීම, ඉවත් කිරීම මෙන්ම කිසිදු හේතුවක් නොදක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහජන මුදල් පරිපාලනයත් අධිකරණයත් ජනාධිපති යටතට ගෙන ඒම මෙම සංශෝධනවල එකම අරමුණ බව බැහැර කළ නොහැකි සත්‍යයකි. උත්ප්‍රාසය වන්නේ මේ සියල්ල, දහනම වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් ජනතාවාදී ප්‍රතිපාදන විවේචනය කරමින් ඊටත් වඩා හිතකර ව්‍යවස්ථා ගෙන එන බවට දුන් පොරොන්දු යටතේ සිදු කිරීම ය.


පොහොට්ටු දේශපාලකයන් නිතර එල්ල කළ චෝදනාවක් වූයේ ව්‍යවස්ථාදායක සභාව ලබාදෙන පත්වීම් බලයේ සිටින පක්ෂයේ කැමැත්ත අනුව සිදුවන බැවින් ඒවා කිසිසේත් ස්වාධීන හෝ අපක්ෂපාත නොවන්නේය යන්නයි. සමහරුන් ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීමට යොදා ගත් නිදර්ශනයක් වූයේ පාස්කු ඉරිදා ඛේදවාචකයේ දී තම රාජකාරි යුතුකම් පැහැර හැරීම නිසා වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති වෙනුවට නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට නොහැකිවීමය. එය රටේ ආරක්ෂාව පිළිබඳ බරපතළ තත්ත්වයකි. මෙය නිවැරදි කිරීම සඳහා ඔවුන්ගේ යෝජනාව වූයේ දහනම වැනි සංශෝධනය ඉවත් කිරීමය.


මනුෂ්‍ය ඝාතනය පිළිබඳව මරණ දඬුවම නියම වී ඇති, පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පුද්ගලයෙකු රටේ උත්තරීතර ආයතනයට ගෙන ඒමේ ප්‍රශ්නයට ද වගකිව යුතු වන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. මෙම විවේචන හාස්‍යජනක වන්නේ සැබෑ තත්ත්වය ගැන ඔවුන්ගේ කිසිම අවබෝධයක් නැතිකම ප්‍රදර්ශනය වීමයි. නිදසුනක් වශයෙන් මරණ දඬුවමට නියම වී සිටින මහජන නියෝජිතයා ගැන අදහස් දැක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පත් කෙළේ ද ව්‍යවස්ථාදායක සභාවෙන්යැයි චෝදනා මුඛයෙන් කීවේය. එහෙත් අද පවතින නීතිය අනුව මහාධිකරණ විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ මත අගවිනිසුරුවරයා විසිනි. එම නිසා රත්නපුරය මහාධිකරණ විනිසුරුවරයාත් සෙසු මහාධිකරණ විනිසුරුවරුනුත් පත් කිරීම පිළිබඳ වගකීම පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ ආකාරයට අභියාචනා අධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසිනි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් සිහිපත් කළ යුතු කරුණක් වන්නේ මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයාට නීතිපතිගේ උපදෙස් සහ පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවති සම්ප්‍රදායන් නොසලකා දිව්රුම් දීමට අවසරය ලබා දුන් විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පත්වීමකි යන්නයි. සරල කරුණක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ මෙම නිර්දේශය විවේචනයට ලක් නොවීම ඔවුන් පැහැදිලි කරන්නේ කෙසේද යන්නයි.


මේ අතර අධිකරණ පත්වීම් ගැන තවත් පුවතක් පළ විය. ඒ නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකු පත් කිරීම ජනාධිපති රාජපක්ෂ මහතා විසින් කිරීමය. ඇත්තෙන්ම නිත්‍යානුකූල පත්වීම කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුවරයා විසිනි. මෙම විනිසුරුවරුන්ගේ රාජකාරි ස්ථාන නියම වන්නේ එම පත්වීමෙනි. එවැනි තත්ත්වයක් යටතේ වෙනත් රාජකාරි රැසක් මැද ජනාධිපති ලිපි බෙදීමේ කාර්ය භාර ගෙන ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නොවන බව අතීත අත්දැකීම්වලින් පැහැදිලිය. මීට පෙර ද අප විසින් සඳහන් කර ඇති ආකාරයට පත්වීම් ලබාදීමේ දී එම බලධාරියා වෙනත් අනුග්‍රහයන් බලාපොරොත්තු වන බව දොෂාභියෝගයකින් ඉවත් කළ හිටපු අග විනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කදිමට පැහැදිලි කර ඇත. පත්වීම් ලිපිය භාර දුන් විගස වත්මන් ජනාධිපතිගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වූයේ තමන් කැමති අය අධිකරණ සේවා කොමිසමට පත් කර ගැනීමටය. ඊට විරුද්ධවීමත් ඉන් පසුව ලබා දුන් අධිකරණ තීන්දු එම රජයට නොගැළපෙන නිසාත් ඇයට නොයෙකුත් නින්දා අපහාසවලට මුහුණ දී තනතුරෙන් ඉවත්වීමට සිදුවිය. මෙවැනි අත්දැකීම් මැද අධිකරණ පත්වීම්වල ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය ගැන කතා කිරීම විහිළුවකි.


සියලු බලතල, විධායක, ව්‍යවස්ථාදායක පමණක් නොව අධිකරණ බලතල පවා තමන් අතට ගැනීමේ ආශාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් සීමා වූවක් නොවේ. 1978 ව්‍යවස්ථාවන් ඇරඹි මෙම ආශාව මෙතෙක් එම තනතුරට තේරී පත් වූ සෑම පුද්ගලයෙකු තුළම තිබිණ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය බලයට පත් වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව යටතේය. වඩාත් මෑතක 2015 ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූහ. ජනාධිපති සිරිසේන මහතාට අකමැත්තෙන් වුවද එය කිරීමට සිදුවූයේ ඒ සඳහා ප්‍රබල මහජන මතයක් පැවති නිසාය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට ඉදිරිපත් වූවිට එක විරුද්ධ වූයේ එක මන්ත්‍රීවරයෙකු පමණි. එහෙත් එම යෝජනාව ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන්ට නොගැළපෙන නිසා එහි නිර්මාතෘවරුම එය දුර්වල කිරීමට උත්සාහ ගත්හ. තම නිල කාලය පැහැදිලිවම වසර පහකට සීමා කර තිබියදී එහි වෙනසක් කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට එවකට සිටි ජනාධිපති සිරිසේන මහතා ඉදිරිපත් වූයේ එම නිසාය.


78 ව්‍යවස්ථාවෙන් මෙන්ම පසුගිය සතියේ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයෙන් කියවෙන සැබැ කතාව පක්ෂය හා පාට කුමක් වුවත් දේශපාලකයන් තුළ බලයට ඇති කෑදර කමය. එය ජනාධිපති තනතුරේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වාම මහජන ඡන්දයෙන් තේරී පත්වන සෑම තරාතිරකම පුද්ගලයන්ට ආවේනික ගුණයකි. මේ වර්ගීකරණයට අයත් නොවන මහජන නියෝජිතයන් ස්වල්ප දෙනකු සිටිය හැකි නමුත් එය සාමාන්‍ය නොව අසාමාන්‍ය තත්ත්වයකි. මහජනතාවගේ අන්සතු කළ නොහැකි, පැවරිය නොහැකි පරමාධිපති බලයේ නියෝජිතයන් වුවද ඔවුන් සැබැවින්ම ක්‍රියා කිරීමට උත්සාහ කරන්නේ එම බලයේ සැබෑ උරුමක්කාරයන් සේය. ව්‍යවස්ථාදායක සභාවටත්, විධායකයේ බලයටත් පැනවෙන කිසියම් හෝ සීමාවකට විරුද්ධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් වුවද සැබෑ අරමුණ අසීමිත බලයක් හිමිකර ගැනීමය. ඒ වෙනුවෙන් මුක්තිය ලබා ගැනීමටය. විසිවැනි සංශෝධනයේ විශේෂත්වය වන්නේ එය නග්න ලෙස හෙළිදරවු වීමය.


බලයට ඇති නග්න කෑදරකම පළවන තවත් ලක්ෂණයක් වන්නේ එය පවුලේ උදවිය හෝ හිතවතුන් අතර බෙදා හදා ගැනීමට ගන්නා උත්සාහයයි. එය පැහැදිලි වන්නේ ඇමතිකම් බෙදා දෙන ආකාරයෙනි. පරීක්ෂාවෙන් බලන විට ඇමතිකම් වෙන් කර ඇත්තේත් ඒ සඳහා යම් යම් පුද්ගලයන් පත් කර ඇත්තේත් විෂය දැනුම හෝ කාර්ය ශූරතාව අනුව නොවේ. තම බලය පවත්වා ගැනීමට අවශ්‍ය මුක්කු සකස් කර ගැනීම සඳහාය. ඇමති ධුර සංඛ්‍යාව පිළිබඳව දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවා තිබූ සීමාව විසිවැනි සංශෝධනයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත්තේ ජනතා සෞභාග්‍යය සඳහා නොවේ.


එක් එක් ඇමතිට සහ රාජ්‍ය ඇමතිට පැවරී ඇති දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රමාණය සැලකිල්ලට ගන්නේ නම් ඇමති සංඛ්‍යාව පහසුවෙන්ම දහයකට හෝ පහළොවහකට සීමා කළ හැකිය. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අයට පවරා ඇති දෙපාර්තමේන්තු සහ වෙනත් වගකීම් අනුව ඇමති සංඛ්‍යාව කිසිසේත් ඊට වඩා වැඩි කිරීමට හේතුවක් නැත. පැහැදිලිවම ඇමතිකම් දී ඇත්තේ ඒ ඒ මන්ත්‍රීගේ සහාය ලබා ගැනීමට විනා පරිපාලනය විමධ්‍ය ගතකොට සංවර්ධනය වේගවත් කිරීමටයැයි කිව නොහැකිය.


ආණ්ඩුව පිළිබඳ සමස්ත චිත්‍රය දෙස බැලීමේ දී පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ මෙම දේශපාලකයන් තුළත් ඔවුන්ට උපදෙස් දෙන අය අතරත් ආචාර ධර්ම ගැන කිසිම තැකීමක් නැතිවීමය. මරණ දඬුවම නියම වී ඇති මන්ත්‍රීවරයාට නාමයෝජනා පත්‍ර ලබාදීමේ දී මිනීමැරුමකට චෝදනා ලබා තිබීම නුසුදුසුකමක් වූයේ නැත. වඩාත්ම ඛේදජනක වන්නේ මෙම පුද්ගලයාට මිනී මැරුම් චෝදනාව එල්ල වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා පැවති ප්‍රචාරක රැලියක් සංවිධානය කිරීමේ දී එජාප ආධාරකරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එම ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී චෝදනා ලත් පුද්ගලයාට නාමයෝජනා ලබා දුන්නේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති තනතුර දැරූ ශ්‍රීලනිපයෙනි. වෙනත් වචනයකින් කිවහොත් නාමයෝජනා ලබාදීමේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදු තැනැත්තා වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට හෝ ඔහුට අවශ්‍යතාවක් තිබුණේ නැත. පසුගිය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඔහුට පොහොට්ටුවේ නාමයෝජනා ලබාදීමේදි ද සැලකිල්ලට ගෙන ඇත්තේ ජයග්‍රහණය කිරීමේ හැකියාව පමණි. නීති සම්පාදකයකු සතුව පැවතිය යුතු ගුණ ධර්ම කිසිම වැදගත්කමක් නැත.


විසිවැනි සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ද ශිෂ්ට සමාජයක පැවතිය යුතු ගුණධර්ම තහවුරු කිරීම නොව උපරිම බලය කැටි කර ගැනීමය. ඒ සඳහා ආගම ජාතිය වැනි වචන ආටෝපවත් ලෙස යොදා ගැනීමේ හැකියාව සියලුම දේශපාලකයන් තුළ නෛසර්ගිකවම පිහිටා ඇත. ව්‍යවස්ථාවෙන් පැනවී ඇති සීමා සංවරණ හා තුලන ලෙස දැකීමට හැකියාවක් හෝ වුවමනාවක් නැත්තේ බලය කැටිකර ගැනීමේ අවශ්‍යතාව නිසාය. යුක්තිය සාධාරණත්වය වැනි කරුණු ඔවුන් යොදා ගන්නේ තම දේශපාලන වුවමනාව සඳහාමය. එය නිදහස ලත් දින සිට මේ දක්වාම පැවති සෑම ආණ්ඩුවකම අඩු වැඩි වශයෙන් දැකිය හැකි ගුණාංගයකි.


මෙවැනි ක්‍රමයක් පවත්වා ගතහැකි වන්නේ සම්ප්‍රදායන් සහ ආචාර ධර්ම පිළිපැදීමක් නොමැති තත්ත්වයක් යටතේය. අධිරාජ්‍යවාදීයැයි හංවඩු ගැසෙන බි්‍රතාන්‍යයේ වෙනත් රටවල මෙන් විශේෂයෙන්ම සම්මත කර ගත් ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාවක් පැන නොනගින්නේ සම්ප්‍රදායන්ට ගරු කිරීමේ සංස්කෘතිය නිසාය. බොහෝ අවස්ථාවල නීතියට පදනම් වන්නේ ද දිගුකලක් තිස්සේ සමාජ භාවිතාවක් වූ සම්ප්‍රදායන්ය. සම්ප්‍රදායන් කැඩීම සමහරවිට නීතියක් කැඩීමක් නොවන නමුත් සමාජයෙන් ඊට ලැබෙන දඬුවම, විවේචනය සහ කොන් කිරීම වඩාත් ප්‍රබලය. බුද්ධාගම රාජ්‍ය ආගම වන ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් කඩකිරීම සමාජයේ පරිභවයට ලක්වන්නේ නැත. එවැනි අවස්ථාවලට සුදුහුණු ගාන්නේ ද නීතිය දක්වමිනි. නීතියෙන් වැරදිකරුවකු වන තාක් පුද්ගලයකු වැරදිකරුවකු සේ සැලකිය යුතු නොවේ යනුවෙන් තර්ක කිරීමෙනි. නීතියට හසුනොවන්නේ නම් කොපමණ වැරදි කළත් කම් නැත යන්න ගම්‍යවන අදහසයි.


ආචාර ධර්ම නොතකන සමාජයක කොපමණ නීතිරීති තිබුණත් ශිෂ්ට ජන කොටසක් ඇතිවන්නේ නැත. එවන් රටවල සම්ප්‍රදාය වන්නේ බල්ලෝ මරා හරි සල්ලි සෙවීමය. විසිවැනි සංශෝධනයෙන් අදහස් වන්නේත් මෙතෙක් පැවති දේශපාලන භාවිතාව වන්නේත් එයයි. ආචාර ධර්ම සහ ශිෂ්ට සම්ප්‍රදායන් නැති රටක කොපමණ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතියත් ජනතාවට සෞභාග්‍ය උදාවන්නේ නැත. ව්‍යවස්ථාවෙන් විධායක බලතල පැවරී නැතත් රජයේ සියලු බලතල පාවිච්චි කිරීමට ජනාධිපති ගෝඨාභයට හැකිවන්නේ එම නිසාය. අප සැබැවින්ම උත්සාහ ගතයුතු වන්නේ අඩුම මට්ටමේ හෝ ආචාර ධර්ම පද්ධතියක් ගොඩ නගා ගැනීමට සහ ඒවා ආගම සේ පිළිපදින සමාජයක් ගොඩ නැගීමට ය. 


-මහින්ද හත්තක-
-රාවය-

Tags: