IMG-LOGO
Home Articles දේශපාලන අභියෝග පහක්

දේශපාලන අභියෝග පහක්

Date : 2020-Nov-22
IMG
මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක් නොවේ. මා අදහස් කරන්නේ අපි රටක් ලෙසින් මුහුණ දෙන අර්බුදයන් පහක් සමස්තයක් ලෙසින් ගෙන ඒ පිළිබඳව කථා කිරීමටය. වෙනත් ලෙසකින් කිවහොත් මා උත්සාහ ගන්නේ රටක් ලෙසින් මේ මොහොතේ අපි මුහුණ දෙන අභියෝග පහක් එක වගේම වැදගත් බැව් පෙන්නා දෙමින් පැහැදිලි කිරිමටය. රටක් ලෙසින් අපි හමුවේ ඇති අභියෝග පස් ආකාරයකින් මතුවෙමින් තිබෙන බවත්, ඒවායින් ගැලවීමේ ක‍්‍රියාමාර්ග තේරිමේදී මේ අභියෝගයන් පිළිබඳව බැරෑරුම්ව සිතීම අත්‍යවශ්‍ය බවත් පැහැදිලි කිරීමටය. 

කොරෝනා අභියෝගය


මා දකින පළමු අභියෝගය වන්නේ හැමෝම කථා කරන රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ කරගනිමින් අද මතුවී තිබෙන කොරෝනා අභියෝගයයි. මේ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගනිමින් තිබෙන තීරණ පිළිබඳව සාකච්ජාව වගේම පළල් සාකච්ජාවක් මේ ප‍්‍රශ්නයෙන් ඇතිවී තිබෙන දේශපාලන ආර්ථික ප‍්‍රශ්න සම්බන්ධව ලෝකය පුරාම ඇතිවී තිබෙන බව  පැහැදිය. මේ පිළිබඳව අපගේ අවධානයට යොමුවීම ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වය හේතුවෙන් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ ඇතිවෙමින් තිබෙන වෙනස්කම් සෞඛ්‍ය ප‍්‍රශ්නය වගේම වැදගත් බව මගේ අදහස ය. රටක් ලෙසින් මේ තත්වයට මුහුණදිම සඳහා සෞඛ්‍යමය සැළසුම්වලට අමතරව දේශපාලන හා ආර්ථික තලයේ ගොඩ නගන සැළසුම් ඉතාමත් වැදගත්ය. කොරෝනා උවදුරට සෞඛ්‍යමය මැදිහත්වීමෙන් එහාට ගොස් එයින් ජනිත වෙන සමාජ ආර්ථික ගැටළුවලට උත්තර සෙවීමට උත්සාහ දරන රටක් ලෙසින් අපේ රටට විශේෂ තැනක් හිමිවිය යුතු බවද සත්‍යයක්ය. අපේ රටේ ආර්ථික පුනර්ජවනය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් නිර්මාණය කළේ මීට බොහෝ රටවල් ඒ පැත්ත ගැන අවධානයක් යොමු කිරීමටත් කලියෙන්ය. මෙහිදී ඒ පිළිබඳව සඳහන් කරන්නේ පසුගිය මාස 6 කාලය පුරාවට ඒ කාර්යසාධක බලකායෙන් සිදුවූ වැදගත් මෙහෙය පිළිබඳව ස්තුතියකින්ද යුක්තවය. 


මෙහිදී අපගේ අවධානයට ගතයුතු තවත් වැදගත් කාරණයක් වන්නේ කොරෝනා මගින් ඇතිකරන මේ අලුත් තත්වය පිළිගැනීමේ සමාජය සිතීමක් අපට අවශ්‍ය බවයි. 2020 මාර්තු මාසයට පෙර තත්වයට අපේ රට යා හැක්කේ තවත් මාස ගණනාවක් මේ උවදුරත් සමගින් පොරබැදීමෙන් පසුව බව මෙහිදී අවධානයට ගැනීම අවශ්‍යය. මීළඟ වසර කීපයටම අපේ එදිනෙදා ව්‍යවහාරයේ චචන ලෙසින් ‘මුව ආවරණ’  ‘අත් සේදීම’ ‘සමාජ දුරස්ථභාවය’ ’ලොක් ඩවුන්’ ‘නිරෝධායනය’ වැනි වචන පවතින බව තේරුම්ගැනීම ඉතාමත් වැදගත්ය. 

ආර්ථිකයේ අභියෝගය


මා දකින දෙවන වැදගත්ම අභියෝගය වන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ මේ වන විට ඇතිවී ඇති තත්වයයි. රටක් ලෙසින් පසුගිය වසර 70 පමණ කාලයක් පුරාවට අපි ලබාගත් විදේශීය ණය තත්වය විසින් අපේ ආර්ථිකයට සිදුකරමින් තිබෙන බලපෑම මෙහිදී අවධානයට ගතයුතු ප‍්‍රධාන කාරණයයි. රටක් ලෙසින් මීළඟ වසර කීපය තුළම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5 පමණ මුදලක් ණය වාරිකය ලෙසින් ගෙවන්නට රජයට සිදුව තිබේ. මෙවැනි මුදලක් වාර්ෂිකව ණය වාරික වශයෙන් ගෙවන්නට සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර මෙය මේ රජයේ ගැටලුවක් නොව මීට පෙර සිටි හැම රජයක්ම වගකීම ගත යුතු තත්වයක් බව තේරුම්ගැනීමද ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වයත් සමගින් මුළු ලෝකයේම ආර්ථිකය අර්බුදයට ගොස් ඇති තත්වයක මේ ප‍්‍රශ්නය ඉතාමත් තීරණාත්මක බලපෑමක් සිදුකරන බව පැහැදිලි කාරණයකි.මේ දවස්වල රටේ දේශපාලනය පිළිබඳව පුළුල්ව සාකච්ජා කරනවාට වඩා හුඟක් අය උත්සාහ කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක්  කථාකිරීමට ය. ඒ තරමට රටේ අවධානය මේ වසංගතය සමග ගැට ගැසී ඇත්තේ ලෝක පරිමානව මේ අභියෝගයෙන් මිඳීමට මඟක් තවමත් නොමැති නිසා ය. කොරෝනා පළමු රැල්ලට වඩා මේ දෙවැනි රැල්ල බරපතල බව හැම පැත්තෙන්ම ඇසෙන කථාව ය. ඒ නිසා මේ තත්වය පාලනය කරගැනීම සඳහා අපි කොරෝනාවලට පෙර ලෝකයෙන් මිඳිය යුතු බව මගේත් යෝජනාව ය. ඒ කියන්නේ කොරෝනා වෛරසය නොතිබුණු කාලයේ චර්යාවන් වෙතින් ඉවත්වී ජීවත්වීමේ  අවශ්‍යතාවය ය.  අපි මේ නව සාමාන්‍යයට (new normal) මුහුණ දිය යුතු වෙමු. ඒ සඳහා සුදානම  අපි තුළින්ම පෙන්නුම් කිරීමට අපි හැමෝම හුරුවිය යුතු බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.


රටක් ලෙසින් අප සතුව තිබු විදේශීය මුල්‍ය ආකෘතියම කොරෝනා හේතුවෙන් අර්බුදයකට ගමන් කරනු ලැබීම මෙහිදි පෙනී යන තවත් වැදගත් කාරණයකි. අපනයන ආර්ථියේ  ලෝක පරිමානව පසුබෑම -  සංචාරක ව්‍යපාරය අඩපනවීම සහ විදේශීය රැකියා ක්ෂේත‍්‍රයේ පෙන්නුම් කෙරෙන පසුබෑම මේ තත්වය තවත් ගැඹුරු කරන බව පැහැදිලි කරුණකි. මේ තත්වය හමුවේ ආනයන ආදේශන ලෙසින් යම් ආකාරයක කලමනාකරණයක් වෙළදපොල ක්ෂේත‍්‍රයේ සිදුකරන්නට සිදුවීම අනිවාර්ය කාර්යයකි. 1977 සිට සීමාවක් නැති ආනයනයන්ට හුරුවී සිටින සමාජයක ආනයනය පාලනය කිරීමද සමහර අවස්ථාවල ගැටළුකාරිත්වයක් මතු කළ හැකි ක්ෂේත‍්‍රයක් බව අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යයය. 

විදේශ ප‍්‍රතිපත්තියේ අභියෝගය


රටක් ලෙසින් අපි මුහුණදෙන තෙවැනි අභියෝගය වන්නේ විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ අද ඇතිවී ඇති තත්වයයි. අපි ජීවත්වෙන්නේ ලෝක දේශපාලනයේ අලුත් බලවතුන් දෙදෙනෙක් ආසන්නයේ අපේ රට පිහිටා තිබෙන බව මෙහිදී තේරුම් ගතයුතු කාරණයයි. එසේ අලූතින් ලෝක බලවතුන් වෙමින් සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. මේ රටවල් දෙකේ බල දේශපාලන අපේ රටේ භූ දේශපාලනයේ මහා පොදුසාධකය වීමේ විශාල ඉඩක් ගොඩ නැගී ඇත්තේ මේ තත්වයත් සමගය. විශේෂයෙන් පසුගිය යහපාලනය යැයි කියාගත් රජය විසින් හම්බන්තොට වරායම චීනයට පවරාදීම හේතුවෙන් මතුවී ඇති ඉන්දු චීන දේශපාලන ආතතිය සමහන් කිරීම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය මේ මොහොතේ මුහුණ දෙන බරපතලම අභියෝගය බැව් මගේ අදහසය. හම්බන්තොට වරාය ‘චීන වරායක්’ බවට පත් කළේ එ් කාලයේ සිටි විපක්ෂය එහි ඇති බරපලකම ගැන සියලූ කරුණු පෙන්නා දෙමින් තිබු තත්වයකය. යහපාලන යැයි කියාගත් ආණ්ඩුවේ මේ අනුවන ක‍්‍රියාමාර්ගය විසින් අපේ රට බරපතල විදේශීය දේශපාලන අවුලක ගැට ගසා ඇති බව තේරුම් ගත යුත්තේ ඉන්දියාව මේ තත්වයට ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබදවත් විමසා බලමින් ය.  

  

ඇමරිකානු දේශපාලනයේ අලූත් ස්ථාවරයක් වන ඉන්දු පැසිපික් නව උපක‍්‍රමික මැදිහත්වීම අපේ රටට ඉතාමත් ආසන්න බලපෑමක් සිදුකරන්නට කැස කවන්නේද මේ කාරණයම හේතුවෙන් ය. චීනය එක පැත්තකත් ඉන්දියාව ඇමරිකාව සහ ජපානය තවත් පැත්තකටත් බෙදී සිදුකරන බල තරඟයත් බවට දකුණු චීන මුහුද පත්වී ඇත්තේ මේ තත්වය තුළය. මේ කාරණය හේතුවෙන්ම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය තුළනාත්මකව පවත්වා ගෙන යාමට විශාල අභියෝගයක් මතුවී ඇති බව මෙහි ඇති දේශපාලන යථාර්ථයයි. 


දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්ෂේත‍්‍රයේ ඇති අභියෝගය 


සිව්වෙනුව අපේ රට මුහුණ දෙන අභියෝගය වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයේ රටක් ලෙසින්  සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණයන් පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන ආකාරයෙන්ද යන ප‍්‍රශ්නයයි. දේශපාලන ක්ෂේත‍්‍රය ලෙසින් මා කියන්නේ එක පැත්තින් අලූත් ව්‍යවස්ථාවක් ගෙනඒම පිළිබඳ කාරණයත්, අනෙක් පැත්තෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම කියන කාරණයත් යන දෙකටමය. අලූත් ව්‍යවස්ථාව හැදිම සඳහා මේ වනවිට විශේෂඥ කණ්ඩායමක් පත් කර ඇති අතර ඒ අය හමුවේ ඇති බැරෑරුම් වගකීම වන්නේ සමාජයේ තිබෙන විවිධ බෙදිම් සැලකිල්ලට ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් හැදීමය.  


ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ක්ෂේත‍්‍රයේ, සමාජයේ තිබෙන්නේ ඉතාමත් වෙනස්වන සුළු අදහසක් ය. අදවෙන විට රටේ මාධ්‍ය අවකාශය අලූත් වී හමාරය. 1960 සහ 70 දශකයේ තිබුණේ පුවත්පත් සහ ගුවන් විදුලිය පමණක්ය. 1980 දශකයේ මෙයට රූපවාහිනියත් එකතුවිය. එහෙත් 2010 පසුව රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනස් වී ඇත්තේ හැමෝම ‘ඩේටා ලෝකයක’ හිරකරමින්ය. ඈත ගමක දරුවෙක් පොල්ගෙඩි දෙකක් විකුණා ටේඩා කාඩ් එකක් ඉල්ලන තත්වයකට ගමේ ලෝකයද වෙනස්වී ඇත්තේ මේ තත්වය නිසාය. තවදුරටත් මාධ්‍යය යනු සමාජයේ විසිරි තිබෙන තරංගමාලාවක් මිස ඉස්සර තිබුණු ආකාරයේ පුවත්පතක් ගුවන්විදුලියක් හෝ රූපවාහිනියක් නොවේ. මේ උපකරණ තුනම ‘තරංගකරණය’ වී අතේ තිබෙන දුරකථනයට පැමිණ ඇති ලෝකයක අපි ජීවත්වෙමින් සිටින්නෙමු. ඒ නිසාම රටේ දේශපාලන සංවාදය යනු හැමවිටම වෙනස්වෙන පුදුම සහගත තත්වයක් බවට පත්වීම අපේ සමාජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රධානතම අභියෝගයක් බව මගේ අදහසය. ඒ කියන්නේ මාධ්‍ය ඩිජිටල් ලෝකයට ඇතුල්වීම වැරැද්දක් බව නොවේ. රටේ දේශපාලන සංවාදය ඩිජිටල් අවකාශයට සේන්දුවීම මගින් පෙන්නුම් කරන්නේ සිදුකළ යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ ලෙහෙසියෙන් කළ හැකි දෙයක් හෝ ලාබෙට කළ හැකි දෙයක් නොවන තැනකට රටත් ලෝකයත් පත්වී ඇති බවය. 


ඡන්ද දේශපාලනය පැත්තෙන් බැලූවත් මේ අලූත් මාධ්‍ය තත්වය (new media condition)  තේරුම් ගැනීම වැදගත් වන්නේ ඒ මගින් හසුරුවන ඡන්දදායක ප‍්‍රමාණය මිලියන 5 ටත් වඩා වැඩි බව දත්ත මගින් පෙන්නා දි ඇති නිසාය. ඒ නිසා දේශපාලන ප‍්‍රතිසංස්කරණ යනු වෙනදාටත් වඩා වැඩි අභියෝගයක් බවට පත්වී ඇති බව පිළිගැනීම නිවැරදිය.   


රාජ්‍ය යාන්ත‍්‍රණය සහ සමාජ චින්තනය ක්ෂේත‍්‍රයේ අභියෝගය 


මා දකින පස්වන අභියෝගය වන්නේ මේ රටේ රාජ්‍යයේ ඵළදයිතාව වැඩිකිරීම සහ නව සමාජ චින්තනයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ය. රාජ්‍යයේ ඵළදයිතාව වර්ධනය කළ හැක්කේ මේ අලූත් තත්වය තුළ රාජ්‍ය සේවය පිළිබඳව නව අදහසක් සමාජයට ඉදිරිපත් කිරීමෙන් බව මගේ අදහසය. රාජ්‍යය යනු හැම ක්ෂේත‍්‍රයකම සිටිය යුතු බලයක් යැයි සිතූ 1970 දශකයේ සිතුවිල්ලෙන් ඉවත්වීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ව්‍යවාපාරික ක්ෂේත‍්‍රයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් නිර්මාණය කරගන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල් සමග තරගයට යාමේ කිසිඳු හැකියාවක් අපට නැති බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. ඇමරිකාව හෝ නව යුරෝපය යන දෙපැත්තේම තිබෙන එක් මහා පොදුසාධකයක් වන්නේ රාජ්‍යයේ වපසරිය පමණක් නොව ආර්ථිකයේ පෞද්ගලික වපසරිය පිළිබඳව ඒ අය කල්පනා කරන ආකාරය ය. 


සමාජ චින්තනයේ විශාල වෙනසක් රටටම අවශ්‍ය යැයි මා කියන්නේ සියලූ දේශපාලන ප‍්‍රශ්න හමුවේ විසඳුම් ඉදිරිපත් කරන්නට රටේ ඉතිහාසය හා ආගමිකභාවය යන ක්ෂේත‍්‍ර දෙකින් ඉදිරීපත්වීම පිළිබඳව කාරණයත් අලූත් විය යුතු යැයි යෝජනා කරමින්ය කයෙන් අලූත් වෙන ගමන් සිතින් අතීතයට ගමන් කරන්නට උත්තේජනයවීම තරුණ පරපුර වෙතින් පවා පෙන්නුම් කිරීම මගින් යෝජනා කරන්නේ අලූත් සමාජ චින්තනයක් ගොඩනගා ගැනීමට අපි තව හුඟක් දුර යායුතු බවය.


මගේ කිවිදා දැක්ම වන්නේ මේ  අභියෝග 5  ජයගැනීමේ රජයේ උත්සාහය හා සමාජයේ කථිකාව අතර ශක්තිමත් පාලමක් ගොඩනැගිය යුතු බව ය. 


-මහාචාර්ය චරිත හේරත්-
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *