IMG-LOGO
Home Articles 15 උභතෝකෝටිකය හා 20 අප්‍රභංසය

15 උභතෝකෝටිකය හා 20 අප්‍රභංසය

Date : 2020-Oct-26
IMG

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සැලකිය හැක්කේ ඊට පෙර පැවති යහපාලන අවස්ථාවාදයේ තර්කානුකූල ඵලයක් වශයෙනි. අභ්‍යන්තර යුද්ධ අවසන් කිරීමෙන් පසුව උපරිම මට්ටමේ පරිහානියකට හා විකෘති තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යය එම තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යොමුකිරීම අවශ්‍ය වී තිබුණද එසේ කිරීමට රාජපක්ෂ පාලනය සමත් වූයේ නැත. 2015 රාජපක්ෂ පාලනය පරාජය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස බලයට පත්වන යහපාලන ආණ්ඩුව ඉතිහාසය එය වෙත නියම කර තිබුණු ප්‍රතිසංස්කරණ කාර්යභාරය ඉටුකළේ නැත. එහිදී එය කළේ බොරුවක් හා වංචාවකි. ඉතාමත් ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී ලෙස හරය කෙළෙසන ලෙස ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පටු කළේය.


න්‍යාය පත්‍රය පටු කිරීම


එය රටේ දරුණු තත්ත්වයකට පත්ව තිබූ ජාතික අර්බුදයට විසඳුමක් දීම ඒ මොහොතේ කළ යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කරමින් එම මූලික ප්‍රශ්නය මගහරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණ කිරීමේදීද එහි තිබුණ ප්‍රධානතම ප්‍රශ්නය ලෙස සැලකිය හැකි පාලන බලය ලබාගන්නා පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමට ලබා ගෙන තිබූ හිමිකම නැති කොට එම දූෂිත ක්‍රමය ඒ ලෙස තබා ගනිමින්ම ඊට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පෙනුමක් ලබාදෙන ප්‍රතිසංස්කරණවලට වැඩි වැදගත්කමක් ලබා දුනි.


පොදු දේපළ කොල්ලය සිදුවෙමින් පැවතුණේ ඒවා විකිණීමට, බදුදීමට හෝ තෑගි දීමට ජනාධිපතිවරයාට සීමාරහිත රාමුවක් තුළ ලබාදී තිබුණ අභිමත බලය හා මුක්තියේ රැකවරණය මතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීතියට පටහැනිව ප්‍රසිද්ධියේම රජය සමග ව්‍යාපාර කළෝය. මෙම සාධක දෙක පමණක් දේශපාලන ක්‍රමයට ඇති කර තිබුණ විනාශය අතිවිශාල වුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එම අවලස්සන තත්ත්වය වෙනස් කරන්නට කිසිවක් කළේ නැත.


කළු සල්ලි


රටේ දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ කළු සල්ලිකාරයන්ගෙන් ලබා ගන්නා මුදල් මත යැපෙන ක්‍රමයක් පවත්වාගෙන යෑම ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂිත කිරීමට හේතුවී තිබුණු තවත් ප්‍රබල සාධකයක් ලෙස සැලකිය හැකිය. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකුගේ වියදම රුපියල් බිලියන 3ක් පමණ වන විට සිරිතක් ලෙස ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඒ සඳහා අවශ්‍ය වියදමෙන් වැඩි පංගුවක් ලබා ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගෙනි.


ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ මැතිවරණ වියදම් පාලනය කරන හා පරීක්ෂාවට ලක් කෙරෙන දැඩි නීති තිබෙන අතර, 1977 දක්වා එවැනි නීති ලංකාවේද තිබුණි. මැතිවරණ කොමිෂන් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පරීක්ෂාවට හා පාලනයට අවශ්‍ය රීති සැකසීමේ බලය සේ ම පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව සිදුවේද යන්න සොයා බැලීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවලට ලබාදී තිබේ.


එහෙත් ලංකාවේ මැතිවරණ කොමිසම හදා තිබෙන්නේ එම විෂයයන් දෙක සඳහා වන බලය මැතිවරණ කොමිසමට අහිමි කෙරෙන ආකාරයටය. මෙය නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා ඇතිවූ වරදක් හෝ අතපසුවීමක් ලෙස සැලකිය නොහැකිය. තිබෙන දූෂිත ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී සැරසිලි යටතේ පවත්වාගෙන යාමේ කූට අරමුණින් කර තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය.


මැතිවරණ කොමිසම


මැතිවරණ කොමිසමට ආවේණික එම දෝෂ 19ට පෙර සාකච්ඡාවට ලක්වූ දෝෂ ලෙස සැලකිය නොහැකිය. ඒවා 17 වැනි සංශෝධනයත් සමග සංවාදයට ලක්වූ දෝෂ ලෙස සැලකිය හැකිය. ඒ ගැන 2009 තරම් ඈතකදී මා කර තිබුණු ප්‍රසිද්ධ විවේචනයක් මෙසේය.


“මැතිවරණ කොමසාරිස්වරයා කියන ආකාරයට 17 වැනි සංශෝධනය නිර්මාණය කළ කිසිවෙක් ඒ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කර නැත. 17 වැනි සංශෝධනය නිර්මාණය කළ නිර්මාණකරුවන්ට ආවේණික සීමාසහිතකමේ තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි.


මෙම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් හොඳ අදහසින් යුතුව හා අවංක හැඟීමකින් යුතුව එසේ කළා විය හැකිය. එහෙත් වැඬේ කර ඇත්තේ දඩිබිඩියේය. ගැඹුරු අධ්‍යයනයකින් තොරවය. අඩුම වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස්වත් ලබාගෙන නැත. එපමණක්ද නොවේ. අඩුම වශයෙන් අසල්වැසි ඉන්දියාවේ මැතිවරණ කොමිසමවත් සැලකිල්ලට ගෙන නැත.


“17 වැනි සංශෝධනය හා මැතිවරණ කොමිසම – රාවය – 2009.04.19)
එම ලිපියෙන්ම ලබා ගත් තවත් උපුටා ගැනීමක් මෙසේය.

“17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ගේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් කරුණක් වනුයේ රටේ පවත්නා දේශපාලන ක්‍රමය හරියාකාරව තේරුම් නොගෙන එසේ කිරීමය.


17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කර තිබෙන්නේ ජනාධිපති ක්‍රමය ව්‍යුහ ගතකර තිබෙන ආකාරය හොඳින් සැලකිල්ලට ගැනීමෙන් තොරවය. එනම් බැඳ තැබීම සඳහා උගේ ශක්තියට ඔරොත්තු නොදෙන රැහැනක් පාවිච්චි කළ විට ඌ බැඳ තැබීමේ උත්සාහය නිරර්ථක දෙයක් බවට පත්වන්නේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අධිකරණයේ අනුමැතිය ලැබුණේ එය ව්‍යවස්ථාවට අනුකූල වීම නිසා නොව, ඒ මොහොතේ ආණ්ඩු පක්ෂය මුහුණ දී තිබුණු අර්බුදය ජය ගැනීම සඳහා ආණ්ඩුව තෝරාගෙන තිබුණු මාර්ගයට අනුමැතිය ලබා දීම අවශ්‍ය යැයි අධිකරණය කල්පනා කිරීම නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව හා ඒ නිසා එය නොසලකා සිටීමේ හැකියාවද තිබෙන බව කුමාරතුංග ජනාධිපතිනිය ඒ අවස්ථාවේ සිටම දැන සිටියා සේ ම ජනාධිපතිවරුන් බවට පත්වීමට සිහින දකිමින් සිටි අයද ඒ බව දැන සිටියෝය. අවසාන විග්‍රහයේදී රැවටුණේ පාලකයින් නොව ජනතාවය.”


කොමිෂන් සභා ක්‍රමය


රටේ ආයතන ක්‍රමය දූෂණයෙන් හා අකාර්යක්ෂමභාවයෙන් කුණුවී තිබෙන රටක දේශපාලන බලපෑමෙන් තොරව තනතුරුවලට පුද්ගලයන් පත් කරන ක්‍රමයක් එම ආයතන ක්‍රම දූෂණයෙන් තොර කාර්යක්ෂම කිරීමට හේතුවිය නොහැකිය. රටේ අධිකරණ ක්‍රමය තිබුණේ අතිවිශාල පරිහානියකට ගිය තත්ත්වයකය. අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී දේශපාලන බලපෑමෙන් තොර තත්ත්වයක් සහතික කිරීම වැදගත්ය. එහෙත් ඒ කොන්දේසිය සැපිරීමෙන් පමණක් ස්වාධීන හා යහපත් අධිකරණ ක්‍රමයක් රටට ලැබෙන්නේ නැත. එහෙත් මෙම කොමිෂන් සභා ක්‍රමය හැදූ අය සේ ම ඒ වෙනුවෙන් පෙනී සිටින අයද දේශපාලන බලපෑමෙන් තොරව විනිසුරුවරුන් පත් කරන ක්‍රමයක් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීමට හේතුවේ යැයි විශ්වාස කළා පමණක් නොව, ඒ ගැන ප්‍රසිද්ධියේ වහසි බස්ද කීවේය.


ඇති කර තිබෙන මෙම කොමිෂන් සභා ක්‍රමය නඩත්තු කිරීමට දරන්නට සිදුවී තිබෙන වියදමේ ප්‍රමාණය අතිවිශාලය. බොහෝ කොමිෂන් සභාවලට ලැබී තිබෙන්නේ ඒවා නඩත්තු කිරීම දරන්නට සිදුවී තිබෙන වියදමට නොගැළපෙන සුලු කාර්ය භාරයකි. ආයතනවල දූෂණය දුරු කිරීම හා කාර්යක්ෂම තත්ත්වයක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම පත් කරන ආයතන ප්‍රධානීන්ට පැවරෙන වගකීමක් බවට පත් කොට ඔවුන් එම වගකීම හරියාකාරව ඉටුකරන්නේ දැයි සොයා බලා ක්‍රියාකිරීමේ වගකීම ව්‍යවස්ථා සභාව හා කොමිෂන් සභා ක්‍රමය සියතට ගත්තේ නම් මෙම ක්‍රමයෙන් ලබාගත හැකි ප්‍රතිඵලය බොහෝ ඵලදායී වන්නට තිබුණි.


යහපාලන න්‍යායවාදීන් පාලකයන්ගේ දූෂණවලටද අලුත් අර්ථකථනයක් ලබාදී තිබුණු අතර, ඒ අනුව රාජපක්ෂ පාලන යුගයේ හැර ඊට පෙර යුගවල පාලකයෝ දූෂිත නොවුහ. දූෂණ වැරදි සොයා බැලීම සඳහා යොදා ගත් එම පටු රාමුව ඒ සඳහා යොදා ගත් සමස්ත වැඩසටහන අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය.


පෙරළියක අවුල


රාජපක්ෂ පාලනය පරාජය කොට යහපාලනයක් ඇතිකර ගැනීම සඳහා දේවල් සිදුවූ ආකාරයේ අවිධිමත්භාවයක් තිබුණා සේ ම, කුමන්ත්‍රණවාදී ස්වභාවයක්ද තිබුණේය. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ ආණ්ඩුවක් පරාජයවීමෙන් පසු ඊළඟ ආණ්ඩුව බවට පත්වන්නේ ප්‍රධාන විරුද්ධ පක්ෂයයි. ඊළඟ රාජ්‍ය නායකයා බවට පත්වන්නේ එම පක්ෂයේ නායකයාය.


එහෙත් 2015 පරිවර්තනයේදී සාමාන්‍ය ක්‍රමය ගලා යෑම වැළකීමේ ක්‍රමයක් ක්‍රියාත්මක විය. මහින්ද පරද්දන්න රනිල්ට බැහැ. ඒ සඳහා පොදු අපේක්ෂකයකු අවශ්‍යයැයි කියන මතවාදයක් මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රතිරූපය මුවාවක් කරගනිමින් සමාජගත කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපාරය වටා විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් කණ්ඩායම් කිසියම් ප්‍රමාණයක් එකතු වී සිටියද එම වැඩසටහන සියුම් ලෙස හසුරුවන්නන් බවට පත්ව සිටියේ කලක් රනිල් සමග එකට වැඩ කොට විවිධ හේතු මත රනිල් සමග වෛර බැඳගත් පිරිසකි.


පොදු අපේක්ෂකයා එජාපයේ අනුමැතිය ඇතිව තරග කරන අපේක්ෂකයකු බවට පත් කොට රනිල්ට තරග කිරීමට හෝ බලය ලැබීමට බැරි තත්ත්වයක් නිර්මාණය කොට ඒ ගොඩනැගෙන ආණ්ඩුවේ උපරිම බලයක් තමන් වෙත හිමි කරගැනීම හා රනිල් එජාප නායකත්වයෙන් පහකොට තමන්ට හැසිරවිය හැකි නායකයකු පත්කර ගැනීම ඔවුන්ගේ වැඩසටහනේ උපාය මාර්ගික අරමුණ වී තිබුණි.


තමන්ට එරෙහිව අටවන ලද උගුලක් ක්‍රියාත්මක වන බව රනිල් හොඳාකාරවම දැන සිටියේය. පක්ෂය තිබුණ අවුල්සහගත තත්ත්වය අනුව පොදු අපේක්ෂකයාට උපරිම ලෙස ආධාර කරන පිළිවෙතක් තුළ ඔහු ග්‍රහණයට ගැනීම රනිල්ගේ ප්‍රති උපාය මාර්ගික අරමුණ විය.


උත්ප්‍රාසජනක අවසානය


එහෙත් ජනාධිපති ලෙස තේරී පත්වූ පොදු අපේක්ෂකයා රනිල්ට කැමති ලෙස නැටවිය හැකි රූකඩයක් නොවීය. තමා බලයට ආවේ එජාපයේ ධනයෙන් හා ශක්තියෙන් බව ජනාධිපතිවරයා ඔහු බලයට පැමිණීමෙන් පසු වහාම අමතක කළේය. රනිල්ගේ විශ්වාසය වී තිබුණේ තමන්ගේ සතුරු කණ්ඩායමට ජනාධිපති සමග කළ හැකි දේට වැඩි දෙයක් තමන් වෙනුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකාට කළහැකි වනු ඇති බවය. ඒ සඳහා වන සහතිකයක්ද චන්ද්‍රිකාට රනිල්ගෙන් ලැබී තිබුණි. රනිල්ට අගමැතිකම ලැබීම වැළකීමට එම කණ්ඩායම සමත් වූයේ නැතත්, නායකයන් දෙදෙනා අතර පැවති සැකය නයි පොළොන් වෛරයක් බවට පත්කිරීමට ඔවුහු සමත් වූහ. ඒ මගින් යහපාලන ආණ්ඩුවේ ස්වකීය ගමන් මග හාස්‍යජනක විගඩමක් බවට පත් කැරුණි.


දින 52 ආණ්ඩුව ඇතිවන්නට පෙරත්, අවලස්සන ගණයෙහිලා සැලකිය හැකි බොහෝ දේවල් තිරය පිටුපස සිදුවෙමින් තිබුණි. ජනාධිපති හා ගෝඨාභය අතර සම්බන්ධය කිරිපැණි වැනි සම්බන්ධයක් බවට පත් කළේ ඔවුන්ය. ශානි අබේසේකරව දංගෙඩියට රැගෙන යන්නට අවශ්‍ය මූලික පසුබිම සකස් කළේද ඔවුන්ය. ජනාධිපති අගමැති අතර පැවති නයි පොළොන් වෛරයට ජනාධිපතිවරයාගේ පන්තිය පමණක් නොව, කුලයද බලපෑවේය.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත් අන් සියලුදෙනාට වඩා එම තනතුරට නොගැළපුණේය. දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් මිස ජනාධිපති තනතුරට පත්වීමේ හැකියාව මෛත්‍රීපාලට නොතිබුණේය. ඒ අර්ථයෙන් ඔහු අතින් සිදුවී තිබෙන වැරදි තේරුම් ගැනීම අමාරු නැත. යහපාලන ආණ්ඩුව හාස්‍යජනක විගඩමක් බවට පත් කිරීමට පුරෝගාමී වූ මෙම කණ්ඩායමට රනිල් වික්‍රමසිංහ සමග ජන්මාන්තර වෛරයක් ඇතිකර ගැනීමට සාධාරණ හේතු තිබුණා විය හැකිය. එහෙත් ඔවුන්ගේ වෛරසහගත ක්‍රියාදාමය රනිල් හා එජාප විනාශ කිරීමෙන් නැවතුණේ නැත. එය මහජනයාටද පොදුවේ රටටද අතිවිශාල හානියක් කළේය.


ඔවුන් නොවේ නම් යහපාලන ආණ්ඩුවට හරිමග යන්න පුළුවන්කමක් තිබුණා යයි මම නොකියමි. එහෙත් ඔවුන්ගේ බලපෑම නිසා නොවේ නම් ඇතිවන විනාශය මේ සා විශාල නොවන්නට ඉඩ තිබුණි.


කොහොමටත් ලංකාව ඓතිහාසික වශයෙන් ගමන් කරමින් තිබුණේ අතිවිශාල අරාජික තත්ත්වයකටය. එම අරාජිකත්වයේ යක්ෂයා විසින් පළමු වටයේදී විරුද්ධ පක්ෂය නමැති රුවල් නැවේ රුවල කඩා බිඳ දමා එම නැව ඉබාගාතේ යන නැවක් බවට පත් කළේය. දැන් එම යක්ෂයා විසින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ුව නමැති රුවල් නැවේද රුවල කඩා බිඳ දමමින් තිබෙන්නේය. ලංකාව ඉක්මනින් විපක්ෂයකුත් නැති ආණ්ඩුවකුත් නැති අරාජක රටක් බවට පත්වීමට නියමිතය.


-වික්ටර් අයිවන්-

-රාවය-

Tags: