IMG-LOGO
Home Articles පීසීආර් (PCR) පරීක්ෂණ වාර්තා ඇත්තටම නිවැරදිද..?

පීසීආර් (PCR) පරීක්ෂණ වාර්තා ඇත්තටම නිවැරදිද..?

Date : 2020-Oct-14
IMG
පීසීආර් (PCR) පරීක්ෂණයකදී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයකදී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිඳු ඉඩකඩක් නොමැත. පීසීආර් (PCR) පරීක්ෂණය සම්බන්ධයෙන් සැළකීමේදී එලෙස වැරදි වාර්තා නිකුත් විය හැකි මූලික හේතු කිහිපයක් පරීක්ෂණයේ අවධි තුනක් යටතේ විග්‍රහ කල හැකිය.


පූර්ව පරීක්ෂණ අවධිය සැළකිල්ලට ගැනීමේදී නිදර්ශකය තුල ප්‍රමාණවත් වෛරස ප්‍රමාණයක් අන්තර්ගත වීම හෝ නොවීම පරීක්ෂණ ප්‍රතිඵලයට බලපාන ආකාරය අනූව පරීක්ෂණයේ නිරවද්‍යතාවය පිළිබඳව සමාජය තුල විශාල කතා බහක් ඇතිවී ඇත. මෙහිදී සිදු කෙරෙන ඇතැම් විග්‍රහයන්ට අනූව වැරදි පරීක්ෂණ වාර්තාවක් නිකුත් වන බවට ඒත්තු ගැන්වෙන වැරදි මතයක් සමාජගත වී තිබුනද සැබවින්ම සිදු වන්නේ නිවැරදි නිදර්ශකයන් රසායනාගාරය වෙත නොලැබීම හෝ නිදර්ශකය තුල ප්‍රමාණවත් පරිදි වෛරස හෝ වෛරස න්‍යෂ්ටික අම්ල අඩංගු නොවීම හේතුවෙන් “වෛරසය අඩංගු නොවන බවට පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමයි” රසායනාගාරයක් විසින් Negative ලෙස පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරනු ලබන්නේම අදාල නිදර්ශකය තුල වෛරසය අඩංගු නොවන බව සඳහන් කරමින් වන අතර රෝගියා තුල ඒ මොහොතේ වෛරසය නොතිබූ බව ඉන් තහවුරු වන්නේ නැත. එනයින් එය වැරදි වාර්තාවක් නොවන අතර නැවත නැවත පරීක්ෂා කිරීම මඟින් වෛරසය නිදර්ශකය තුලට ඇතුළු කරවා ගැනීමේ සම්භාවිතාවය වැඩි කරවා ගැනීම දැනට අප අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාදාමය වේ.

කෙසේ නමුත් රොගියෙකුගේ සිරුර තුල ප්‍රමාණවත් පරිදි වෛරසය තිබියදීත් අප විසින් ලබා ගන්නා සෙම පටලය (නිදර්ශකය) තුලට ප්‍රමාණවත් වෛරස ගණත්වයක් ඇතුළු වීමට ඇති සම්භාවිතාව 70%ක් පමණ වන බැවින් පීසීආර් (PCR) පරීක්ෂණයකදී කෝවිඩ්19 ආසාදිතයන්ගෙන් 30%ක පමණ ප්‍රමාණයක් පළමු පරික්ෂාවේදී මඟහැරීමට යාමට ඉඩ තිබේ. ඊට අදාලව ප්‍රධාන ගැටළු ලෙස පහත තත්වයන් හඳුනා ගත හැක.


• රෝගියාගේ හෝ ලබා ගත් නිදර්ශකයේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් නොතිබීම.
• රෝගියාගේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් තිබියදීත් නිදර්ශකය ලබා ගැනීමේදී දෝෂ සිදුවීම.
• නිදර්ශකය තුල වන වෛරස විනාශ වීම හෝ වෛරස න්‍යෂ්ටික අම්ල අණු විනාශ වීම.
• රෝග අසාදන කාල පරාසයට අදාල නිවැරදි පරීක්ෂණය තොරා නොගැනීම.


කොවිඩ්19 (COVID19) හෝ වෙනත් වෛරස ආසාදනයකදී රෝගියා තුලට වෛරසය ඇතුළු වී එය ගුණනය වන ආකාරය අනූවත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩනංවන ආකාරයත් අනූවත්, ඒ ඒ මොහොතට අදාලව අසාදිත ශරීරයේ වෛරසට තිබීම, වෛරසය ඊට එරෙහි ප්‍රතිදේහ මඟින් උදාසීන වීම, අසාදිතයාගේ රුධිරය තුල ප්‍රතිදේහ තිබීම යන තත්වයන් වෛරසය අසාදනයවී ගතවූ කාලයට අදාලව වෙනස් වෙයි. ඒ අනූව කොවිඩ්19 අසාදනය වී තිබී දින 3ත් 10ත් අතර ප්‍රමාණවත් වෛරස ගණත්වයක් සෙම පටල තුල පවතීයැයි අපේක්ෂා කළ හැකි අතර එම කාල පරාසයට අදාලව රුධිරය විසින් නිපදවන ප්‍රතිදේහ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අවධියකි.


එසේම ආසාදනයෙන් දින 7ත් 10ත් අතර කාලයෙන් පසු රුධිරයෙහි කොවිඩ්19 (COVID19) හඳුනා ගැනීමට හැකි වන ප්‍රතිදේහ ප්‍රමාණවත් අයුරින් පවතී යැයි අපේක්ෂා කිරීමට හැකිය. මෙකී විචලනයන්ට අදාලව අප තෝරා ගන්නා පරීක්ෂණ ක්‍රමවේදයේ සාර්ථකත්වය තීරණය වන අතර වැරදි පරීක්ෂණ ක්‍රමවේදයක් තෝරා ගැනීම මඟින්ද අපේක්ෂිත නිවැරදි ප්‍රතිඵලය නොලැබී යා හැකිය.


කොවිඩ්19 (COVID19) පරීක්ෂණ පිළිබඳව දැනට සංවාද තලයේ පවතින ප්‍රතිදේහ පරීක්ෂණ පිළිබඳ ගැටළුවට අදාල විද්‍යාත්මක තත්වයද මෙය වන අතර ආසාධිත කාලය දින 7 – 10 කට වඩා ගතවූ රෝගීන් හඳුනා ගැනීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය 99%කට වඩා විශ්වාසදායී ක්‍රමවේදයක් වන අතර රෝග ලක්ෂණ නොමැතිව රෝගය වැලඳී සුව වූ පුද්ගලයන් පවා කොවිඩ්19 ආසාදිතව සිටියේද යන්න තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණය අත්‍යාවශ්‍යය. නමුත් මෙම පරීක්ෂණය සිදු කරන රසායනාගාර ක්‍රමවේද ගණනාවක් පවතින අතර ක්ෂණික පරීක්ෂණ ඇටවුමක් (Rapid Test Kit) ලෙසද මෙම ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය දියුණු කර තිබේ.


ක්ෂණික පරීක්ෂණ කට්ටල සැකසීමේදී සමහර සමාගම් විසින් නිශ්චිත ප්‍රමිතීන් අනුගමනය නොකිරීමහේතුවෙන් හෝ තාක්ෂණික දුබලතාවයන් හේතුවෙන් වැරදි වාර්තා නිකුත් කිරීම බහුලව නිරීක්ෂණය වීම ගැටළුවක් වන නමුත් එය පරීක්ෂණ ක්‍රමවේදයේ වරදකට වඩා ප්‍රමිතිගත නිෂ්පාදනයක් තෝරා නොගැනීමේ වරදකි. කෙසේ නමුත් රෝගියාගේ ස්වාභාවයට සහ පරීක්ෂා කිරීමට අපේක්ෂිත තත්වයන්ට අදාල සුදුසුම පරීක්ෂණ වර්ගය තෝරා ගැනීම මඟින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වන අතරම පීසීආර් (PCR) පරීක්ෂණය කල යුතු අවස්ථාවක ප්‍රතිදේහ පරීක්ෂණ හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමත් ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කල යුතු අවස්ථාවක පීසීආර් පරීක්ෂණ සිදු කිරීමත් මඟින් අපැහැදිලි හෝ වැරදි ප්‍රතිඵල ලැබීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය.


රෝගීන් මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම, ඔවුන්ගේ ප්‍රතිකාර පාලනය කිරී,ම ඔවුන් සුවපත් වූ බව තහවුරු කර ගැනීම වැනි අවශ්‍යතාවයන් සඳහා පීසීආර් පරීක්ෂණ වඩා වැදගත් වන අතරම ක්ෂේත්‍රගත රෝගීන් හඹායාම, අහඹු පරීක්ෂණ (Random Test) හෝ සමූහ පරීක්ෂා කිරීම් (Bulk Screen), ප්‍රජාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණ වැනි අවශ්‍යතාවයන් සඳහා ප්‍රමිතිගත ප්‍රතිදේහ පරීක්ෂණ මඟින් වඩා නිවැරදි ප්‍රතිඵල ලබා ගත හැකිය.


එමෙන්ම පීසීආර් පරීක්ෂණයක් වැරදියට නිකුත් වීමට ඇති අනෙකුත් ප්‍රධානම හේතුව රසායනාගාරයක් තුලදී වන තාක්ෂණික ක්‍රියාදාමයෙහි වරදකි. කොවිඩ්19 ආසාධිත නොවන පුද්ගලයෙකු සඳහා කොවිඩ් ආසාධිත යැයි වාර්තාවක් නිකුත් වීම බොහෝ විට සිදු වන්නේ මෙවැනි වරදකින් වන අතර එය ප්‍රමිතිගත රසායනාගාරයකින් කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. එවැනි වැරදි වාර්ථාවක් නිකුත් වීමට තිබිය හැක්කේ ඉතා අවම සම්භාවිතාවකි. එලෙස විවාදයට තුඩු දෙන වාර්තා කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන රසායනාගාර කිහිපයකින් වාර්තා වීමේ ප්‍රවණතාවයක්ද පසුගිය කොවිඩ්19 සමය තුල දක්නට ලැබුනු බැවින් ඊට අදාල විය හැකි හේතු පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. අපගේ නිරීක්ෂණයට ලක්වූ කරුණු අතර අදාල රසායනාගාර වල පහත ගැටළු ඊට හේතු විය හැකිය.


• සායනික පරීක්ෂණ සඳහා තහවුරු කළ නිවැරදි උපකරණ භාවිතා නොකිරීම.
• රෝගය හඳුනා ගැනීම සඳහා සුදුසු බවට ප්‍රමිතිගත කර ඇති ප්‍රතික්‍රීයක භාවිතා නොකිරීම.
• නියමිත සුදුසුකම් සහිත වෘත්තිකයන් නොයෙදවීම.
• නිවැරදි රසායනාගාර ප්‍රමිතීන් සහ ක්‍රමවේද භාවිතා නොකිරීම.
• පරීක්ෂණ ප්‍රතිඵලය නිවැරදි ලෙස අර්ථකතනය නොකිරීම.
• අර්ථකතනයේදී නිර්දේශිත රසායනාගාර (Reference Lab) සමඟ කටයුතු නොකිරීම.


පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේදී විවිධ ප්‍රමිතීන්ට අදාලව පීසීආර් පරීක්ෂන යන්ත්‍ර, ඊට අදාල උපකරණ පවතින අතර පරීක්ෂණයේ අපේක්ෂිත නිරවද්‍යතාවයට අනූව ඒවා වර්ග කරනු ලැබේ. ඒ අනූව රෝගියෙකු හෝ රෝගයක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන යන්ත්‍රයක් උපරිම නිරවද්‍යතාවයෙන් යුක්ත විය යුතු වන අතර එය සායනික පරීක්ෂණ සිදු කිරීම සඳහා වලංගු කර තිබිය යුතුය. එසේම ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කරමින් පරීක්ෂණ සිදු කිරීමට අදාල වන සුවිශේෂ ප්‍රතික්‍රීයක හෝ ප්‍රතික්‍රීයක කට්ටලද ජාත්‍යන්තර ප්‍රමිතිකරණයකින් යුත් සායනික පරීක්ෂණ සඳහා තහවුරු කළ ඒවා විය යුතුය. නමුත් “අධ්‍යයන පර්යේෂණ සඳහා පමණක් භාවිතයට සුදුසුය” යන ලේබලය යටතේ නිකුත් කර ඇති ප්‍රතික්‍රීයකද බහුල වශයෙන් භවිතා වන තත්වයක් දක්නට තිබුනු අතර එයද අදාල පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවයට බලපෑම් කළ හැකි සාධක බවට හඳුනාගත හැක.


තවද, රෝග පරීක්ෂාව සඳහා කටයුතු කරන වෛද්‍ය රසායනාගාරයක රාජකාරී කළයුතු නීත්‍යානූකූල වෘත්තිකයන්ගේ භාවිතාව එම රසායනාගාරයේ සැකැස්ම හා ඊට අදාලව අනුගමනය කරන ප්‍රමිතීන් වලද ඉතා සුවිශේෂි වෙනස්කම් දක්නට ලැබෙන අතර ජාත්‍යන්තර ප්‍රමිතිකරණ පටිපාටි වලට අදාලවද රෝගීන්ගේ පරීක්ෂාවන් සිදු කරන රසායනාගාරයක් වෙනුවෙන් අනෙකුත් රසායනාගාර වලට වඩා සංවේදී ප්‍රමිතිකරණ ක්‍රමවේදයන් හා නිර්ණායකයන් අනුගමනය කරනු ලැබේ.


ඊට අමතර වශයෙන් පශ්චාත් පරීක්ෂණ අවධියේදී අදාල යන්ත්‍ර විසින් ලබා දෙනු ලබන දත්තයන් සායනික වෛද්‍යවරයාට අදාල වන ලෙස අර්ථකතනය කළ යුතු වන අතර ඒ සඳහා අදාල රසායනාගාරය සතුව පවතින වෘත්තීය දැනුම සහ අද්දැකීම් ඉතා විශාල ලෙස වැදගත් වේ. කෝවිඩ්19 පීසීආර් (COVID19 PCR) පරීක්ෂණ වලදී සමහර අතරමැදි තාක්ෂණික ප්‍රතිඵල වලට අදාලව වාර්තා නිකුත් කිරීමේදී සමස්ථ රසායනාගාරය ජාලය සම්බන්ධ කර ගනිමින් සංවේදී ලෙස ප්‍රතිඵල නිකුත් කලයුතු වන අතර එවන් වාර්තා තනි රසායනාගාරයක් ලෙස අත්තනෝමතිකව නිකුත් කිරීමද වැරදි වාර්තා නිකුත් වීමට හේතුවක් වේ.


කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ්19 වසංගතය පාලනය කිරීම සඳහා භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ පීසීආර් පරීක්ෂණය පමණක් වන අතර දැරිය හැකි උපරිම පීසීආර් පරීක්ෂණ ධාරිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අනෙකුත් පරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කල යුතුය.


එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සමඟ ජාලගතව කටයුතු නොකරන පෞද්ගලික රසායනාගාර සහ විශ්වවිද්‍යාල ආශ්‍රිත පර්යේෂණ රසායනාගාර මඟින් නිකුත් කරන වාර්තා විධිමත් නියාමනයකට ලක් කල යුතුය. එසේම “අධ්‍යයන පර්යේෂණ සඳහා පමණක් භාවිතයට සුදුසුය” යන ලේබලය යටතේ නිකුත් කර ඇති ප්‍රතික්‍රීයක භාවිතයත් සායනික පරීක්ෂණ සඳහා වලංගු නොකරන ලද උපකරණ භාවිතයක් හැකිතාක් අවම කළ යුතුය. තවද දැනට පීසීආර් පරීක්ෂණය සඳහා පැය පහක් පමණ ගතවන සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බැවින් පැයකදී පමණ පීසීආර් පරීක්ෂාව සිදු කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති නව්‍ය තාක්ෂණය වෙත අවතීර්ණ විය යුතුය.


පීසීආර් පරීක්ෂණය යනු කෝවිඩ්19 රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂාවක් පමණක් නොවන අතර එය අනාගත වෛද්‍ය විද්‍යාවේ නියමු කාර්යයක් සිදු කරනු ලබන ඉතා අත්‍යාවශ්‍ය පරීක්ෂණයක් වන බැවින් නිවැරදි ලෙස කඩිනමින් පීසීආර් පරීක්ෂණ සිදු කලහැකි රසායනාගාර සේවාවක් ස්ථාපිත කර ගැනීමට සිදු කරනු ලබන වියදම, කැපවීම හා ඊට අදාල මහන්සිය අනාගත සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු අයෝජනයක් මිස මුදල් අපතේ දැමීමක් නොවනු ඇත.


-රවී කුමුදේශ්-
-සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය-

Tags:


A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 34 bytes failed with errno=28 No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 263

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /tmp)

Filename: Unknown

Line Number: 0

Backtrace: