You are currently viewing ඩයනා නොසුදුස්සෙක් කිරීමෙන් ඇගවෙන්නේ කුමක්ද?

ඩයනා නොසුදුස්සෙක් කිරීමෙන් ඇගවෙන්නේ කුමක්ද?

-කේ. සංජීව-

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ක්වෝ-වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරමින් පසුගිය 08 වෙනිදා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නට කටයුතු කළේය. මෙය ලංකා අධිකරණ ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බව සඳහන් කළ යුතුය. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැතැයි නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව ලබාදෙමින් පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝබර් 31 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා
විනිසුරු ඛේමා ස්වර්ණාධිපති යන දෙපළ ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමේ නීතිමය බාධාවක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන්නට කටයුතු කළ අතර එම තීන්දුවට විරුද්ධ තීන්දුවක් එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ලබාදෙන්නට කටයුතු කළේය.

එම තීන්දුවෙන් කියවුණේ ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවය. එසේ කියමින් එම විනිසුරුවරයා විසින් පෙත්සම්කරුගේ ඉල්ලීමට ඉඩ දෙමින් ඇගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්න යැයි නියෝගයක් ලබාදුන් අතර එය සුළුතරයේ තීන්දුව නිසා එයින් එවක ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට ගැටලුවක් ආවේ නැත.

අභියාචනාධිකරණයේ  තීන්දුව අභියෝගයට

අභියාචනාධිකරණයේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව අභියාචනාධිකරණයේ එකී තීන්දුව බලරහිත කරමින් නියෝග‍යක් නිකුත් කළ අතර එයින් කියවුණේ ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුගිය 2023 ඔක්තෝබර් 31 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් තුනෙන් දෙකක බහුතර තීන්දුව නීතියට අනුකූල තීන්දුවක් නොවන බවය.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළ අතර එයින් කියවුණේ ආගමන විගමන පාලකවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්, අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා හා සෙසු ලේඛන අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය තමන්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය මේ දක්වා නීත්‍යනුකූලව ඉවත් කර ගත් බවට හා ඇය ශ්‍රී ලාංකික පුරවැසියකු බවට සනාථ කිරීමට අසමත් වී ඇති බවය. ඒ අනුව විනිසුරුවරයා මෙහිදී එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙත්සම්කාර ඕෂල හේරත් මහතාට අභියාචනාධිකරණය හමුවේ හා තම අධිකරණය හමුවේ පැවරූ නඩු දෙක සඳහා වැය වූ නඩු ගාස්තු ද ගෙවන ලෙස ඩයනා ගමගේ මහත්මියට නියෝග කරන්න කටයුතු කළේය.

නඩු වාර්තාව කියන්නේ කුමක්ද?

බීබීසී සිංහල වෙබ් අඩවිය සහ අනිද්දා පුවත්පත වාර්තා කරන ආකාරයට පිටු 32කින් යුතු මෙම වැදගත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ කුමන තනතුරක් දැරුවත් රටේ ඕනෑම පුරවැසියකු එම රටේ බලාත්මක නීතියට යටත් විය යුතු බවය. නීතියට ඉහළින් කිසිවකු නොසිටිය යුතු බවත් මෙම තීන්දුව මගින් පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විදේශ රටක පුරවැසියකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට හේතු පැහැදිලිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය මගින්ම පෙන්වා දී ඇතැයි ප්‍රකාශ කර ඇත.

මෙම නඩු තීන්දුව විසින් අවධාරණය කරන වැදගත් කරුණ වන්නේ ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට අසමත්වීම පමණක් නොව ඇය සිය බලය අයුතු ලෙස භාවිත කර ඇති බවය. ගරු විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ ද ප්‍රකාශ කරයි.

‘වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් 05 වන දින දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේ දී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා.

වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තරකාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.’

ගරු විනිසුරුවරුන්ගේ මෙම නිරීක්ෂණයන් ඉතා වැදගත් ය. දේශපාලන බලය සහ දේශපාලන හිතවත්කම්  ඒ හරහා ලැබෙන වරදාන වරප්‍රසාද විසින් නීතිය නමන ආකාරය මෙම නඩු තීන්දුවෙන් මනාවට පැහැදිලි වෙයි. ඒ අර්ථයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි අපගේ ගෞරවය ප්‍රකාශ කළ යුතුය. රටෙන් ගිලිහී යමින් තිබෙන නීතියේ පාලනය යම් ප්‍රමානයකට හෝ රැකී තිබෙන්නේ මෙවැනි නඩු තීන්දුවලට පිංසිද්ධ වෙන්න ය. එය සඳහන් කළ යුතුමය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ පැවති නඩුව ගැන ද සිය නිරීක්ෂණයන් ඉදිරිපත් කරයි. ඒ ආශ්‍රිත කරුණු ද ඉතාමත් වැදගත් ය.

‘අභියාචනාධිකරණය ඉදිරියේ පැවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාළව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (කොපි පේස්ට්) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි’ මෙම නිරීක්ෂණය හරහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ කුමක්ද? අප මේ පිළිබඳව බරපතළ ලෙස සලකා කටයුතු කළ යුතුය.

‘මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බවක් කිසිඳු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය, විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා”

මෙසේ ප්‍රකාශ කළ විනිසුරුවරයා මේ අනුව ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදී තිබූ තීන්දු සියල්ල ඉවත දමන බවත් ප්‍රකාශ කර ඇත. මෙම තත්ත්වය තුළ ඩයනා ගමගේ
මහත්මිය ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් ‘කෝ වොරන්ටෝ’ රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.

මෙම අධිකරණ තීන්දුවෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවද නීතිය නමා ඇති ප්‍රමානයයි. දැන් ප්‍රශ්නය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියලු තත්ත්වයන් අනාවරණය කර නඩු තීන්දුවක් ද ලබාදී ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කර තිබෙන පසුබිමක ඇය තවමත් නිදැල්ලේ පසුවීමය. මෙයින් ඇගවෙන්නේ කුමක්ද?