You are currently viewing ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙන්නේ ඇයි?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙන්නේ ඇයි?

ස්වෛරීත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ අයිඑම්එෆ් එක විසින් පෙන්වනවාට වඩා වැඩියි.

අලුත්ම (2023 දෙසැම්බර්) අයිඑම්එෆ් ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි.
2023 – ඇමරිකානු ඩොලර් බිලියන 83.2
2024 – ඇමරිකානු ඩොලර් බිලියන 81.6
2025 – ඇමරිකානු ඩොලර් බිලියන 81.8
2026 – ඇමරිකානු ඩොලර් බිලියන 83.4
2027 – ඇමරිකානු ඩොලර් බිලියන 87.2
2025-2027 සාමාන්‍ය අගය – ඇමරිකානු ඩොලර් බිලියන 84.2

මෙම ඇස්තමේන්තු අවුරුද්දකට කලින්, 2023 මාර්තු වලදී, අයිඑම්එෆ් එක විසින්ම හදා තිබුණු ඇස්තමේන්තු වලට වඩා වැඩියි. පහත තියෙන්නේ එම ඇස්තමේන්තු.
2023 – ඇමරිකානු ඩොලර් බිලියන 75.3
2024 – ඇමරිකානු ඩොලර් බිලියන 76.0
2025 – ඇමරිකානු ඩොලර් බිලියන 78.4
2026 – ඇමරිකානු ඩොලර් බිලියන 81.3
2027 – ඇමරිකානු ඩොලර් බිලියන 85.0
2025-2027 සාමාන්‍ය අගය – ඇමරිකානු ඩොලර් බිලියන 81.6

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වෙයි කියලා. එහෙම වෙන්න පුළුවන්ද? ඔය අගය, ඒ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය, අයිඑම්එෆ් එක කියන ඇමරිකානු ඩොලර් බිලියන 84.2 වුණොත්, 28%ක ණය කප්පාදුවක් කරන්න ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කැමතියි. මොකද එහෙම ණය කප්පාදුවක් නොකර ලංකාවට තිරසාර ලෙස ණය ගෙවාගෙන යන්න බැරි නිසා. හැබැයි මේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වුණොත් ලංකාවට ඔය තරම් කප්පාදුවක් නොකළත් ණය ආපහු ගෙවන්න පුළුවන්. ඒ නිසා, කප්පාදුව 7.3%කට සීමා විය යුතුයි. ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන්ගේ තර්කය ඒක.

දැන් ඔය අයිඑම්එෆ් ඇස්තමේන්තුව හරියයි කියලා ලංකාවට හොඳටම විශ්වාස නම් බයක් සැකක් නැතුව ණයහිමියන්ගේ යෝජනාවට කැමති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ණයහිමියන්ගේ ඇස්තමේන්තුව නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි. ඔය අයිඑම්එෆ් ඇස්තමේන්තු හදන විට දැනගෙන නොසිටියත් 2023 ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දැන් අපි දන්නවා. එම අගය ඩොලර් මිලියන 84.5ක්. එම අගය අයිඑම්එෆ් එකේ 2023 මාර්තු ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 75.3ට වගේම දෙසැම්බර් ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 83.2ටත් වඩා වැඩියි. ඒ වුණත්, දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96.3ක් තරම්ම වැඩි වෙන්න පුළුවන්ද?

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්න හේතු තුනක් බලපානවා.
1. මූර්ත ආර්ථික වර්ධනය
2. මිල මට්ටමේ වෙනස් වීම (උද්ධමනය)
3. ඩොලරයක මිල වෙනස් වීම

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විසින් යෝජනා කරන අලුත් ණය උපකරණ වර්ගයට ආර්ථික වර්ධනය හා බැඳුණු බැඳුම්කර කියන්නේ නැතිව සාර්ව ආර්ථිකය හා බැඳුණු බැඳුම්කර කියන හේතුවත් මේ අනුව පැහැදිලි විය යුතුයි. ආර්ථිකයේ මූර්ත අංශයේ ප්‍රසාරණය නිරූපණය කරන ආර්ථික වර්ධන වේගය ඉහත හේතු තුනෙන් එකක් පමණයි. මිල මට්ටම වැඩි වීම මගින් රටේ මුදල් අංශයේ ප්‍රසාරණය නිරූපණය වෙනවා. ඩොලරයක මිල වෙනස් වීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් වීම හෝ දුර්වල වීම නිරූපණය වෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වෙනස් වීමට රටේ මූර්ත, මුදල් හා විදේශ අංශ තුනේම සිදු වන දේවල් බලපානවා.

පහත තියෙන්නේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව අයිඑම්එෆ් එකේ 2023 මාර්තු පුරෝකථන.
2023 –  (-3.0)
2024 – 1.5
2025 – 2.6
2026 – 3.0
2027 – 3.1

මිල මට්ටමේ වෙනස් වීම පුරෝකථනය කරලා තිබුණේ මේ විදිහටයි.
2023 –  30.0
2024 – 10.7
2025 – 5.2
2026 – 5.1
2027 – 5.0

මේ අනුව, නාමික ආර්ථික වර්ධන වේගය මේ විදිහට පුරෝකථනය කරලා තිබුණා.
2023 –  26.0
2024 – 12.3
2025 – 8.3
2026 – 8.4
2027 – 8.3

ඩොලරයක මිල පුරෝකථනය කරලා තිබුණේ මෙහෙමයි.
2023 – 396
2024 – 441
2025 – 462
2026 – 484
2027 – 502

ඔය ඇස්තමේන්තු 2023 දෙසැම්බර් වෙද්දී මේ විදිහට වෙනස් වෙනවා. මුලින්ම ආර්ථික වර්ධන වේගය.
2023 –  (-3.6)
2024 – 1.8
2025 – 2.7
2026 – 3.0
2027 – 3.1

ඊළඟට මිල මට්ටමේ වෙනස් වීම.
2023 – 20.4
2024 – 10.1
2025 – 6.3
2026 – 5.4
2027 – 5.3

මේ අනුව, 2023 දෙසැම්බර් වෙද්දී නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු මේ විදිහට වෙනස් වෙලා තිබුණා.
2023 – 16.1
2024 – 12.1
2025 – 9.1
2026 – 8.6
2027 – 8.5

හොඳින් පරීක්ෂා කර බැලුවොත් ආර්ථික වර්ධන ඇස්තමේන්තු තරමක් එහා මෙහා වෙලා තිබුණත් ලොකු වෙනසක් නැහැ. උද්ධමන ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් නැහැ. ඒ නිසා, නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තුවලත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙමනම්, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වුණේ කොහොමද?
මේ වෙනස් වීමට ලොකුවටම බලපා තියෙන්නේ ඩොලරයක මිල පිළිබඳ ඇස්තමේන්තු.
2023 – 334
2024 – 385
2025 – 419
2026 – 446
2027 – 463

දැන් අපි 2023 දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව හරියටම දන්නවනේ. ඔය පුරෝකථන සහ සැබෑ අගයන් කොයි තරම් සමීපද?
ආර්ථික වර්ධන වේගය: -2.3
මිල මට්ටම වෙනස් වීම: 17.5
නාමික ආර්ථික වර්ධන වේගය: 14.8
ඩොලරයක මිල: 327
දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය: 84.5

නාමික ආර්ථික වර්ධන වේගය දෙසැම්බර් ඇස්තමේන්තුවට වඩා තරමක් අඩු වෙලා වුණත්, ඩොලරයක මිල ඇස්තමේන්තුවට වඩා අඩු වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය තරමක් වැඩි වෙලා තිබෙනවා.  දැන් මේ අගය අයිඑම්එෆ් ඇස්තමේන්තුවල විදිහට 2025-2027 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 84.2 මට්ටමේ තියෙයිද? එහෙම නැත්නම් බැඳුම්කර හිමියෝ හිතන විදිහට ඩොලර් බිලියන 96.3 මට්ටමට යයිද?
මෙය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඩොලරයක මිල වෙනස් වීම මතයි. මුලින් අයිඑම්එෆ් එක විසින් ඇස්තමේන්තු කර තිබුණු විදිහට 2027දී ඩොලරයක මිල රුපියල් 502ක් නොවුණත්, සංශෝධිත ඇස්තමේන්තුවල විදිහට රුපියල් 463 මට්ටමට යයිද?

මේ අවුරුද්දේ මාස තුනහමාරක් යද්දී ඩොලරයක මිල රුපියල් 300 මට්ටමට බැහැලා. එහෙමනම් මේ අවුරුද්දේ සාමාන්‍ය අගය රුපියල් 385 දක්වා යයිද? ඩොලරයක මිල මේ අවුරුද්දේ ඒ තරම් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඒ වගේම, උද්ධමනය දැනටමත් 5% මට්ටමේ ස්ථාවර වෙලා. මහ බැංකුවට උද්ධමනය ඒ මට්ටමේ තියා ගැනීමට දැන් නීතිමය වගකීමක් තියෙනවා. අපි හිතමු උද්ධමනය දිගටම 5% මට්ටමේ තිබිලා ආර්ථික වර්ධන වේගය අයිඑම්එෆ් දෙසැම්බර් පුරෝකථනවලට කිට්ටුවෙන් යයි කියලා. එහෙම වෙද්දී ඩොලරයක මිල පහත ආකාරයෙන් වෙනස් වුණා කියලා හිතමු.

2024 – 320
2025 – 335
2026 – 360
2027 – 390

ඔය වගේ තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ මෙහෙමයි.
2023 – ඇමරිකානු ඩොලර් බිලියන 84.5
2024 – ඇමරිකානු ඩොලර් බිලියන 92.3
2025 – ඇමරිකානු ඩොලර් බිලියන 95.1
2026 – ඇමරිකානු ඩොලර් බිලියන 95.7
2027 – ඇමරිකානු ඩොලර් බිලියන 98.1
2025-2027 සාමාන්‍ය අගය – ඇමරිකානු ඩොලර් බිලියන 96.3

ඒ කියන්නේ ඩොලරයක මිල ඉහත ආකාරයෙන් වෙනස් වුනොත් ණයහිමියන්ගේ ඇස්තමේන්තුව පහසුවෙන්ම හරියන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඩොලරයක මිල ඔය මට්ටම්වල තියෙයිද? මෙය තීරණය වෙන්නේ ඉදිරි වසරවලදී රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ මත. එම විදේශ විනිමය ප්‍රවාහ යහපත් මට්ටමක තිබුණොත් ඩොලරයක මිල ඔය මට්ටම්වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලරයක මිල අයිඑම්එෆ්  පුරෝකථනවල මට්ටමට ඉහළ යන්න පුළුවන්.

ඉදිරි වසර වලදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ ආර්ථික වර්ධනය අනුව හෝ උද්ධමනය අනුව නෙමෙයි. ඒවා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. මේ අගය ලොකුවට වෙනස් විය හැක්කේ ඩොලරයක මිල වෙනස් වීම අනුවයි. එය සිදු වන්නේ රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ අනුවයි.

ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ. ඒ අය ඔය තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩි වුණොත් වැඩියෙන් ණය ආපසු ගෙවිය යුතුයි කියා කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඉදිරි වසරවලදී රටට වැඩියෙන් විදේශ විනිමය ප්‍රවාහ ගලා ආවොත් ඒ විදේශ විනිමය යොදාගෙන ඔවුන්ගේ ණයවලින් වඩා වැඩි කොටසක් ගෙවන්න කියන එකයි. එහෙම වැඩියෙන් විදේශ විනිමය ප්‍රවාහ රටට ගලා ආවේ නැත්නම් ඔවුන්ට කොහොමටවත්ම තමන්ගේ ණයවලින් ලොකු කොටසක් ආපහු ගන්න බැහැ. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අඩු නම් වැඩි ණය කප්පාදුවකට ඔවුන් නොපැකිල කැමති වෙන්නේ ඒ නිසා.

-ඉකොනොමැට්ටා-

https://economatta.blogspot.com/2024/04/blog-post_17.html?spref=fb&fbclid=IwZXh0bgNhZW0CMTAAAR0hhRcRLmeAT8dazo85Yd-L8m9GzIkWCEHGT55HfXT6sGnD_z_4kmTn4pY_aem_AeRRyROA05h6-aCI0bz2tE8QtT7oQ1ia_lFT1S8a36y1GJIEiKQjYsEmGvdwCj4EgLrnsp55k24ceKhRDWHR5Hax