You are currently viewing සහල් සහනාධාරය යනු කුමක්ද?

සහල් සහනාධාරය යනු කුමක්ද?

-කේ. සංජීව-

ජනාධිපතිවරණය පිළිබඳ උණුසුමකින් රට ඇළලී යමින් තිබෙන පසුබිමක රජය සහල් සහනයක් දෙන්නට කටයුතු කළේය. මෙම සහල් ප්‍රධානය පිළිබඳව අදහස් දක්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙම සහල් සහනය මාස දෙකක කාලයක් සඳහා ලබාදෙන්නට කටයුතු කළ බවය.

මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ආකාරයට මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත එනම් පවුල් විසිහත් ලක්‍ෂ හතළිස් දහසක් වෙත, අප්‍රේල් සහ මැයි මාස සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් 4,676,474,300ක් හෙවත් මිලියන 4,676කි. රජය ගණන් බලා ඇති අන්දමට මෙම මාස දෙකක කාලය තුළ ජනතාව වෙත මෙම සහනය ලබාදීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 54,800ක් අවශ්‍ය වෙයි. රජයම ප්‍රකාශ කරන්නේ අවශ්‍ය එම සහල් තොග කුඩා මෝල් හිමියන්ගෙන් ලබාගන්නා බවයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්හට ඒ සඳහා බලය පවරා ඇත. මෙම මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් බාදෙමින් සිටියි. මෙම සහල් බෙදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. එහෙත් සැලකිය යුතු කරුණ වන්නේ මේ සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නැති වීමයි. අඩුම පහුගිය කන්නයේ වී අස්වැන්න කැපෙන කාලය වනවිට ආණ්ඩුවට මේ පිළිබඳව අදහසක් තිබුණා නම් මෙම සහල් සහනය වෙනුවෙන් ලබාදිය යුතු සහල් තොග වී අලවි මණ්ඩලය හරහා රැස් කරගන්නට තිබුණි.

ජනාධිපතිවරයාගේ කතාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම  සහල් සහනාධාරය බෙදාදීමේ ආරම්භක උත්සවයට සහභාගී විය. එම ජාතික උත්සවය පසුගිය දා පැවැත්වූවේ ඌව පරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගණයේ ය. එහිදී සහල් බෙදාදීම සංකේතවත් කරමින්, ජනාධිපතිවරයා විසින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට අප්‍රේල් මාසයේ සහල් මල්ල ප්‍රදානය කරනු ලැබීය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

‘අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලුදෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවෙන් සිටිනවා.

රටේ සංවර්ධන ක්‍රියාවලියේ වාසිය සියලු දෙනාට හිමිවිය යුතුයි. ඒ නිසා අස්වැසුම වැඩසටහනින් ලබාදෙන ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අප කටයුතු කළා. ඒ වගේම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දී වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා.’

මෙම සහල් බෙදීම දිස්ත්‍රික්ක 18ක පුළුල්ව සිදුවන විට, ජනාධිපතිවරයා එය අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් යැයි ප්‍රකාශ කළත් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන්නේ එය එසේ නොවන බවය. ඇතිහැකි අයටත් රජයේ සහල් සහනය ලැබෙන බවය.

සහල් වැඩි මිලට ගන්නේ ඇයි?

රජයේ සංඛ්‍යා දත්තවලට අනුව මෙම සහල් බෙදාදීමේ වැඩසටහනින් වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 283,013කට මෙම ප්‍රතිලාභය හිමිවෙයි. ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වැය කරන මුදල රුපියල් මිලියන 537කට අධිකය. දෙවෙනියට වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල්  2,43,892කට මෙම සහල් සහනය ලැබෙයි. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 400කට අධිකය. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2,41,623කට මෙම සහල් සහනය ලැබෙන අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරය වැයකරනු ලබන මුදල රුපියල් 459,083,700කි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මෙම සහල් බෙදාදීම සඳහා අවශ්‍ය සහල් තොග එම ප්‍රදේශයේම කුඩා පරිමාණ මෝල් හිමියන්ගෙන් මිලදී ගන්නට කටයුතු කර ඇත. එය හොඳ දෙයක් ය. එහෙත් ප්‍රශ්නය වන්නේ වෙළඳපොළේ පවතින සහල් සිල්ලර මිලටත් වඩා වැඩි මිලකට මෙම සහල් රජය විසින් මිලදී ගැනීමය. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින රටක් එසේ කරන්නේ කොහොමදැයි මේ ලියුම්කරුට නම් සිතාගන්නට නොහැකිය. ගාල්ල මොනරාගල ආදී ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල රාජකාරිකරන කිහිපදෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රදේශය භාර ග්‍රාමසේවක, ආර්ථික සංවර්ධන නිලධාරියා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරියා යන නිලධාරීන් තුන්දෙනා එකතුව සහල් මිලදී ගන්නා මෝල කුමක් ද යන්න තෝරාගන්නා බවය. ප්‍රාදේශීය ලේකම්වරයා එම තීරණයට අවසානයේ අනුමැතිය ලබාදී ඇත.

මෙසේ සහල් මිලදී ගැනීමේදී මොනරාගල දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ට රතු කැකුළු සහල් කිලෝ එකක් සඳහා රුපියල් 186ක මිලක් හිමිවී ඇත. මේ ලිපිය ලියන මොහොතේ ප්‍රකට සුපිරි වෙළඳසැළක රතු කැකුළු සහල් කිලෝවක් සිල්ලරට විකුණන්නේ රුපියල් 168ක මිලකටය. මෙයින් පෙනෙන්නේ මෝල් හිමියෙකුට අවශ්‍ය නම් කාර්ගිල්ස් සුපිරිවෙළඳ සැලෙන් සහල් මිලදී ගෙන එය පසුව රජයට අලෙවි කරන්නට පුළුවන් ය. ඒත් ලාභය..!. පොලොන්නරුව වැනි ප්‍රදේශවල සුළු පරිමාණ වී මෝල් හිමියන් අභාවයට ගොස් තිබෙන පසුබිමක සහ එම ප්‍රදේශයේ ගොවියන් බහුලව සම්බා සහ නාඩු වගා කරන පසුබිමක මේ දෙයද සිදුවන්නට පුළුවන් ය. පනින රිළවුන්ට ඉනිමං තවදුරටත් බඳින්නට එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විට එය ගණනකට නොගෙන ආණ්ඩුව මේ කරන්නේ කුමක්ද?

වී අලෙවි මණ්ඩලය ට මොකද වුණේ?

මෙසේ සහල් වැඩි මිලට මිලදී ගත් විට එයින් ගොවියාටද හොඳක් වෙන බව පසුගිය දා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර එය එසේ වන්නේ කෙසේදැයි අපට නම් සිතාගැනීම අසීරුය. ඒ මන්ද, පසුගිය කන්නයේ රතු කැකුළු වී, ගොවියා විසින් මෝල් හිමියාට විකුණා දැමුවේ සොච්චම් මුදලකට වීම නිසා ය. ඒ අනුව මේ සහල් බෙදිල්ලෙන් රාජ්‍ය නිලධාරීන්ට සහ ගමේ මෝල් හිමියන්ට නම් හොඳක් වෙන බව පැහැදිලිය.

මෙවර මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ ක්‍රමය කුමක්ද? ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම ලියුම්කරුට ප්‍රකාශ කළේ මෙවැනි දෙයක් ය. ‘වී අලෙවි මණ්ඩලය මෙවර වී මිලදී ගන්නේ නෑ නෙවෙයි. ගොවියෝ අපිට වී දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. අපි සහතික මිලක් දැම්මාට පස්සේ ලොකු ලොකු මෝල්කාරයෝ හැමෝම වැඩි මිලට වී මිලදී ගත්තා. අපිට වී ඇටයක් ගන්න බැරි වුණත් ඇමතිවරයා විදිහට මම සතුටු වෙනවා. මොකද අද ගොවියාට හොඳ මිලක් ලැබිලා තියෙනවා.’

මෙවර වී මිලදී ගන්න කොපමණ මුදලක් රජය විසින් වෙන් කළාද? යැයි ලියුම්කරු අමාත්‍යවරයාගෙන් ඇසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය –

‘රුපියල් මිලියන 500ක් වෙන් කළා. හැබැයි තවම ඒ ගානට හරියන්නවත් අපිට වී මිලදීලා ගන්න බැරිවෙලා තියෙනවා.‘

මේ තත්ත්වය තුළ ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවුණොත් රජයේ ගබඩා තුළ වී තොග නැතිවීම ප්‍රශ්නයක් නෙවෙයිද? යන්නෙන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි උත්තරයක් ය.

‘ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතිං ඒකට මට කරන්න දෙයක් නෑ. ඒක රට ගැනම හිතලා කරන්න ඕනෑ දෙයක්. මම ඒ ගැනත් හිතලා තමයි මුලින් වී මිලදී ගන්න මුදල් ඉල්ලුවේ. නමුත් මුදල් අමාත්‍යාංශය ඒකට මැදිහත්වෙලා ඒ වැඩේ කරන්න දුන්නේ නෑ. ඉතිං එතනින් එහාට මට කරන්න දෙයක් නෑ‘.

දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හෝ නැතිනම් ඇත්තටම දුප්පත් ජනතාව වෙනුවෙන් මෙසේ සහල් බලාදෙන්නට අදහසක් තිබුණා නම් එය කලින් සැලසුම් කර වී අලෙවි මණ්ඩලය හරහා ඒ සඳහා අවශ්‍ය වී තොග නොගත්තේ ඇයි? මෙම සහනය ලබාදීම සඳහා අවශ්‍ය සහල් තොග සඳහා අවශ්‍ය වී කලින්ම මිලදී ගන්නට රජයට නුවන තිබුණේ නම් එයින් විශාල මූල්‍යමය වාසියන් රජයට අත්වෙන්නට තිබුණි. එහෙත් ආණ්ඩුව එවැනි පියවරක් අනුගමනය කළේ නැත. ඒ වෙනුවට වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කර මෝල් හිමියන්ගෙන් වැඩි මිලට සහල් ගන්නට රජය තීරණය කළේය. රට ආර්ථික අර්බුදයකින් පීඩා විඳින තත්ත්වයක එසේ කරන්නේ කෙසේද? කල්පනා කළ යුතුය.

පසුගිය කාලයේ, මහා භාණ්ඩාගාරයෙන් ගොවි භාරකාර අරමුදලට ලැබිය යුතු රුපියල් බිලියන 05ක මුදලින් රුපියල් බිලියන 02ක් වී මිල දී ගැනීම සඳහා නිදහස් කරන්න යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණත් එයට නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එයින් පෙනෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක රට ගිලී ගොස් තිබුණත් අප තවමත් පුරුදු දූෂිත පාරේම ගමන් කරමින් සිටින බවය.

ගුල්ලෝ හාල්

මෙම සහල් බෙදාදීම මෙසේ සිදුවන විට වැලිඔය මිනිසුන් චෝදනා කළේ තමන්ට ලැබුණේ කල් ඉකුත් වූ සහල් බවය.  මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා වැලිඔය සපුමල්තැන්න ග්‍රාමයේ දුප්පත් කාන්තාවකට කතා කළ විට ඇය ප්‍රකාශ කළේ ඒ සහල් කන්නට බැරි බවය. බත තැම්බූ පසුව දුගඳක් වහනය වෙන බවය. මාධ්‍ය මේ පිළිබඳව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්නගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය. මේවාට කොහෙන් සිනහ විය යුතුදැයි කියන්නට දන්නේ නැත. පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ගොවි මහතෙකුට දූරකථනයෙන් අමතා මේ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ තමන්ට ලැබුණ සහල් කිලෝ දහය කඩේට විකුණා දැමුණු බවය. සහල් සහනය ලබාගත් බොහෝ දෙනෙකු එසේ කළ බව ඔහු ලියුම්කරු සමග ප්‍රකාශ කළේය.

මෙම සහල් සහනයේ කතාවෙන් එළියට එන්නේ කුමක්ද? ආර්ථික අර්බුදයෙන් කරවටක් ගිලී ගියත් අප තවමත් එයින් ගොඩ එන්නට සාධනීය උත්සාහයක් සහ කැපවීමක් නොපෙන්වන බවය..!