You are currently viewing දණ්ඬනීතියේ 287 සහ සමාජ මාධ්‍යයේ හැසිරීම ..!

දණ්ඬනීතියේ 287 සහ සමාජ මාධ්‍යයේ හැසිරීම ..!

-කේ. සංජීව-

සිංහල අලුත් අවුරුද්ද අවසන් වුණත් ඒ අරඹයා නිර්මානය වූ ගීතයක් නිසා මේවනවිට සමජයේ විශාල කතාබහක් ආරම්භ වී තිබේ.

‘තුන් හෙළේ හැඩ අලුත් කරන්
එන්නෙ අවුරුදු කුමරු බොලන්
සූරිය මංගල්ලේ…
සූරිය මංගල්ලේ…’ යන්න එම ගීතයයි.

මෙම ගීතයේ පද වෙනස් කර, ගීතයේ තනුවට ඔබින ලෙස එයට අසභ්‍ය යැයි කියන වචන එකතුකර, එම තනුවටම ගායනා කළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබීම එම සංවාදය සඳහා හේතුවී ඇත. මෙම සංවාදය අවසන මේවනවිට නුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි, දුම්මලසූරිය සුරාබදු කාර්‍යාලයේ සුරාබදු නිලධාරියෙක් සේ කටයුතු කළ අසංග රමේෂ් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අත්අඩංගුවට ගැනීමට හේතුව මෙම පුද්ගලයා අදාළ වීඩියෝව තම ෆේස්බුක් අවකාශය හරහා බෙදාගැනීමය. ඒ අනුව තවත් කෙනෙක්ගේ පෝස්ටුවක් ෂෙයාර් කිරීම අසංග රමේෂට රක්ෂිත බන්ධනාගාර ගතවන්නට හේතුවක් වී ඇත. සුරංඟනීට මාළු ගෙනාවා, සීතල සඳ එළියේ, සුදු අසුපිට නැඟලා වැනි සුප්‍රකට ගීතයන් කුණුහරුප යැයි කියන වචන යොදාගෙන සිනහව උදෙසා ගැයුව අතීතයක් අප කාහටත් ඇත. මෙම ගීතයන් අප විනෝද චාරිකා යනවිටද පාටි අවස්ථාවල සුරාමතින් මත්වී ද තවමත් ගයන්නේ සිනහව විනෝදය උදෙසා මය. මේ කියන විකෘති කිරීමත් ඊට වැඩි දෙයක් නොවෙන බව කිවයුතුය. එය නරඹනු ලැබූ සහ එය බෙදාගත් එයින් විනෝද වූ ඕනෑම කෙනෙක් ගේ හැඟීමත් එයම වෙන්නට පුලුවන් ය. එහෙත් සුළු පිරිසකට මෙයින් වේදනාවක් ඇතිවිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාද එවැනි පුද්ගලයෙක් ය.  ඔහු මෙම ගීතය අරඹයා සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ පසුගිය 17 දා ප්‍රකාශයට පත්කර ඇත.

‘දෙවෙනි රූපයේ දක්වා ඇති මුහුනු පොත් පිටුවේ සිංහල අවුරුදු දවසේ, රෝහණ බැද්දගේ මහතා විසින් මීට දශකයකට පමණ පෙර ගායනා කළ ගීතයක් විකෘති කරමින් පළ කිරීමක් සිදුවුණා. එහිදී සිංහලයන්ගේ සූරිය මංගල්‍යය කැ… මංගල්‍යයක් ලෙස හැඳින්වුණා. ලක්ෂ ගණනක් දෙනා එම වීඩියෝව නරඹා තිබුණා. මා එය දුටු පළමු මොහොතේම පොලිස්පතිතුමාට කතාකර ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළා. (තවත් අය ඒ ගැන පැමිණිලි කරන්නට ඇතැයි සිතමි).

අද උදෑසන පොලිසියේ අදාළ අංශය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියා මට දූරකතනයෙන් පැවසුවේ මාගේ පැමිණිල්ල මත පදනම්ව මේ සිද්ධිය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් ඔහු වයස අවුරුදු 31ක සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරියෙක් බවත්, අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. මේ කුණුහරපය නිසා සිංහල අවුරුද්ද සමරණ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හිත් රිදවෙන බව මා ෆේස්බුක් සමාගමටත් පැමිණිලි කරා. ඔවුන් මට පවසා තිබුණේ ඔවුන්ගේ මොකක්දෝ ස්ටෑන්ඩර්ඩ්ස් අනුව එය ප්‍රශ්නයක් නොවන බවයි..’

මෙම අත්අඩංගුවට ගැනීමට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන බව මෙම සටහන තුළින් පැහැදිලි වෙයි. පැමිණිල්ල සිදුකළ චන්න ජයසුමන මහතාගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ අතීත
සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව අපට අවබෝධයක් ඇත. ඒ අනුව බැලීමේදී උත්ප්‍රාසයක් ජනිතවීම වැළැක්විය නොහැකිය. මෙම පැමිණිල්ල හරහා චන්න ජයසුමන මහතා සිංහල ජනතාවට අගෞරවයක් සිදුකර ඇති බව ලිපිය ලියන ලියුම්කරුගේ හැඟීමයි. බහුතර සිංහල ජනතාව මෙවැනි ගීතවලින් සිත් රිදවාගන්නේ නැත. සිත් රිදවා ගන්නවා නම් සිංහලයාට මීටවඩා බැරෑරුම් හේතු ඇත.

අයිතිය කාගේද?

දැනගන්නට තිබෙන ආකාරයට 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ ‘සූර්ය මංගල්‍යය’ වැඩසටහන වෙනුවෙන් මෙම ගීතය රන්වල බලකාය විසින් නිර්මානය කර ගායනය කර ඇත. එහි පද රචනය ගීත් තරංගගේ ය. සංගීතය සහ තනු නිර්මානය සහන් රන්වලගේ ය. ගායනය රෝහණ බැද්දගේ ගේය. මෙම ගීතය වෙනස්කර ගැයීම ගැන සහන් රන්වල මහතා දරන්නේ සුමුදු අදහසක් ය. බීබීසී සිංහල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ – ‘ගීතයක පද විකෘති කරන එක අනුමත කරන්න බෑ. ඒ වගේ ම ඒ වගේ දෙයක් කරලා සමාජ මාධ්‍යවල පළ කිරීමත් වැරදි වැඩක්. ඒත්, මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. මම නම් ඔය දේවල් වැඩිය ගණන් ගන්නෙ නෑ. මොක ද, ඒවා එනවා යනවා, මිනිස්සුන්ට ඒවා වැඩි කල් මතක හිටින්නෙ නෑ. මුල් නිර්මාණය රස විඳින කෙනා ඒක රස විඳිනවා,’

එහෙත් ගායන ශිල්පී රෝහන බැද්දගේ මහතාට තිබෙන්නේ මීට වඩා වෙනස් අදහසක් ය. ඔහු එම වෙබ් අඩවිය වෙතම ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියයි – ‘මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා‍. ඒක නිර්මාණකරුවන්ට විතරක් නෙවේ රසිකයින්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා මේ වගේ දේවල් නතර කරන්න පියවර ගත යුතුයි. මීට කලින් මගේ ‘මල්සරා’ ගීතය ඇතුළු ගීත දෙකක් විකෘති කරලා සංගීත සංදර්ශනවල ගායනා කරලා තිබුණා. මම ඒවාට අධිකරණයට ගිහින් වන්දි ගත්තා. මේ ගීතයටත් ඒ වගේ වන්දි ගන්න පුළුවන්’ මෙම ප්‍රකාශයට අනුව යමින් ඔහු වන්දි මාර්ගයට පිවිස ඇති බව දැනගන්නට ලැබෙයි.

පොලීසිය කියන්නේ කුමක්ද?

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ දැනගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා හට දූරකථනයෙන් කතා කළ අතර ඔහු ප්‍රකාශ කළේ දණ්ඬනීති සංග්‍රහයේ 287 යටතේ සහ බුද්ධිමය දේපල පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. මෙම පුද්ගලයා මේ කියන ගීතය තම ෆේස්බුක් ගිනුම හරහා බෙදාගෙන පමණක් තිබෙන පසුබිමක අත්අඩංගුවට ගනුලැබුවේ කෙසේදැයි ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කළේ, ඔහු මෙම වීඩියෝව බෙදාගෙන තිබෙනවාට අමතරව තවත් වීඩියෝවක් පළකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවය. ඒ අනුව නුවර ප්‍රදේශයෙන් උඩුගත කර ඇති එම වීඩියෝව පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

දණ්ඬනීති සංග්‍රහයේ මේ කියන 287 වැනි වගන්තිය යනු කුමක්ද? එම වගන්තියෙන් ප්‍රකාශ වන්නේ අසභ්‍ය ගීත ගැන නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්නයි. අසභ්‍ය ගීතයක් පොදු අවකාශයක ගායනා කිරීම යන්න සනාථ වුවහොත් මාස තුනක සිරදඬුවමක් හෝ දඩ මුදලක් පැනවිය හැකිය. නැතිනම් මේ දඬුවම් දෙකමද පැනවිය හැකි බව එහි සඳහන් වෙයි. බොහෝ නීති විශාරදයන්ගේ මතය මෙවැනි නීතීන් මේවනවිට යල්පැන ඇති බවය.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු පෙරලා ප්‍රශ්න කළේ අසභ්‍ය යනු කුමක්ද යන්නයි. ගීතයක් සභ්‍ය හෝ අසභ්‍ය වීම අර්ථකථනය කරන්නේ කෙසේද යන්න ඔහු මෙහිදී ප්‍රශ්න කරයි. මෙම ප්‍රශ්නය ලෝකය පුරාම මෙවැනි සිදුවීම් අරඹයා ඇසෙන ප්‍රශ්නයක් ය. මෙම නීතිය පනවනවිට අසභ්‍ය යැයි සම්මත වචනයක් මේවනවිට සභ්‍ය වන්නට පුලුවන් ය. එය ව්‍යවහාරයයි. අද සමාජ මාධ්‍යයේ ලියවෙන කියවෙන වචන සභ්‍ය ද අසභ්‍ය ද යන්න තීරණය කරන්නට ගියහොත් එය උභතෝකෝටිකයක් වෙනු නියතය.

අනෙක් පැත්තෙන් ෆේස්බුක් අවකාශය පොදු අවකාශයක් නොවෙන බව තවත් කෙනෙක්ට තර්ක කළ හැකිය. එය පුද්ගලික ගිනුම් විශාල සංඛ්‍යාවකින් යුතු තනි පුද්ගලික අවකාශයක් සේ ද අවශ්‍ය නම් ගිනිය හැකිය. එනිසා මෙවැනි තත්ත්වයන් විග්‍රහ කරගැනීම වෙනුවෙන් දණ්ඬනීති සංග්‍රහයේ පැරණි නීති සරණ යෑම කොතරම්දුරට නිවැරදි දැයි අප සමාජයක් ලෙස කල්පනා කළ යුතුය. මෙවැනි දේවල් වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් ෆේස්බුක් අවකාශය විසින්ම යම් යම් තත්ත්වයන් ගොඩනගා ඇත.  Facebook Community Standards යනු එයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාම ප්‍රකාශ කරන ආකාරයට මෙම ගීතය මගින් Facebook Community Standards උල්ලංඝනය කර නැත. එයින් ප්‍රකාශ වන්නේ කුමක්ද? එයින් ප්‍රකාශ වන්නේ එම අවකාශයට මෙම ගීතය පිළිබඳව අවුලක් නැති බවය.

බුද්ධිමය දේපල

පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට දණ්ඬ නීති සංග්‍රහය 287 වගන්තියට අමතරව මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාළව බුද්ධිමය දේපල පනතද භාවිතයට ගෙන ඇත. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක මහත්මියට අනුව මෙම සිදුවීමට අදාළව මෙවැනි සිද්ධියකදී බුද්ධිමය දේපළ යටතේ නඩු පැවරීමක් සිදුකර එයින් අදාළ පුද්ගලයා වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 5 දක්වා උපරීම දඩයකට හෝ මාස හයක සිරදඬුවමකට හෝ මෙම දෙකටම යටත් කළ හැකිය.  

ඒ සඳහා ගීතයට අයිතිය තිබෙන පාර්ශවයක් පැමිණිලි කළ යුතුය. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට මෙහි පැමිණිලිකරුවන් අතර රෝහන බැද්දගේ මහතා ද සිටියි. ඔහුගේ පැමිණිල්ල මෙම පනත පාදක කරගෙන පැමිණි පැමිණිල්ලක් විය හැකිය. ඒ අනුව සමහර විට බුද්ධිමය දේපල නීතිය යටතේ ද මෙය අභියෝගයට ලක්විය හැකිය.

කෙසේවුණත් අවසානයේ ප්‍රකාශ කළ යුතුව ඇත්තේ යුගය වෙනස්වී ඇති බවය. ඒ.අයි යුගයක, නව මාධ්‍ය විසින් මිනිස් ජීවිතේ හසුරවන යුගයක, මෙවැනි සුළු දෙයක් වෙනුවෙන් මාස හයක සිරදඬුවමක් පුද්ගලයෙක්ට ලබාදෙන්නට සමාජයක් ක්‍රියාත්මක වෙනවා නම්, ඒ සමාජය පිළිබඳව අප නැවතත් සිතා බැලිය යුතුය.

අනෙක් පැත්තෙන් වඳ කොත්තු වඳ සැත්කම් ගඟෙන් මතුව ආ නයින් හරහා ජනාධිපතිවරුන් හදපු රටක් විහිලුවකට කොල්ලෙක් ෂෙයාර් කළ වීඩියෝවක් අල්ලාගෙන ඔහුව හිරේ දමන්නට කටයුතු කරනවා නම් ඊටවඩා තවත් විහිළුවක් තිබෙන්නට විදිහක් නැත…!