You are currently viewing පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් ගතව ඇත..!

පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් ගතව ඇත..!

-කේ. සංජීව-

පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් ගතව ඇත..!
-කේ. සංජීව-

2019 අප්‍රේල් 21, යනු මාහට කිසිම දවසක අමතකව නොයන දිනයක් ය. මීගමුව කටාන ප්‍රදේශයේ මිත්‍රයෙක් මුණගැසෙන්නට ඊට පෙර දවසයේ ගොස් සිටි මම පසුදා කොළඹ බලා එන්නට පිටත් වෙනවිට විශාල පිපිරුම් ශබ්දයක් ඇසෙන්නට විය. එය එතරම් ගානකට නොගත් මාහට මීගමුව බස් නැවතුම්පොළට එනවිට දැනගන්නට ලැබුණේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇති බවය. එම තොරතුරත් සමගම වහාම එම දේවස්ථානයට මා යනවිටත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන යමින් තිබුණ අතර දේව මෙහෙයට සහභාගීවූ බොහෝ දෙනෙක් ශාන්තව මරණය වැළඳගෙන සිටිනු පෙනුනි. එය අදහාගත නොහැකි දර්ශනයක් ම විය.

මෙසේ එදින එකම කාලාවකාශයක දේවස්ථාන තුනකට සහ ප්‍රකට හෝටල් ඇතුලුව ස්ථාන හතක් බෝම්බ ප්‍රහාරවලට ලක්විය. මෙම ප්‍රහාර මාලාව නිසා පුද්ගලයන් 269 ක් මරණය වැළඳගත් අතර 500කට අධික පිරිසක් තුවාල ලැබීය. එයිනුත් බොහෝ පිරිසක් තවමත් ආබාධිත තත්ත්වයට පත්ව සිටියි.

පසුගිය අප්‍රේල් 21 වෙනි ඉරිදා දිනය වනවිට මෙම ප්‍රහාරය සිදුවී වසර පහක කාලයක් ගතව ඇත. මෙම ගෙවුනු පස්වස තුළ සිදුව ඇත්තේ කුමක්ද? ප්‍රහාරය නිසා මරණයට පත් මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටුවී තිබෙයිද? ප්‍රහාරය සැළසුම් කළ සහ එයට සම්බන්ධවූ පිරිස් වෙත දඬුවම් පමුණුවා තිබෙයිද? මෙම ප්‍රශ්නවලට පිළිතුර ‘නැහැ’ යන්න යි. මෙයින් පෙනෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාව තුළ යුක්තිය වග වීම, නීතියේ පාලනය පිළිබඳව බරපතළ ප්‍රශ්න පවතින බව මෙයින් ප්‍රකාශ වෙයි.

හිටපු ජනපතිගේ ප්‍රකාශය

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරු කවුද යන්න පිළිබඳ තමා සති කිහිපයකට පෙර දැන ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර මෙම ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයකට හේතුවිය. මේ සමග හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව බොහෝ දෙනෙක් ප්‍රකශ කරන්නට වූ අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය. මේ අතර අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දෙශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරනගන්න යැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී තිබුණි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටි බවට, ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බවය. ඔහුට එම කරුණ ප්‍රකාශ කර ඇත්තේ ඊට ආසන්න දිනකදී සාදයකදී හමුවූ විදේශීය පුද්ගලයෙක් ය.

මේ සමගම හිටපු ජනාධිපතිවරයාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය දැනුම් දී තිබුණි.  එහෙත් පසුගිය අප්‍රේල් 03 වැනිදා අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින්  ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ තම සේවාදායකයා අප්‍රේල් 04 වැනිදා අධිකරණයේ පෙනී සිට පාස්කු ප්‍රහාරයේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙන්නේ නැති බවය.

ප්‍රහාරයට අවුරුදු පහක් ගතවුණ නිමේශයකද අප මෙසේ මහමොළකරු කවුරුන්ද යන්න පිළිබඳව වාද කරමින් සිටින්නෙමු.

සිරිල් ගාමිණී පියනමගේ ප්‍රකාශය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුන්දීමකට අනුව පසුගිය අප්‍රේල් 19 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය “ඥානාර්ථ ප්‍රදීපය“ පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණි පියතුමන් කරුණු 8 පිළිබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළ බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පසුගිය අප්‍රේල් 20 වෙනිදා ප්‍රකාශ කළේය.

2018 නොවැම්බර් 30 වනදා වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීම සහ ඒ සම්බන්ධ කරුණු, සහරාන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට හෙළිකරගෙන ඇති IP ලිපිනය භාවිත කළේ කවුරුන්ද යන ප්‍රශ්නය, වව්නතිව් සිද්ධිය නොමග යවන ආකාරයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ සිද්ධිය, දෙහිවල ප්‍රහාරකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම, දෙහිවල ප්‍රහාරකයාගේ නිවසට ගිය නිලධාරීන් කවුද, යන ප්‍රධාන කරුණු එහිදී සිරිල් ගාමිණී පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්කර ඇත.

මෙසේ මෙම කරුණු නැවත නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවධාරණය කරන්න අවශ්‍යද? යහපාලන ආණ්ඩු කාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ නායකත්වයෙන් සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන් කළ විමර්ශනවලදී මේ ගැන කරුණු ඕනෑවටත් වඩා හෙළිවී ඇත. එසේ පරීක්ෂණ සාර්ථකව ඉදිරියට යන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පරීක්ෂණ ඉදිරියට යෑම අවහිර කළ අතර ශානි අබේසේකර ඇතුලු මෙම පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිළධාරීන් සීසීකඩ මාරුකර යැවීමට කටයුතු කරනු ලැබීය.  

පොඩි සහරාන්

පොඩි සහරාන් එක්ක ගනුදෙනු කළ රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරි කළ ‘සොනික් සොනික්’ යනුවෙන් හඳුන්වන පොලිස් පරීක්ෂක බණ්ඩාරට මහ මොළකරුවන් සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ජමීල්ගේ නිවසට ගිය හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට මහ මොළකරුවන් සමග තිබූ සම්බන්ධය, එම බෝම්බකරු ටාජ් සමුද්‍රා හෝටලයේ සිටියදී ඔහුට ඇමතුමක් දුන්නේ කවුද යන්න පිළිබඳව වූ කරුණු, සහරාන් හෂීම්ට ඉහළින් සිටියේ යැයි කියන අබු හින්ද් යනු කවුද, සහරාන් හෂීම් නිතරම කතා කළ බවට අනාවරණය වූ සීඅයිඩීයට ප්‍රශ්න කිරීම සඳහා අවස්ථා නොදුන් මුස්ලිම් ජාතික හමුදා බුද්ධි අංශ සාමාජිකයා කවුද යන්න, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් පල්ලියට බෝම්බය එල්ලකළ ප්‍රහාරකයා වූ හස්තුන්ගේ බිරිඳ සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනිට සිදුවූයේ කුමක්ද? ආදී බොහෝ දේවල් පිළිබඳව බොහෝ කරුණු ඉහත පොලිස් නිලධාරීන් යටතේ සීඅයිඩීය තුළ සිදුවූ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එහෙත් ප්‍රශ්නය පරීක්ෂණ එතනින් ඉදිරියට නොයෑමය.  

මුලින්ම මෙම සිදුවීම වළක්වා ගැනීම සඳහා හොඳටම අවස්ථාව තිබියදීත් ඒ වෙනුවෙන් වූ ක්‍රියාමාර්ගයන් ගන්නට ශ්‍රී ලංකා පොලීසියට නොහැකිවිය. ඒ සඳහා එවක ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ, එවක බුද්ධි ප්‍රධානීන්ගේ හැසිරීම් හේතුවිය. ඉන්දීය බුද්ධි අංශයන් කරුණු හරිහැටි වාර්තා කර තිබියදීත් ප්‍රහාරය වළක්වා ගන්නට නොහැකිවීම බරපතළ තත්ත්වයක් ය. කෙසේ අවසානයේ මෙම ප්‍රහාරයෙන් පසුව එය දැඩිලෙස දේශපාලනීකරණය වීම හේතුවෙන් පරීක්ෂණ පැටලිලි සහගත වූ අතර ඒ හරහා පෙනුනේ නීතියේ බිඳ වැටීම ය. මෙනිසා පාස්කු පරීක්ෂණ දේශපාලනයෙන් ගලවා ගෙන නියමිත ඉලක්කයක් ඔස්සේ පවත්වන්නට වහාම කටයුතු කිරීම රාජ්‍යයේ යහපැවැත්මට සහ නීතියේ පාලනයට හොඳය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ මෙරටේ අග්‍රාමාත්‍ය ධුරය දරණු ලැබූ අතර එනිසාම ඔහුට වර්තමාන ජනාධිපති ලෙස මේ පිළිබඳව කටයුතු කරන්නට ක්‍රියාමාර්ග ගන්නට විශාල වගකීමක් ඇත. එහෙත් ඔහු ඒ පිළිබඳව නිසි වගකීමක්ගෙන ක්‍රියාකරණ ආකාරයක් අපට පෙනෙන්නට නැත. එනිසාම මාධ්‍යට, සිවිල් පුරවැසි ක්‍රියාකරුවන්ට, පුරවැසියන්ට තවමත් පාස්කු ප්‍රහාරය පිළිබඳව, යුක්තිය පිළිබඳව සිය හඬ අවධිකරන්නට සිදුව ඇත.