You are currently viewing නාරම්මල පොලිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ කියන්නේ කුමක්ද?

නාරම්මල පොලිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ කියන්නේ කුමක්ද?

කේ. සංජීව

පසුගිය ජනවාරි 18 දා පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ කුරුනෑගල නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වඩු කාර්මි­ක­යකු ලෙස රැකියාව කළ කේ.ඒ. රොෂාන් කුමා­ර­සිරිගේ මරණයට අදාළව මේවනවිට ලඝුනොවන නඩු විභාගයක් පැවැත්වෙමින් තිබෙයි. ඒ අතර ඔහුගේ බිරිඳ කමණී රූපිකා ප්‍රියංගනී මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනුකර ඇත.

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් තම සැමියා වෙඩිතබා මරා දැමීමේ සිද්ධිය නිසා පොලීසිය තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මියගිය අයගේ බිරිඳ මෙම නඩුව ගොනු කර ඇත. ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර, නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ය.

එහෙත් මෙම නඩුව විභාගයට ගත් ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෙත්සම් විභාගය නොපැවැත්වීමට තීන්දු කර ඇත. ඒ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් ය. ඒ අනුව උප පොලිස්පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර හට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර ඇත.

පොලිස් බයික් එක නීති විරෝධීයි

මෙම වෙඩි තැබීමට අදාළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, වෙඩික්කාර පොලිස් පරීක්ෂකවරයා සහ සැරයන්වරයා විසින් ලොරි රථය පසුපස පන්නගෙන පැමිණි යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සහිත රජයේ නිසි ලියාපදිංචියක් නැති හොර යතුරුපැදියක් බවය.

ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පසුගිය පෙබරවාරි 02වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ කියන යතුරුපැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බව හෙළිවී ඇති අතර එය පරීක්ෂාවට ලක්වෙන තෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර නැත. ඒ අනුව මෙම යතුරුපැදිය ආදයම් බලපත්‍ර, දුම් සහතික, රක්ෂණපත ආදී කිසිවක් නොමැතිව 2007 වර්ෂයේ සිට ධාවනය කර ඇත. මෙම බී වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් එම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිට ඇත්තේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි පරීක්ෂා කරමින් පවතින බවය.

බොහෝ පොලිස් නිලධාරීන් තම යතුරුපැදි සඳහා ආදයම් බලපත්‍ර ගන්නේ නැත. රක්ෂණ සහතික නැත. එයට හේතුව සුදුපාට හෙල්මට්ටුව පැළඳගෙන යනවිට පරීක්ෂාවට ලක්නොවීමයි. එසේ පරීක්ෂාවට ලක්වූවත් ඔවුන් පොලිස් නිලධාරීන් නිසා ගැළවීමක් ඇත. නීතිය සැමට එක සමානයි යන්න අපි ප්‍රකාශ කළත් එය රටතුළ ක්‍රියාත්මක වන්නේ මෙවැනි ආකාරවලින් ය.

වීඩියෝ කළ කෙනා සෙව්වේ කවුද?

මෙම වෙඩි තැබීම නීති විරෝධී ඝාතනයක් බවට පෙරළුනේත්, මෙහිදී ඝාතනයට ලක්වූ අහිංසක වඬු කාර්මිකයා කුඩුකාරයෙක් නොවුණේත්, වෙඩිතැබීමේ සිදුවීම වීඩියෝ කළ සහ පසුව එම වීඩියෝ පටය සමාජ මාධ්‍යට මුදාහල තැනැත්තා නිසා ය. නැතිනම් මේ සිදුවීමේ අවසානය බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.

මෙම ඝාතනය සිදුවූ ස්ථානයට යාබදව පිහිටි එළවළු වෙළඳසල වෙත පසුගිය පෙබරවාරි 01 වෙනිදා යතුරුපැදියකින්
පැමිණි පුද්ගලයකු ප්‍රකාශ කර ඇත්තේ තමන් යම් සංවිධානයක සාමාජිකයෙක් බවත් මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් ලබාදෙන්නේ නම් ඔහුට මුදල් ත්‍යාගයක් දෙන්නට කටයුතු කරන බවත් ය. මෙම වෙඩි තැබීමට අදාළව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීමේ දෙවෙනි දිනයේදී මෙම කරුණ නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය වී ඇත. ඒ එළවළු වෙළඳසැලේ සේවකයන්ගේ සාක්ෂි ලබාදීම් හමුවේය. නාරම්මල පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම පිළිබඳවද මේවනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මූලික අයිතිවාසිකම් නඩුව

මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වා ඇති ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිද්ධියට නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයා ද වගකිවයුතු බවය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම උසස් නිලධාරීන් දෙදෙනා ද සාමූහික ලෙස වගකීමට බැඳී සිටින බවය.

එහෙත් මෙහිදී කරුණු දක්වා ඇති ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම ප්‍රකාශ කර ඇත්තේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී සිටින්නේ නැති බවය. ඒ අනුව නීතිපතිවරයා පෙනී සිටින්නේ නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයාට පමණක් බව ප්‍රකාශ කර ඇති රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ දැනට කෙරී ඇති විමර්ෂනයන්වලදී මෙම සිදුවීමට නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝ පොලිස්පතිවරයා හෝ සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නැති බවය. ඒ අනුව නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නඩු විභාගයක් පැවැත්වීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වෙන බවද එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය ප්‍රකාශ කර ඇත්තේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව පොලීසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම නිසා සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ය. ඒ අනුව වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලාසිටින ඇය එම පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත්තේ වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්නයැයි නියෝගයක් නිකුත් කරන ලෙසය.