You are currently viewing කච්චතිව් බදාගන්නේ නැතුව බෙදාගන්න බැරිද?

කච්චතිව් බදාගන්නේ නැතුව බෙදාගන්න බැරිද?

කේ. සංජීව

ඉන්දීය ලෝක් සභා මැතිවරණය 2024 අප්‍රේල් 19 වෙනිදා ආරම්භ වෙනවා. මැතිවරණය අදියර 7ක් යටතේ ජූනි 01 වන දා තෙක් පැවැත්වෙනු ඇති. මේ මැතිවරණ වටපිටාව තුළ ඉන්දීය දේශපාලනය උණුසුම් වෙලා. ඒ දේශපාලන උණුසුම තවත් වැඩිවෙන්න කච්චතිව් දූපත පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයක් හේතුවෙලා තිබෙනවා. මෝදිගේ මේ ප්‍රකාශයත් එක්ක ලංකාවේ උතුරේ දේශපාලනය වගේම ධීවර ප්‍රජාව කලබලයට පත්වෙලා.

පසුගිය මාර්තු 31 වෙනිදා මෝදි අගමැතිවරයා තමන්ගේ නිල එක්ස් ගිණුමට කච්චතිව් ගැන සටහනක් එකතු කරනවා. ඒ සටහන හරහා ඔහු කියන්නේ කුමක්ද? ඉන්දීය ජනතාව ගැන හිතන්නේ නැතුව කොංග්‍රස් පක්ෂය කච්චතිව් දූපත ලංකාවට දෙන්න කටයුතු කරලා තිබෙනවා කියන දේ තමයි ඔහු එම සටහන මගින් කියන්නේ. ඒ සමගම මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු නියෝජිතයන් මාධ්‍ය හමුවක් තියලා කච්චතිව් ලංකාවට දෙන්න කටයුතු කළ ආකාරය ගැන අනාවරණයක් කරනවා.

මෝදි කච්චතිව් කරළියට අරගෙන කොංග්‍රස් පක්ෂයට, ගාන්ධි පවුලට වගේම ඩීඑම්කේ පක්ෂයේ පවුල්වාදයටත් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔහු කියන්නේ කච්චතිව් දූපත ලංකාවට ලබාදෙන්නට මේ පක්ෂ දෙක කටයුතු කළ ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් තමිල්නාඩු ජනතාව ගැන හිතුවේ නෑ කියන එකය කියලා. තමිල්නාඩුවේ අසරණ ධීවර ප්‍රජාව ගැන හිතන්නේ නැතිව කොංග්‍රසය සහ ඩීඑම්කේ පක්ෂය තමන්ගේ පවුල් ගැන විතරක් හිතලා කටයුතු කළා කියලා මෝදි චෝදනා කරනවා.  

මේක හුදු මෝදීමය දේශපාලනය කියලා අතාරින්න පුළුවන්ද? ඉන්දියාවේ පුවත්පත් වගේම යූ නාලිකා මේ පිළිබඳව මේ වෙනකොට විශාල සංවාදයක් හදලා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කළාට පස්සේ තමයි කච්චතිව් ලංකාවට දීම ගැන මේ තොරතුරු අනාවරණය වුණේ කියලා පාලක භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රධානී කේ. අන්නමලෙයි ප්‍රකාශ කරනවා. කච්චතිව් නැවත ඉන්දියාවට ලබාගන්න හැකි සෑම දෙයක්ම කරනවා කියලා තමයි ඔහු ශපථ කරන්නේ. මෙයින් පේන්නේ රාම දෙවොල ඉදිකරන්න භාරතීය ජනතා පක්ෂය දුන් පොරොන්දුව වගේ පොරොන්දුවක්, ඔවුන් තමිල්නාඩු ජනතාවටත් කච්චතිව් සම්බන්ධයෙන් දෙනවා කියන දේ.

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වෙනිදා අත්සන් කළ ගිවිසුමක් හරහා තමයි කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවුණේ. හැබැයි කච්චතිව් අයිතිය ගැන සාකච්ඡාවල ඉතිහාසය ඊට වඩා එහාට යනවා. 1920, 1950, 1960 සහ 1970 දශකවල මේ දූපත ගැන සාකච්ඡා පවත්වලා තිබෙනවා. කෙසේ හෝ අවසානයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර තිබුණ දැඩි මිත්‍රත්වය නිසා රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් මගින් දූපතේ අයිතිය ලංකාව සතු වෙනවා.

මේක අක්කර 285ක කුඩා දූපතක්. රාමාසේතු වැලි පරයේම කොටසක්. මේ වැලි දූව නිසා අපි ඉන්දියාව තරහා කරගන්නවාද කියලා හිතුවොත් කච්චතිව් දූපත අල්ලගෙන ඉන්නවාට වඩා දෙන එක හොඳයි. මොකද ඉදිරි අවුරුදු 30ක කාලයේ ලෝකයේ දෙවෙනි විශාලම ආර්ථිකය බවට පත්වෙයි කියලා හිතන ඉන්දියාව පසුපස්සේ හොඳ අසල්වැසියෙක් විදිහට ගමනක් යාම අපේ දියුණුවට හේතුවක් වෙන්න පුළුවන් නිසා. ඉන්දියාව අතහැරුණු ගමනක් අපිට නැහැ. කොහොමත් බීජේපී දේශපාලන සිතියම අස්සේ ඔවුන්ට මන්නාරම් ද්‍රෝණිය ගැන විශේෂ උනන්දුවක් තිබෙනවා. දැනටත් මන්නාරමට සහ ත්‍රීකුණාමලයට සංවර්ධන ආයෝජනයන් ගෙන එන්නට ඉන්දීය රජය කටයුතු කරමින් ඉන්නවා. එහි ප්‍රතිපලයක් විදිහට ඉන්දියාව සහ ලංකාව ගොඩබිමින් යාකරන රාමාසේතු පාලමක් පිළිබඳ කතාබහ ආයෙත් කරළියට ඇවිත්.

උතුරේ ධීවර ප්‍රජාව දැනටත් අනවසරෙන් මාළු අල්ලන්න එන ඉන්දීය ධීවරයන් නිසා විශාල අවුලක ඉන්නේ. මේ තත්ත්වය එක්ක ලංකා බලධාරීන් කච්චතිව් ඉන්දියාවට දෙන්නට කටයුතු කළහොත් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම තවදුරටත් සීමාවෙන්න පුලුවන් කියලා උතුරේ ධීවරයන් හිතනවා. මේ නිසා තමයි මෝදි අගමැතිවරයාගේ ප්‍රකාශය උතුරේ ධීවරයන්ට දැනෙන්නේ. කච්චතිව් දූපත අතහරිනවා කියලා කියන්නේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලට නිදහසේ ලංකා මුහුදු සීමාවට ඇතුල් වෙන්න ඉඩ දුන්නා වගේ කියන එකයි කියල තමයි ඔවුන් සිතන්නේ.

යාපනය එක්සත් ධීවර සංගම් එකතුව ප්‍රකාශ කරන්නේ තම මුහුදු සීමාවට පැමිණෙන අනවසර ඉන්දීය ධීවරයන් නිසා තම ධීවර පවුල් 23,154ක ජීවන මාර්ගය අවහිර වෙලා කියලා. ඉන්දීය බෝට්ටු නිසා නිසි මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන්නේ නෑ කියලා තමයි උතුරේ ධීවරයෝ යුද්ධයෙන් පස්සේ දිගින් දිගටම හඬන්නේ. ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා අනාවරණය කරනවා ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව අස්සේ ධීවර කටයුතුවල නිරත වීම නිසා වසරකට ඩොලර් මිලියන 2000ක් වටිනා මත්ස්‍ය අස්වැන්නක් රටට අහිමිවෙනවා කියලා.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල්වෙන විශාල ප්‍රමාණයක් වුණ ඉන්දීය බෝට්ටු අතරින් එකක් දෙකක් අත්අඩංගුවට ගන්නට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව කටයුතු කළත් එයින් ප්‍රශ්නය උග්‍රවෙලා මිසක් සමනය වෙලා නෑ. පහුගිය පෙබරවාරියේ තමිල්නාඩු ධීවරයන් කිව්වේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්න ධීවරයන් නිදහස් කරන්න කටයුතු කළේ නැත්තං තමන් මෙවර කච්චතිව් මංගල්‍යය වර්ජනය කරනවා කියලා. 1974 ගිවිසුමත් එක්ක උතුරු මුහුදේ ෆෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතු කරන දෙරටේම ධීවරයන්ට ඉඩ ලැබෙනවා. ඒ ගිවිසුම එක්ක කච්චතිව් දූපත තමන්ගේ දැල් වියලා ගන්න බෝට්ටු නතර කරලා තියන්න දෙපාර්ශවයටම අවසර හිමිවුණ නවාතැනක් වුණා. ඒත් ඒ තත්ත්වය 1976 වෙනකොට අයෙත් වෙනස් වුණා. ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කරන්නේ 1976 ගිවිසුමට අනුව කච්චතිව් දුපතේ අයිතිය අපට ලැබුණත් එමගින් 80%ක් මත්ස්‍ය අස්වැන්න ලබා ගත හැකි මුහුදු තීරය අපට අහිමි වුණා කියලා.

යාපනේ අර්ධ-ද්වීපයේ ධීවරයන්ට වගේම මන්නාරම පුත්තලම ධීවරයන්ටත් මේ ඉන්දීය ධීවර ප්‍රශ්නය විශාල අවුලක් නිර්මාණය කරලා. ඒ මොකද දැන් දැන් තමිල්නාඩු ධීවර බෝට්ටු මන්නාරම කල්පිටිය ඉමටම එන්න පටන් අරගෙන. මන්නාරම, කල්පිටිය, මීගමුව කියලා කියන්නේ විශාල ධීවර ප්‍රජාවක් ධීවර රැකියාවේ සක්‍රිය මුහුදු ප්‍රදේශයක්. එනිසා ප්‍රශ්නය එන්න එන්නම බරපතළ වෙනවා මිසක් විසඳෙන පාටක් පෙනෙන්නට නැහැ.

තමිල්නාඩු ධීවරයන් බොටම් ට්‍රෝලින් කියන විනාශකාරී මසුන් මැරීමේ ක්‍රමවේදය තමයි පවත්වාගෙන යන්නේ දීර්ඝ කාලෙක ඉඳලා. ඒ නිසාම ඔවුන්ගේ මුහුද මළ මුහුදක් කියලා තමයි සාගර ජෛව විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ. මේ නිසා ඔවුන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍යයින් අඩුයි. මෙන්න මේ හේතුව නිසා ඉන්දීය ධීවරයෝ මසුන් බහුල ලංකාවේ මුහුදු සීමාවට එනවා. ඒ එන්නෙත් බෝට්ටු සිය ගණනින්. මේ තත්ත්වය වෙනස් කරලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා දැන් සෑහෙන්න කාලෙක ඉදලා යාපනය එක්සත් ධීවර සංගම් එකතුව ඉල්ලනවා.

ඔවුන් 2023 අවුරුද්දේ අවසන් කාලයේ රජයට බලකරලා කිව්වේ වහාම මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියලා. ඒක එහෙම නොකළොත් අඛණ්ඩ වර්ජනයකට සුදානම් කියලත් ඔවුන් ඒ වෙලාවේ කිව්වා. කච්චතිව් නැවත අත්පත් කරගන්නවා කියලා ඉන්දියාව පාලනය කරන බීජේපීය ප්‍රකාශ කරනකොට උතුරේ ධීවරයෝ තවත් නොසන්සුන්තාවට පත්වෙන්නේ ඒකයි. ඔවුන් හිතනවා බැරිවෙලාවත් ඉන්දියාව කච්චතිව් නැවත ලබාගන්නට කටයුතු කළොත් තමන්ට උතුරු මුහුදේ ධීවර රස්සාව කරන්නම බැරිවෙයි කියලා.

පහුගිය කාලේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දත් කිව්වේ මේ ප්‍රශ්නය විසඳන්න බැරිවුණොත් ඇමති තනතුරෙන් ඉල්ලා අස්වෙලා තමනුත් උතුරේ ධීවරයෝ එක්ක අරගලයට එකතුවෙනවා කියලා. පසුගිය 2022 ජනවාරි 31 යාපන පේදුරුතුඩුව ප්‍රදේශයේ දැවැන්ත ධීවර විරෝධතාවයක් ආරම්භ වුණා. ඒකට හේතුව වුණේ පේදුරුතුඩුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙක් මරණයට පත්වීම. මේ මරණවලට හේතුව දෙරටේ ධීවරයින් අතරේ සිදුවුණ ගැටුමක් වෙන්න පුළුවන් කියලා තමයි ඒ දවස්වල වාර්තා වුණේ. මේ කාලයේම රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලිලා ගිය නිසා මේ ධීවර විරෝධයන් දිගට පැවතුණේ නෑ. ඒත් දැන් නැවතත් උතුරේ ධීවරයන් විශාල වියවුලක සිටින බව තමයි පේන්නේ. ඒ නිසා වැඩි කාලයක් යන්නට ප්‍රථම දෙරටේ ධීවරයන් අතරේ නැවත් ධීවර ගැටුම් පුපුරා ඇවිළෙන්න පුළුවන්.

පසුගිය මාර්තු මාසේ 19 වෙනිදා යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනය එකතුවෙලා යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ඉස්සරහා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ වෙලාවේ යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනයේ ලේකම් සෙබමාලෙයි ඇන්ටන් සෙබරාසා මෙහෙම ප්‍රකාශයක් කළා.

‘අපේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනකල්, උපවාසය මැරෙනකං දිගටම කරනවා. පාර්ලිමේන්තුවේ අපේ දෙමළ මන්ත්‍රීවරුන්ට අපව හමුවීමට අවශ්‍ය නම් මෙහි පැමිණෙන්න පුළුවන්. ඔවුන් අප වෙනුවෙන් කොතැනකවත් හඬ නැඟුවේ නෑ. ධීවර ඇමැති හරි, රටේ ජනාධිපතිතුමා හරි, එහෙම නැතිනම් මේ රටේ වගකිවයුතු නායකයෙක් ඇවිල්ලා හරි අපට පොරොන්දුවක් දෙන තුරු, අපි මෙතැනින් නැගිටින්නේ නෑ.‘

මේ විරෝධතාවන් අතරමඟ නතර වුණත් ප්‍රශ්නය විසඳිලා නෑ. ප්‍රශ්නය තවමත් එතනමයි. දිනෙන් දින උතුරේ ධීවරයන් තමන්ගේ මත්ස්‍ය අස්වැන්න ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැහැරගෙන යන විදිහ බලාගෙන ඔහේ කනස්සල්ලෙන් ඉන්නවා. යාපනේ ධීවර ප්‍රජාව සැරින් සැරේ ඉන්දීය අගමැති මෝදිටත් මේ ගැන දැනුම් දීලා පෙත්සම් යැව්වත් ඔහුගෙනුත් යාපනේ ධීවරයන්ට සැනසුම් සුසුම් හෙළන්න පුළුවන් විදිහේ කිසිදු ප්‍රතිචාරයක් නෑ.  

කච්චතිව් ප්‍රශ්නය ගැන මෙහෙම උණුසුමක් නැගෙනකොට ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර ප්‍රකාශ කරන්නේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාවෙන් නැගෙන ඉල්ලීම් දේශපාලනික ඉල්ලීම් පමණයි කියලා. ඒ ප්‍රකාශයෙන් පේන්නේ කච්චතිව් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වගේම බීජේපී නායකයන් කියන දේවල් අපි එතරම් ගණන් ගන්න අවශ්‍ය නෑ කියලා ඇමතිවරයා හිතන බව නේද?

මෙහෙම පටු මුහුදු තීරයන් අස්සේ, අසල්වැසි රටවල් සාගර මත්ස්‍ය අස්වැන්න ගැටලු හදාගන්නේ නැතිව බෙදාගත්ත ආකාර ගැන නිදසුන් ඕනෑ තරම් තිබෙනවා. හොඳම ආදර්ශය තමයි යුරෝපා සංගමය. ඉන්දියාවේ සහ ලංකාවේ දේශපාලන බලධාරීන්ටත් සාකච්ඡා මාර්ගයෙන් යුරෝපා ආදර්ශය අත්හදා බලන්න පුලුවන්. කාලයකට කලින් දෙරටේම ධීවර නායකයන් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේවෙනකොට ඒ සාකච්ඡාවන් නතර වෙලා තිබෙන්නේ. ඒ සාකච්ඡාවන් නැවත ඇතිකරගැනීම හරහා අපිටම දියුණු විසඳුමක් මේ ප්‍රශ්නයට දෙන්න පුලුවන්. ඒ උවමනාව තමයි මෙතනදි අවශ්‍ය වෙන්නේ. කච්චතිව් දූපතේ අයිතිය දෙරටම සමව තියාගෙන වඩාත් සාධාරණ සහ දියුණු ක්‍රමයකට මේ ප්‍රශ්නය විසඳගන්න පුලුවන්. ඒකට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. උතුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න දෙරටම වඩාත් සාධාරණව බෙදාගන්නේ කොහොමද කියන එක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක්. ඒ සඳහා ලංකාවේ බලධාරීන් උනන්දු විය යුතුයි. කච්චතිව් දූපත පාදක කරගෙන දෙරටේම මිනිස්සු ප්‍රශ්න හදාගැනීම හොඳ හිත පළඳු කරගැනීම සුදුසු නැහැ.