You are currently viewing විශ්වාසභංගයන් දෙකක් අතරතුර පාර්ලිමේන්තුව..!

විශ්වාසභංගයන් දෙකක් අතරතුර පාර්ලිමේන්තුව..!

-කේ. සංජීව-

පසුගිය මාර්තු 19,20 සහ 21 යන තෙදින තුළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගය පිළිබඳ යෝජනාව විවාදයට ගැනුනි. විවාදයෙන් පසුව පැවති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමිවිය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ නොතකා හරිමින්, පනත සම්මත කරගැනීමට කටයුතු කිරීම යන චෝදනා කථානායකවරයාට එල්ල කරමින් සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. මෙම විශ්වාසභංගයේ මූලික කේන්ද්‍රය වූයේ වර්තමාන කතානායකවරයා ජනාධිපතිවරයාගේ උවමනාවන් වෙනුවෙන් අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයන් පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොදක්වා අත්සන් කිරීම ඉන් ප්‍රධානය.


මෙම විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක වූ පසුවත් දේශපාලනය කිරීම ඔහුට වැරදුන තැන බවය. කතානායකවරයා යනු පාර්ලිමේන්තුවේ ප්‍රධානියාය. ඔහු පත්වෙන්නේත් මන්ත්‍රීවරුන් අතරින් ය. එහෙත් ඔහු එම තනතුරට පත්වූ පසුව දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු කිරීම අත්හල යුතු බව වෙස්මිනිස්ටර් සාම්ප්‍රදායයි. එහෙත් මේ කිසිඳු සාම්ප්‍රදායක් ගනනකට නොගෙන වර්තමාන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිගින් දිගටම මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු නියෝජනය කරමින් කටයුතු කළේය. එම දේශපාලන කටයුතු පිළිබඳව බොහෝ තොරතුරු මෙන්ම ඔහු එයින් ඔබ්බට ගොස් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අභිලාෂයන් වෙනුවෙන් තම තනතුර මෙහෙයවා ඇති බවට මේ විවාදයේදී චෝදනා එල්ල විය‍.

පොලිස්පතිවරයා පත් කිරීම

මෙම විවාදයේදී අනාවරණ වූ වැදගත්ම කරුණ වූවේ 2024 පෙබරවාරි 26 වන දිනයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් ක්‍රියාමාර්ගයන් මොනවාද එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ ආකාරය කෙසේද යන්නයි. මෙම විවාදය අතරතුරදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමට අදාළව ජනාධිපතිවරයා වෙත යවා ඇතැයි කියන ලිපිය (CC/22/06/IGP/06) සභාගත කර ඇති අතර එම ලිපියෙන් අනාවරණය වන්නේ එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටිය ව්‍යවස්ථා විරෝධී බවය.

මෙම ලිපිය ආශ්‍රයෙන් මාර්තු 24 වෙනි දින අනිද්දා පුවත්පත සිය ප්‍රධාන පුවත වාර්තා කරන අතර එම පුවත තුළ එම ලිපියේ අන්තර්ගත තොරතුරු මෙසේ උපුටා පළකර ඇත –

උපුටා ගැනීම් :

01. 2024 පෙබරවාරි මස 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටීඑම්ඩබ්ලිව්ඩී තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා උක්ත ලිපිය මගින් ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අද දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සලකා බලන ලදී. එහි දී ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කරමින් සාමාජිකයින් සිව් දෙනෙකුද, එම නිර්දේශය අනුමත නොකරමින් සමාජිකයින් දෙදෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කරන ලද අතර අනෙකුත් සාමාජිකයින් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ලදි.

2. ඒ අනුව, ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කිරීම හෝ අනුමත නොකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) (4) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි අවම සාමාජිකයන් පස් දෙනෙකු විසින් සනාථ නොකරන ලදි.

3. කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) (5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය ද පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි.

කතානායකවරයා ජනාධිපතිවරයාට යවන මෙම ලිපියේ උක්ත උපුටාගැනීම් තුළින් සනාථ වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බව විපක්ෂයේ චෝදනාවයි.

යම් තීරණයක් ගැනීමේදී පක්ෂ විපක්ෂ ඡන්ද සංඛ්‍යාව සම තත්ත්වයක පැවති විට පාවිච්චි කරන්නට තිබෙන කතානායකවරයාගේ (ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයාගේ) තීරක ඡන්දය ඡන්දය දීමෙන් වැළකී සිටි අයගේ ඡන්දත් විරුද්ධ ඡන්ද ගොඩට දමා සම තැනට ගෙන භාවිතා කිරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රධාන චෝදනවකි.

2024 පෙබරවාරි 26 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්‍ය සටහන් මෙම විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කර ඇති අතර එමගින්ද අනාවරණය වන්නේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව පැවති එම සාකච්ඡාව සිදුවූ ආකාරයයි.

එම කාර්‍ය සටහන් වලට අනුව එදින කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, කබීර් හෂීම්, ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න එම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බවයි. මෙම පිරිසට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික දසනායකද පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, නීතිපති සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා බාලපටබැඳි සහභාගි වී සිට ඇත. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙන්නේ එම සභාවේ අරාධනාවකට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විමසීම ඔවුන් කැඳවීමේ අරමුණ වී ඇත.

පොලිස්පති ධුරය සඳහා නම්කර දේශබන්දු තෙන්නකෝන්ට එම තනතුර පිරිනැමීම අභියෝගයට ලක්කරමින් මෙම සාකච්ඡාව පවත්වන අවස්ථාව වනවිටත් නඩු පවරා ඇති බැවින් එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ නිර්දේශයන් සලකා බැලීම අධිකරණයට කරනු ලබන අපහාසයක් දැයි මෙහිදී සංවාදයට ලක්වී ඇත. ආචාර්ය ප්‍රතාප් රාමනුජන් මහතා මෙම ප්‍රශ්නය මුලින්ම මතුකර ඇත. මෙහිදී ඔහුට විරුද්ධව නැඟෙන චෝදනාවල බරපතළ ස්භාවය පිළිබඳව පවා සාකච්ඡාවට ලක්ව ඇත. මෙහිදී ආචාර්‍ය දිනේෂා සමරරත්න මහත්මියගේ අදහස වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්කළ පෙත්සම් හත, පසු දිනයේදී අධිකරණය හමුවේ සලකා බලන්නට නියමිත බැවින් සහ ඔහුට ඇති චෝදනාවල බරපතළකම නිසා එය රටේ නීතිය හා සාමය පිළිබඳ බරපතළ ප්‍රශ්න ඇති කරන නිසා, මෙම පත්වීම පිළිබඳව සලකා බැලීම පසුදින අධිකරණ තීන්දුව ලැබෙන තෙක් ප්‍රමාද කළ යුතු බවය. මෙහිදී ආචාර්ය ප්‍රතාප් රාමවුජන් මහතාගේ අදහස වී ඇත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශය පිළිබඳ තීරණය මෙම නඩු කටයුත්ත අවසන් වන තෙක් ප්‍රමාද කළ යුතු බවය. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙම සාකච්ඡාව වෙත සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රවේශ වුණ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ද ජනාධිපතිවරයාගේ නිර්දේශයට සිය විරෝධය ප්‍රකාශ කර ඇත.

කෙසේ හෝ අවසානයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ විශේෂඥ වෛද්‍ය  අනුලා විජේසුන්දර යන පිරිස ජනාධිපතිවරයාගේ නිර්දේශයන් අනුමත කරමින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඡන්දය ප්‍රකාශ කර ඇත. ආචාර්‍ය ප්‍රතාප් රාමවුජන් සහ ආචාර්‍ය දිනේෂා සමරරත්න මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය සාමාජිකයන් හතර දෙනෙක් අනුමත කරනවිට දෙදෙනෙක් එය අනුමත කර නැත. තවත් දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශයට අනුමැතිය නොමැති තත්ත්වයක් යටතේ ව්‍යවස්තා සභාවේ කටයුතු අවසන්වී ඇත.

කතානායකවරයා ප්‍රතිපාදනයන්වලට පටහැනිව හෝ තමන්ගේ තීරණාත්මක ඡන්දය භාවිතාකරන්නට අවශ්‍ය නම් එය සභාව තුළදී භාවිතා කළ යුතුය. එහෙත් ඔහු එය භාවිතා කර ඇත්තේ ජනාධිපතිවරයාට යවනු ලබන ලිපිය හරහා ය.

මෙවැනි බොහෝ දේවල් අනාවරණය වූ විවාදයක් අවසන කතානායකවරයා සිය තනතුර රැකගෙන ඇත. මෙවැනි විශ්වාසභංග විධායකය දකින්නේ තම ආණ්ඩුවට හතුරු වූ යෝජනා හැටියටය. පසුගිය දා විවාදයට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධ විශ්වාසභංගයත් අවසානයේ කෙහෙළියට ජය අත් කරදෙමින් අවසන් වුණේ විධායකයේ ඉහත දැක්ම නිසා ය. අවසානයේ කෙහෙළිය රඹුක්වැල්ල දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය.

මෙවැනි විශ්වාසභංග අවසානයේ සිදුවන්නේ එක දෙයක් ය. එනම් ජනතාවට තවතවත් පාර්ලිමේන්තුව එපා වීමය. පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය මෙවැනි විශ්වාසභංග නිසා භංගවී යයි. 225ම එපා යැයි ජනතාව උස් හඬින් ප්‍රකාශ කළ කාලයක් තිබුණ බව විධායකය වාගේම පාර්ලිමේන්තුවත් දැනගත යුතුය. අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කතානායකවරයෙක්, හොර ඖෂධ රජයේ රෝහල්වලට යවා රෝගී ජීවිත අනතුරේ හෙළනු ලැබූ ඇමතිවරයෙක්, ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඡන්දය භාවිතා කරන මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේ ගෞරවය ව්‍යවස්ථාවට හිමි ගෞරවය ආරක්ෂා කරගන්නේ කෙසේදැ‍යි නැවත සිතිය යුතුය.